Breaking News

රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයා බව ඡායාරූප කියයි.

සමන්සිරි හේරත්

“රනිල්ට අවස්ථාවක් දීලා බලන්න” වැනි වැකි මේ දිනවලසමාජ මාධ්‍ය ජාලා වල ලෙල දෙනවා. අලුත් ජනාධිපති වැඩ පිළිවෙලක් සහිතව අර්බුද විසඳීමට කටයුතු කරයි කියලා දේශනා පවත්වන පණ්ඩිතයො මීට කලින් ඔය විදිහටම ගෝඨාභයටත් මහින්දටත් කඩේ ගියා. ජනතාව අර්බුධ වල මිරිකී පෝලිම් වල මිය යද්දී පන්සලේ දොරවල් වහගෙන සද්ද නොකර හිටපු පණ්ඩිත හාමුදුරුවරු දැන් රනිල්ටත් අවස්ථාවක් දීලා බලන්න කියමින් දොර ඇරගෙන එළියට ඇවිත් ඉන්නවා.

“රනිල් යනු අපට අලුත් මිනිහෙකු නොවන බව ඔවුන්ට මතක් කර දිය යුතුයි. රනිල් 6 වතාවක් රටේ අගමැතිව සිටි, අසාර්ථක වුණු පුද්ගලයෙක්. 6 වතාවක් අගමැතිව සිටීම යනු හය වතාවක් රට පාලනය කළ ආණ්ඩු පක්ෂයේ බලය හෙබවූ පුද්ගලයා බවයි. එහෙව් අසාර්ථක පුද්ගලයෙක්ට විධායක ජනාධිපති ක්‍රමය ලැබීම සාර්ථක වීමට සුදුසුකමක් හෝ උපාය මාර්ගයක් නොවේ.

ජනාධිපති වී ගෙවී ගිය දින කිහිපය විමසිල්ලෙන් පිරික්සා බැලූ විට ඔබට පෙනෙනු ඇත්තේ රනිල් ගමන් කරන මග ගෝඨාභය ගමන් කළ මඟම බවයි. රනිල් දැනට පත් කර ඇති අමාත්‍ය මන්ඩලය ගෝඨාභයගේ ම අමාත්‍ය මණ්ඩලය බවයි. අද රනිල්ගේ අගමැති බවට පත්ව සිටින්නේ සමාජය දූෂණය කළ දේශපාලන ගහලයෙකි.

රනිල් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සමාජ මාධ්‍ය ජාල වලට විටින් විට විවිධ පුද්ගලයන් මුදාහල මේ ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී යන්නේ රනිල් මේ කරමින් සිටින්නේ රාජපක්ෂලාගේ සහ රාජපක්ෂලා වටා සිටි සියලු දෙනාගේම ආරක්ෂාව සූක්ෂම ලෙස තහවුරු කරන බවයි.

“8” වන විධායක ජනාධිපති ලෙස පත් වී සිටින රනිල් වික්‍රමසිංහ වේදනාවෙන් බර ශ්‍රී ලාංකීය සමාජ දේහය සුවපත් කරන වෙදැදුරකු නොවන බව ඔහු දිවුරුම් දී පැය විසි හතරක් යන්නටත් මත්තෙන් ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ඔප්පු කර තිබේ.

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල රටේ ජනතාව නිගමනය කළ යුත්තේ රනිල්ද, පලවා හැරිය යුතු නායකයෙකු බවයි.

රනිල් දිවුරුම් දීමෙන් පසුව ගම්වල නෂ්ටාවශේෂ වෙලා හිටපු එකෙක් දෙන්නෙක් UNP කාරයෝ රතිඤ්ඤා පත්තු කර දැමුවත්, ඊට පසුවදා රනිල්ට එරෙහිව පැන නැගුණු ජනතා විරෝධය හමුවේ ඔවුන්ට කට හැර වචනයක්වත් කියාගන්නට තරම් තත්ත්වයක් නොතිබුණි. ඉන් සක්සුදක් සේ සනාථ වන්නේ රනිල්ට මහජන මතයක් හෝ මහපොළොවේ බලය නොමැති බවයි.

එහෙයින්ම එළඹෙන අගෝස්තු 9 වෙනිදා රනිල්ට තීරණාත්මක දවසක් වීමට පවතින ඉඩකඩ වැඩියි.

රනිල් සහ රනිල් ගේ දේශපාලනය තේරුම් ගැනීමට පහත ඡායාරූප ඔබට වැදගත් වනු ඇත. එපමණක් ද නොව රනිල් සහ රාජපක්ෂලාගේ හවුල පිළිබඳව යම් අදහසක් ලබා ගැනීම සඳහා ඔබට පහත ඡායාරූප නිරීක්ෂණය කර බලන්න කියා අපි ආරාධනා කරනවා.

ඔබ බෙදී සිටියාට ඔවුන්ගේ දේශපාලනය එවන් මිත්‍රත්වයක් සහිත එකකි. ඔබ රතිඤ්ඤා පත්තුකර පිළිගත්තේ ඔබගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට ආ නායකයෙකු නොව, ඔහුගේ පන්තියේ දේශපාලන මිතුරන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට ආ මිතුරෙක් වය. එහෙයින් ඔබ අද මෙන් හෙටත් හෙට මෙන් අනිද්දා රැඳී සිටින පෝලිමේ තවදුරටත් රැඳී සිටින්නට බල කරනු ලැබ, පීඩාව විඳ දරාගෙන සිටින්නට සිදු වූ, ඒ පෝලිමේම මරණය සිදු වුණොත් එය ද දරා ගැනීමට සිද්ධවෙන එක් පීඩිතයෙක් පමණයි.

leave a reply