ලොකු මාමාගේ ත්‍රීවීලය පිටත්ව ගොස් අඩ පැයකට පමණ ආසන්න කාලයක් ගත වුවත් මට ඉඳ ගත් තැනින් නැගිටින්නට පවා සිතක් පහල වූයේ නැත. හැර දමා ගිය ගේට්ටුවෙන් ඇතුලට ආ දඩාවතේ යන බල්ලෙක් ගේට්ටු කණුවේ ඇතුල් පැත්තටම පය එස වූයේ මා ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වමිනි. බල්ලෙක් වත් නොසලකන තරමට මා අවලංගු වී ඇතිදැයි මගේම සිත විමසද්දී , මට ඊට දීමට පිළිතුරු තිබුනේ නැත. අවසානයේ සිත වසා පැතිර ගත් මූසල පාළු හැඟීම ගත පුරා ඔඩු දුවන්නට පෙර මම ගේට්ටු පලු දෙක වසා දමන්නට ගියෙමි.
සුදු පුංචි අම්මා කවදත් දන්නේ වසා ඇති කඩුලු හැර දමන්නට පමණි. අපේ නිවසේ ගේට්ටුව ළඟ ලොකු මාමා ත්‍රීවීලය නැවැත්වූ පසු ඉන් බසින ඇය ගේට්ටු පලු දෙකම හැර දමා නැවත එයට ගොඩ වෙයි. ආච්චී කවදත් අතරමග රියෙන් බසින කෙනෙක් නොවේ. තිදෙනාම අපේ ගෙදරට ගොඩ වැදී කෑමෙන් බීමෙන් සංග්‍රහ විඳ ආපසු යන ගමනේදී සුදු පුංචි අම්මා හෝ ලොකු මාමා ඇස් කොනකින් වත් හැර දැමූ ගේට්ටු පලු දෙස නොබලන්නට පරිස්සම් වෙයි. ඒවා වසා දැමිය යුත්තේ අම්මා හෝ මමය. මුලදී අම්මාට මා මේ ගැන මැසිවිලි කීවද අවසානයේ අම්මා මෙන්ම මමද නිහඬව ගේට්ටුව වසා දමන්නට පුරුදු වීමි.
සුදු පුංචි අම්මා මගේ අම්මාගේ නැගණියයි. ඇය සුදු පුංචි අම්මා වූයේ තවත් කළු පුංචි අම්මා කෙනෙක් හෝ වෙනත් විශේෂණ පදයක් සහිතව හැඳින්විය හැකි පුංචි අම්මලා මට සිටි නිසා නොව ඇතැම් විට ඇය රුවින් නැතත් පැහැයෙන් අම්මාට වඩා ඉදිරියෙන් උන් බැවින් කවුරුන් හෝ මට එලෙසින් ඇයව හඳුන්වා දෙන්නට ඇත. සුදු පුංචි අම්මා මෙන්ම ලොකු මාමාද තවමත් අවිවාහකය. ලොකු මාමා සියල්ලන්ටම වඩා වැඩි මහල් වුවද , කළු පැහැති ඩයි වලට පින් සිදු වන්නට ඔහුගේ පෙනුමට තවමත් හානියක් වී නැත. සුදු සරමත් සුදු කමිසයත් අඳින ලොකු මාමාගේ ඇඳුමේ තරමට හදවත සුදුදැයි මට තවමත් තේරුම් ගත නොහැකි කරුණකි. නළල දෙපස මතුව ඇති සුදු හිස කෙස් සඟවා අමුතු මෝස්තරයකට හිස පීරන සුදු පුංචි අම්මාගෙන් දිස් වන්නේ අහංකාර පෙනුමකි. මඳක් තරබාරු සිරුර පද්දවමින් ඇය හෙමිහිට පා තබමින් ඇවිදින්නේ ඇගේ බර මහ පොළොවට උසුලා ගත නොහැකි වෙතැයි බියකින් මෙනි. පාසලේ පහ වසරේදී පේරාදෙණිය මල්වත්ත බලන්නට ගිය දා මුල් වරට දුටු තාරාවන් මට එක්වරම සිහි ගැන්වූයේ සුදු පුංචි අම්මාය. තාරාවන් ඇවිද ගියේද සුදු පුංචි අම්මා මෙන් යයි මා සිනාසෙමින් අම්මාට කියූ විටදී අම්මා මට බැන වැදුනේ කිසිදා කිසිවෙකුටත් අපහාස නොකරන්නැයි කියමිනි.
ඇය දන්නා මිම්මට අනුව මා හොඳ ළමයෙකු කරවන්නට අම්මාට ඕනෑ විය. අම්මාගේ පව්ලේ අයගෙන් මා කැමති වූ එකම කෙනා අම්මා පමණය. ආච්චී හා සුදු පුංචි අම්මා මෙන් ඇය අහංකාර වූයේ නැත. ලොකු මාමා මෙන් කඩප්පුලි කතා කීවේ ද නැත. කඩප්පුලි කතා යනු මොනවාදැයි මා නොදන්නා නමුත් තාත්තා නිතරම ලොකු මාමා හැඳින්නුවේ කඩප්පුලියා යනුවෙනි. ලොකු මාමා අපේ නිවසට එන හැම වතාවකම
” ඔය කඩප්පුලියගෙ කතා අහන්න මට ඕන කමක් නැතැ”යි කියමින් පිටුපස දොරෙන් පල්ලම් බසින තාත්තා , ලොකු මාමා පිටව යනවාත් සමගම නැවතත් පිටුපස දොරෙන්ම ගෙට පැමිණෙයි. තාත්තා නිවසින් පිටව යාමත් නැවත පැමිණීමත් අතර කාලය ඔහු කොතන ඉන්නවාදැයි නොදන්නා මුත් ලොකු මාමා ගේ පිටව යාමත් සමගම ඔහු ගෙට එන්නේ දුරක සිට නොවන බව කුඩා මමද වටහා ගත් කරුණකි.
අම්මාට බාල සොහොයුරෙකු සිටි බවත් හදිසි අනතුරකින් ඔහු මිය ගියේ මා ළදරු වියේ සිටියදී බවත් අම්මා නිතරම සිහි කලේ හැඬු කඳුළින් යුතුවය. ඕනෑම සිත් තැවුලකදී ඇය ” අනේ මගේ මල්ලි හිටිය නම් ” යයි කියමින් සුසුම් හෙලන්නේ ඇයට සිටි එකම හිතවතා ඇයගේ මලණුවන් පමණක් බව අඟවමිනි. පොඩි මාමාටත් , අම්මාටත් ඇත්තේ එකම හැඩ රුව බව මා තේරුම් ගත්තේ සාලයේ ඇති වීදුරු කැබිනෙට්ටුව උඩ තැබූ ඔහුගේ රාමු කරන ලද විශාල ප්‍රමාණයේ සේයාරුව දෙස බැලීමෙනි. අම්මාගේ හෝ තාත්තාගේ එක්ව ගත් පින්තුරයක් තබා වෙන වෙනම ගත් පින්තුරයක් හෝ නොතිබුණු අපේ ගෙදරටම තිබුනේ මා දණ ගාන වයසේදී ගත් කැලැන්ඩරයක් මෙන් සාදන ලද පින්තුරයක් සහ පොඩි මාමාගේ රාමු කරන ලද පින්තුරය පමණි. ආච්චීටත් ලොකු මාමාටත් සුදු පුංචි අම්මාටත් අඩු වැඩි නැතිව පිහිටා තිබූ අහංකාර පෙනුම වෙනුවට , අම්මාගේ හැඩ රුව හිමි වූ නොදුටු පොඩි මාමාට මමද ආදරය කලෙමි.
ඔවුන් දෙදෙනාම මගේ සීයා වැනි යයි දන්නා හඳුනන සියල්ලෝම කීවද මා සීයා දැක තිබුනේද නැත. ඇතැම් විට ඔහු පොඩි මාමාටත් පෙර මෙලොව හැර යන්නට ඇත්තේ ඔවුන්ගේ සෙනෙහස විඳින්නට හිමිකමක් මට නොතිබුණු නිසා විය හැක. පියෙකුගේ හෝ වැඩිහිටි නෑදෑ පිරිමියෙකුගේ සැබෑ සෙනෙහස විඳ ගැනීමේ ඉටු නොවූ බලාපොරොත්තු පමණක් මා හට ඉතිරි කරමින් මගේ බාල විය ගෙවුනේ මටද නොකියාමය. වයසින් මුහුකුරා වැඩෙද්දී මා පුරුදු පුහුණු කර ගත් ලොකු මාමාගේ ඇනුම්පද සිනහවකින් බැහැර කිරීමේ හැකියාව මගේ සිතට ගෙන ආවේ සැනසීමකි.
අතීත මතකයන් තුල කිමිදෙමින් ගේට්ටුව වසා පැමිණ ගෙට ගොඩ වූ මම තැන තැන තිබූ හිස් තේ කෝප්ප ටික එකතු කරගෙන ගොස් සෝදා දැමුවෙමි. මා කවදත් පුරුදුව සිටියේ අම්මා මෙන් පිලිවෙලකට වැඩ කිරීමටය. ලොකු මාමා නොරිස්සුවේද , කට අරිනා සෑම විටකම අගට හෝ මුලට එකතු කරගත් ඇනුම්පදයකින් මට සංග්‍රහ කිරීමට හේතු වූයේද මා අම්මා මෙන් වැඩ කටයුතු කිරීම නිසා බව හොඳින් දැන සිටි නමුත්, මට එය වෙනස් කර ගැනීමට උවමනා වූයේ නැත. මෙලොව මා ප්‍රිය කල එකම දෙය නම් මා අම්මා වගේ යයි කවුරුන් හෝ කියනු ඇසීමය . මගේ අම්මා පියකරු ප්‍රසන්න පෙනුමැති ගැහැනියකි. අවාසනාවට මා පුරුදු පුහුණු කරගත් ඇගේ යහපත් ගති පැවතුම් මිස ඇය සතු වූ ඒ රුවෙන් බිඳක් වත් මට උරුමව තිබුනේ නැත. මට හිමි වුනු සෝමාරි පෙනුමැති මුහුනටත් ඉත්ත කූරු මෙන් වූ කොන්ඩයටත් හේතුව තාත්තාය .
තාත්තා ගැන සුන්දර වූ හෝ යහපත් වූ මතකයක් මට නොතිබුනේ එවන් මතකයක් මසිතෙහි රඳවා ගත හැකි වන වයසට ඒමටත් පෙර ඔහු මාත් අම්මාත් අතහැර පැදුරටත් නොකියා ගිය බැවිනි. එදින රැයේ අම්මා මා තුරුළට ගෙන නිදන්නට යද්දී තාත්තා නොනිඳා උන් බව මට මතකය. උදෑසන අප අවදි වන විට තාත්තා සමග ඔහුගේ සරම් කමිසද අතුරුදහන්ව තිබිණ. නින්දක් නිදාගෙන ඇහැරී පිටව ගියා නම් එලා ගත් පැදුර දැන ගන්නා බැවින් ඔහු අපට නින්ද යන තෙක් පමණක් කල් මරන්නට ඇතැයි කීවේ අම්මාය. තාත්තාගේ නික්ම යාම අම්මා කම්පාවට පත් කල කරුණක් නොවුන නමුදු ඇය අපහසුවට පත් වූයේ දෑතේ වෙර වීරියෙන් පවුල නඩත්තු කල ඇයට මගේ රැකවරණය සලසමින් තව දුරටත් හරි හම්බ කර ගන්නට නොහැකි වීමෙනි.
අපේ පවුල නඩත්තු කලේ අම්මාය. තාත්තාටත් මටත් කෑම් බීම් ඇඳුම් පැළඳුම් සියල්ල හැකි පමණින් සැපයුවේ අම්මාය. සෝමාරි මිනිසෙකු වූ තාත්තා බොහෝ විට කලේ නිදාගැනීමය . අම්මා පාන්දර අවදිව උයා පිහා තියා මගේ දත් මද්දවා මුහුණ සෝදවයි . ඉන් අනතුරුව මට බත් බෙදා දී කන්නැයි කියන අම්මා තාත්තාට මා බලාගන්නා ලෙස කියමින් එලියට බසින්නේ කහට උගුරක් පමණක් බීමෙන් සෑහීමකට පත් වෙමිනි. අම්මා අවදි වී මේ සියලු කටයුතු තනිවම කර ගනිද්දී තාත්තා කලේ ඇඳට වී හිස සිට දෙපතුල දක්වා වසාගෙන නිදා ගැනීමය. යලිත් හැන්දෑවේ කළුවර සමගින් ගෙට ගොඩ වන අම්මා උදෑසන නැවතූ තැනින් වැඩ අරඹයි. තාත්තාත් මමත් කා බී අවසන් කල පිඟන් කෝප්ප සෝදා දමා ගෙවල් මිදුල් අතුගා දමන ඇය ඉන් අනතුරුව අපගේ රාත්‍රී ආහාර වේල වෙනුවෙන් කුමන හෝ කෑමක් සකසයි. බොහෝ විට එය රොටියක් හෝ , එන අතර මග තැනකින් ගන්නා ලද ඉඳිආප්ප වෙනුවෙන් හදනා පොල් සම්බලක් ,පරිප්පු හොද්දක් වැනි දෙයකි. තාත්තා ඇඳෙන් නැගිටින්නට බැරි අන්දමේ අසනීපයක් ඇති අයෙකු නොවූවද ඉහ වහා ගිය කම්මැලි කමකින් යුතු මිනිසෙකු බව මා කුඩා අවදියේ වුවද වටහා ගත් කරුණකි. අම්මා නිවසින් පිටත්ව ගිය පසු අවදි වන ඔහු උදේට කෑමෙන් පසු වරෙක ඇඳෙහි වැතිරෙමින්ද වරෙක ඇඳ මත ඉඳගෙන පහලට දමා ගත් දෙපා පද්දවමින් ද දවල් වන තෙක් කල් මරමින් සිටියි. බඩගිනි යලිත් අලුත් වන විටදී ඇඳෙන් නැගිට උදෑසන අප දෙදෙනා කෑමෙන් පසු ඉතිරිව ඇති බත් මාලු පිනි අප දෙදෙනාගේ පිඟන් වලට බෙදයි. රුපවාහිනියේ පෙන්වන සියලු කාටූන් , නාට්‍ය , චිත්‍රපට මා සමගම සිනාසෙමින් නරඹයි. අම්මාට රූපවාහිනියක් නිවසේ තිබුනද එහි පෙන්වන කිසිවක් බලන්නට වෙලාවක් නැත. උදේ කෑමෙන් පසු අප දෙදෙනාගේ පිඟන් සෝදා තබන තාත්තා දහවල් කෑමෙන් පසු ඒවා එලෙසම තිබෙන්නට හරින්නේ ,මේවා අපි හේදුවට අම්මට හරි යන්නේ නැතැයි කියමිනි. එහෙත් දවසක් තාත්තාගේ කීමට කන් නොදුන් මම මගේ ඉඳුල් පිඟාන මට හැකි අයුරින් සෝදා දැමුවෙමි. අම්මා එදින සතුටින් මා වැළඳ ගත්තේ
“මම මේ හැටි දුක් විඳින්නෙ මගෙ කොලු පැටිය ලොකු වෙනකල් විතරයි “කියමිනි .
අම්මා රැකියාවට ගියේ නිවසක බැලමෙහෙවරකම් කිරීමට බව මා දැන ගත්තේ තරමක් දැනුම් තේරුම් ඇති වූ පසුවය. දහවල රැය එක ලෙසින් කටුකව වළඳන අම්මා නින්දේදී පවා සුවයක් වින්දා දැයි මා දන්නේ නැත. ඇතැම් දිනයක මා නින්දෙන් අවදි වන්නේ අම්මා පරල වූවාක් මෙන් කාට හෝ බැන වදිනු ඇසීමෙනි .
” උඹ ඇහැරුනාද පුතේ ..නිදා ගනින් මයෙ උනහපුළු පැටියා ..” යි කියමින් මා තුරුළට ගෙන සිප ගන්නා අම්මාගේ බැනුම් මා වෙනුවෙන් නොවන බව දැන ගත් විට , යලිත් නින්දට වැටෙන්නට මට ගත වන්නේ සුළු මොහොතකි. අම්මාත් මමත් ගහට පොත්ත මෙන් බැඳී සිටීම කවදත් තාත්තාට නොරිසි විය. අම්මා මා සුරතල් කලද තාත්තා කිසිවිටෙකත් මා සුරතල් කලේ නැත.
තවමත් තීන්ත ගා අවසන්ව නොතිබුණු බැවින් හවස ලොකු මාමලා එනවිටත් ගෙයි බඩුමුට්ටු තිබුනේ සී සීකඩය. ඉනට අත ගසා ගත් ලොකු මාමා හතර අතට ඇස යවා අවසානයේ
” හෙනං උඹ තනියෙන්ම වැඩ පටන් ගත්ත ඈ .. නැතෑ ඉතින් මහා ගෑනි වගේම ..ඒකි කලෙත් ඒකිට හරියි කියල හිතුන දේ විතරනෙ ”
යනුවෙන් කීවේ මිදුලට කෙල පහරක් ද ගසමිනි. මිදුලේ තැන තැන කෙල ගැසීම මා නොරිස්සුවද , කිසිවක් නොකියා ලොකු මාමාගේ කතාව නොඇසුණු ලෙසින් මම ආච්චිට ඉඳ ගැනීමට පුටුවක් තබා ඇයව එහි වාඩි කරවූයෙමි . සුදු පුංචි අම්මා පාවෙමින් මෙන් ගෙයි ඇතුළු කාමර දෙසට ඇවිද ගියේ ලොකු මාමා කී කතාවෙහි ඇත්ත නැත්ත සොයන්නට මෙනි.
ගෙට තීන්ත ගාගන්නට උවමනා යයි මගේ කටින් වචන පිට වූ සැනින් මට උදව් කරන්නට මගේ මිතුරෝ ඉදිරිපත් වූහ. ගෙයි බිත්තිවලත් දොර ජනෙල් වලත් තීන්ත ගෑමට මට වියදම් වූයේ නම් ඒ ඊට උවමනා බඩු මිලදී ගැනීමට පමණය. මා මෙන්ම, ඉගෙනීමෙන් පරතෙර නොදුටු , එහෙත් හිත හොඳ කොල්ලන් වූ මගේ මිතුරන් තම තමන්ගේ තරමට අනුව කරමින් උන් ජීවිකාවෘත්තීන් පවා අතපසු කරමින් මගේ සහයට ආවේ ආරාධනයෙන් තොරවමය. අම්මා මගේ දෑස් පාදන්නට යයි කියමින් මා පාසල් යවා ඉහලට ඉගැන්වීමට තැත් කලද , මට ඇගේ බලාපොරොත්තු ඉටු කරන්නට හැකි වූයේ නැත. බලෙන් මෙන් වසරින් වසර ඉහලට තල්ලු වී ගිය නීරස පාසල් ගමනක් අවසානයේ අම්මා මා ඇදගෙන ගොස් වෘත්තීය පුහුණු පාසලට බාර දුන්නේ දෑතේ රස්සාවක් වත් ඉගෙනගත්තෙ නැතිනම් උඹ ගස් ගෙඩි කඩන්නදැයි කියමිනි. මගේ නොහැකියාව දුටු විට මෙන්ම මා අසාර්ථක වූ සෑම තැනකදීම ලොකු මාමා මට ඇණුම්පද කීවේ තාත්තා ද සිහි කරවමිනි.
” නැතෑ ඉතින් මහ එකා වාගෙම..ඌ දන්නෙත් පින් බත් ගිල ගිල ඉන්න විතරනෙ..”
ලොකු මාමාගේ මෙවන් වදන් නෑසූ කන්ව හිඳින්නට තරම් ඒ වන විට මා ධෛර්යයමත්ව සිටීම අම්මාටද සැනසීමක් විය. පාසල නීරස වුවද මට වෘත්තීය පුහුණු ආයතනය සතුට මෙන්ම උනන්දුව වඩවන තැනක් විය. පෑස්සුම් ශිල්පියෙකු එනම් වෙල්ඩිං කරුවෙකු වීමට අත්පොත් තැබූ මා පුහුණුව අවසානයේ කණ්ඩායමේ හොඳම සිසුවා වීමෙන් මට වඩා සතුටට පත් වූයේ අම්මාය. මා වෙනුවෙන් සතුටු වීමට අම්මා හැරෙන්නට මෙලොව වෙනත් කිසිවෙක් නොමැති බව දන්නා කරුණක් වූ නමුදු සහතික හා ත්‍යාග බෙදාදෙන උත්සව මොහොතේ නොලද පිය සෙනෙහස වෙනුවෙන් මගේ දෑස් තෙත්වීම වලක්වන්නට අම්මාගේ සෙනෙහස සමත් වූයේ නැත.
අම්මා දහ දුක් විඳ පෝෂණය කෙරුණු මගේ අත පය යකඩ මෙන් ශක්තිමත් වූ අතර තාත්තාගෙන් මා ලද උරුමය වූ සෝමාරි පෙනුමත් ඉත්තෑකූරු කොණ්ඩයත් තාත්තාගේ ඔතෑනි පෙනුමට ගැලපුනු නමුදු මට ගැලපුනේ නැත. ඇතැම්විට කෙනෙකුට මා පෙනෙන්නට ඇත්තේ නුපුහුණු නිර්මාණකරුවෙක් විසින් නිමවන ලද වැරදුනු නිර්මාණයක් ලෙසින් විය යුතුය. මා කුඩා කාලයේදී පවා අම්මාත් , කෙටි කලකට මට හමු වූ ඒ නාඳුනන මිනිසාත් හැරෙන්නට කිසිවෙකුගේ සුරතල් කිරීමකට හෝ ආදරයකට ලක්වීමට තරම් මා වාසනාවන්ත නොවූයේද මේ අකාරුණික මැවීම නිසා විය හැක. දෛවය මට කල විශාලම සරදම නම් මගේ පිටපතක් බඳු වූ මගේ තාත්තාට ද මා එපා වීමය.
අම්මා බොහෝ විට ලද විවේකයන්හිදී ඇගේ හිසට ඉහලින් සිටින සේ මා ඔසවා රූං පෙත්තක් මෙන් මා කැරකෙව්වාය. එවන් විටෙක මා ප්‍රීතියෙන් සිනා නගද්දී ඇයද හඬ නගා හිනැහුනාය. මා අම්මාට තුරුළු වන සෑම මොහොතකම
” මගෙ උනහපුළු පැටියා ” යි කියමින් ඇය මා සිප ගත්තද තාත්තා කිසිවිටෙකත් මට ආදරය පෙන් වූයේ නැත. තාත්තාගේ උරමත නැගී සුරතල් වන්නට මට බොහෝ වර සිතුනද ඔහු කුමන මොහොතක වත් මට ඊට ඉඩක් තැබුවේ ද නැත. පාසල් යද්දී මගේ මිතුරන් ඔවුන්ගේ පියවරුන් සමගින් පාසලට එද්දී මම අම්මාගේ අතේ එල්ලී පාසල් ගියෙමි. මා පාසලට ඇරලවීමෙන් පසු අම්මා ඇගේ රාජකාරියට යා යුතු වූ බැවින් ඇය ගමන් කලේ දිග අඩි තබමිනි. ඇගේ වේගයට සම වන්නට මට යන්නට සිදු වූයේ දුවමිනි. තාත්තා සමග බයිසිකලයක නැගී පාසල් යන්නට ඇත්නම් යන ආශාවෙන් මගේ සිත ඔත්පල වුවද මම කිසිවිටෙකත් අම්මාට ඒ ගැන නොකීවෙමි. අම්මාගේ හිතට දුකක් දැනේ යයි සිතෙනා කිසිදු යමක් අම්මාට නොකීමට තරම් මා පරිස්සම් වූයේ කුඩා අවදියේ සිටමය. තාත්තා අප අත්හැර ගියදා පටන් අම්මා වඩාත් අසරණ වූයේ මා තනිවම නිවසේ නවතා රැකියාවට යාමට නොහැකි වූ බැවිනි. මා පාසල් ගමන පටන් ගත් පසු දහවල් කාලයේ කෙටි අවසරයකින් දිව එන අම්මා මා පාසලෙන් රැගෙන ගොස් මගේ ඇඟ සෝදවා මට බත් බෙදා දී නැවතත් රාජකාරියට දිව යයි. තාත්තා ඇඳ මතට වී සිටියද මගේ තනියට ඔහු ගෙදර සිටීමෙන් මට ආරක්ෂාව ලැබෙනවා යයි ඇය සැනසෙන්නට ඇත. තාත්තාගේ නික්ම යාමෙන් පසු අම්මා පත්ව ඇති අසරණ කමින් ඇය මුදාලීමට හෝ ඇයට අස්වැසිල්ලක් වන ලෙසින් මට කල හැකි කිසිවක් තිබුනේ නැත.
අවසානයේ අම්මාට කල හැකි වූයේ අප ජීවත් වූ නිවස වසා දමා ආච්චිලා ගේ නිවසේ පදිංචියට යාම පමණය. අප ජීවත් වූ නිවස ද අපට ලැබී තිබුනේ ආච්චිලාගෙන් අම්මාට ලැබුනු ත්‍යාගයක් ලෙසින් වුවද නැවත වරක් මහගෙදරට කඩා වැදීමෙන් අම්මා පැතූ සහනය ලැබුනාදැයි මා දන්නේ නැත. තාත්තා අම්මාට කිසිදු ලෙසකින් සහය නොවූවද, නිද්‍රාවට පත් වූ අයෙකු ලෙසින් කල් ගෙවූවද , පණ ඇති තවත් ජීවියෙකු ලෙස පමණක් හෝ ඔහු නිවසේ සිටීම නිසාවෙන් මා ලද නිදහස ආච්චිගේ නිවසේ මට ලැබුනේ නැත.
මා නිවාඩු දවසට ද උදෑසනම අවදි විය යුතු විය. අම්මා සියල්ලන්ටම අහර පිසුවාය. එහෙත් ඇය නිවසින් ගත්තේ රාත්‍රී ආහාරය පමණය. වැඩ අවසන්ව පැමිණෙන අම්මා වෙනදා හදන එක හොද්දක් හෝ සම්බලක් වෙනුවට බත් එලවළු මාළු පිසිය යුතු විය. අම්මාත් මමත් හැරුන විට ගෙදර සිටිනා අනෙක් සියල්ලෝම බත් කෑමට ප්‍රිය කලහ. සුදු පුංචි අම්මා ඉවුම් පිහුම් වලට දැක්වූයේ මැලි කමකි . අම්මාට තනිවම කරගත නොහැකි වූ කටයුත්තකදී සුදු පුංචි අම්මාට අඬ ගැසුවද , අම්මාට ඇති හදිසිය පුංචි අම්මාට තිබුනේ නැත.
” ඇඟේ වහපු මැස්ස හෙල්ලෙන්නෙ නැති ගානට ගාටන්නෙ නැතිව ටිකක් අඩිය ඉක්මන් කරල වරෙන්..”
පුංචි අම්මාගේ නැලවිලි ගමන දකින අම්මා එවන් විටක බැන වැදුනද , පුංචි අම්මා ඒවාට කෝප වූයේ හෝ තම රටාව වෙනස් කලේ නැත. ආච්චී තම තරබාරු සිරුර සොලවා වැඩක යෙදෙනු මා කිසි විටෙක දැක තිබුනේ නැත. සතියේ දිනවල මා පාසලට රැගෙන යාම අම්මා ලොකු මාමාට පවරා තිබුනේ අතට මුදලක්ද මිට මොලවමිනි. අම්මා නොකඩවා වැඩ කලාය. රැයෙහි පැදුරට වැටෙන ඇගේ කෙඳිරිගෑම් ඇසෙනා මා හැකි අයුරින් අම්මාගේ අත පය අතගෑවද , ඉන් අම්මාට සුවයක් දැනුනාදැයි නොදන්නේ ඇය වහා මා වලකාලමින්
” ඇති මයෙ රත්තරනේ ..මයෙ පුතාට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඕනෑ ” යනුවෙන් බිඳුනු හඬින් කියන බැවිනි.
අම්මාගේ කෙඳිරි ගෑමට මා අකමැති නොවුනේ ඇගේ කෙඳිරිය ඇසෙනා තුරාවට මට වඩාත් සුරක්‍ෂිත බවක් දැනුන හෙයිනි. ඇය ගැඹුරු නින්දේ පසු වෙද්දී මට ඇතිවන්නේ විශාල බියකි. හදිසියේ මා රැයෙහි නින්දෙන් අවදි වූ මොහොතක අම්මා නිහඬව නිදන්නේ නම් ඇගේ ළය මත අත තබා හුස්ම ගන්නා බව සැක හැර දැනගන්නාතෙක් මට නින්ද යන්නේ නැත. මට මෙලොව ඉන්නා එකම හිතවතා එකම ආරක්ෂකයා අම්මා පමණය. මට උවමනා වූයේ මගේ ළමා විය හැකි ඉක්මනින් ගෙවා නිම කර අම්මාට අත්වැලක් වීමටය.
සුදු පුංචි අම්මා හැරෙන්නට අනිත් දෙදෙනාම නිරන්තරයෙන්ම තාත්තා ගැන කියමින් අම්මාට ඇණුම්පද කීහ. තාත්තා බැනුම් ඇසීම ගැන මගේ අකමැත්තක් නැතත් තාත්තා වෙනුවෙන් අම්මාට බැණුම් අසන්නට සිදුවීම ගැන මගේ කැමැත්තක් තිබුනේ නැත. ඒකාකාරී වූද දුෂ්කර වූද ජීවිතයෙන් හෙම්බත් වූ අම්මා අවසානයේ තීරණය කලේ අම්මාගේ දුර නෑයෙකු වූ දොඩන්ගොඩ ආච්චිගේ ගෙදර යාමටය . දොඩන්ගොඩ ආච්චී අම්මාට ආදරය කල අතර , මා පිළිබඳව ඇයගේ හැඟීම කුමක්දැයි මට වැටහුනේ නැත. මා පාසලෙන් අස් කරවාගෙන දොඩන්ගොඩ පාසලකට ඇතුලත් කරන්නට හැකි බව දැනගත් අම්මා මගේ හිස සිප ගත්තේ
” යමං පුතේ..අපටත් කොහේ හරි ඉඩක් නැතෑ..” කියමිනි.
මටද උවමනා වී තිබුනේ ආච්චිලාගේ ගෙදරින් පිටවී කොහේ හෝ යාමටය.
යසිකා විජේසිංහ