Breaking News

බාහු පිළබඳ කෙටි සටහනක් – 2014 දී ලියූ නමුත් අවසන් නො කළා

උදය ආර්. තෙන්නකෝන්

පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ වමේ ව්‍යාපාරයේ දේශපාලන චරිත අතර වික්‍රමබාහු කරුණාරත්න යනු අතීතයක් වර්තමානයත් නියෝජනය කරන ප්‍රාමාණික වාමාංශික බුද්ධිමතෙකි. ඔහු වනාහි මහා දේශපාලන ධහරාව නියෝජනය කරන ශුද්‍ර දේශපාලනඥයෙකි.ඔහුගේ ජීවිත කාලය තුලදී දේශපාලනික හා සමාජ සුළි සුළං වලට හසු වුව ද ඒවයේ ගොදුරක් නොවී සිය දේශපාලනික ආස්ථානය තෝරා ගැනීම සෑම අවස්ථාවකම අභියෝගාත්මක විය. මෙම තත්ත්වය වාමාංශික කඳවුරේ සිට හඳුනාගත යුත්තේ කෙසේ දැයි යන කාරණය වැදගත් වන හේතු කිහිපයක් හඳුනා ගත හැකිය.

මක්ස්වාදියෙකු ලෙස ලංකා දේශපාලනය ව්‍යවහාරිකව තේරුම් ගැනීම
තම ලෝක දැක්ම සංයුක්තව ස්ථානගත කිරීම
අධිනිෂ්චිත මොහොතට අනුව යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම

ලංකා දේශපාලනයේ සැකැස්ම වමාංශික වර්ගීකරණයට අනුව ධනේශ්වර කඳවුර හා වාමාශික කඳවුර යනුවෙන් කරන සරළ බෙදීමට අනුව යටත් විජිත, පශ්චාත් යටත් විජිත හා පාර පශ්චාත් යටත් විජිත යන කාලවල දේශපාලන පක්ෂ හා නායකයින් විශ්ලේෂණය කළහොත් ලැබෙන එක් පිළිතුරක් වන්නේ වර්තමානයට වඩා අතීතයේ පක්ෂ හා නායකයින් “ හොඳ,, යන්නය.

එය වමට අදේශ කළ විට ද ලැබෙන උත්තරය එයම බවට පත් වීම වමේ ව්‍යාපාරයේ ද ඛේදාන්තයකි. ධනේෂ්වර කඳවුර හා සභාග ගත වූ ඇන් ඇම්, කොල්වින් පිළිප් ඇතුලු ලාංකීය වාමාංශික පියවරුන් තියුණු විවේචනයකට ලක් වුවද, වර්තමානයේ සිටින වාමාංශිකයින්ට වඩා මේ අය “හොඳයි“ යැයි කියන්නට සිදු වීමය පරිහාණියේ තරම කියන්නකි.

බාහු පිළිබඳව දේශපාලික විග්‍රහයක් කිරීමට තරම් මා සුදුස්සෙකු නොවුවත් වැටහෙන හා දැනෙන ප්‍රාමාණයට ඔහු පිළිබඳ කෙටි සටහනකින් හෝ යමක් කව යුතු යැයි යන අදහස වන්නේ ඔහුගෙන් ඉගෙන ගැනීමට වමේ ව්‍යාපාරයට බොහෝ දෑ ඇතැයි යන සිති විල්ල නිසාය. එය වන්නේ ඔහුගේ භාවිතාව පිළිබඳ කාරණයය.මාක්ස්වාදයේ හෝ ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය තුල සිට ආගමිකවත් මූලධාර්මිකවත් හා න්‍යායයන් තුලින් නිර්වචනය කරමින් බාහුගේ ආස්ථානය වටහා ගන්නට හෝ පවත්නා ලාංකික සන්දර්භයන්ට පෙනී සිටිය යුත්තේ කෙසේ දැයි යන්නට ක්‍රියා කළ යුතු නම් වඩාත්ම සුදුසු වන්නේ සමාජවාදී සමානතා පක්ෂය දරන ආස්ථානයයි. ඒ ඔවුන් සෙසු වමාංශික කොටස්වලට වඩා පුළුල් ලෙස ජාත්‍යන්තර අර්ථයෙන් පෙනී සිටින බැවිනි. ඔවුන්ගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බාහු සම්බන්ධව කරන විවේචනය ඊට හොඳම නිදසුනකි.

එහෙත් බාහු සහෝදරයා හඳුනාගත යුත්තේ එම අර්ථයෙන් ද.

ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන ඔහු, එයින් පිටමන් කිරීමෙන් පසුව ලංකා නව සම සමාජ පක්ෂය පිහිටුවා ගනිමින් වාසු -බාහු යන අයිකනය ලංකා සමාජයට එකතු වන්නේ හැත්තෑව අසූව දශකයන්වල ඇති වන දේශපාලනික චලනයන් හා මර්ධනයන් තුල දී ය. ඉන් අනතුරුව වාසු නොවූ බාහුව හඳුනා ගත යුත්තේ වාසුගේ දේශපාලනික ගමන් මාර්ගයෙන්මය. ඉතා කෙටි සිතිවිල්ලකින් පවා අවශ්‍ය නම් වික්‍රමබාහුට මහින්ද ආණ්ඩුවේ තනතුරක් ලබාගත හැකිය. එහෙත් එවැනි පටු කිරීමට නොගොස් බාහු හඳුනාගත යුත්තේ ඔහුට තිබෙන සුවිශේෂී අනන්‍යතාව නිසාය. ඔහු සතු මෙම අනන්‍යතාව සිය දේශපාලනික භාවිතාවේදී පෙන්නුම් කළ සෑම අවස්ථාවක දීම තම ප්‍රතිවාදීන්ගෙන් ඇති තරමට බැට කන්නට වීම විශේෂයෙන්ම කැපී පෙනෙන්නකි.

2014 දී ලියන ලද නමුත් අවසන් නො කරන ලද සටහන මට හමු වූයේ මගේ කොම්පියුටරයේ ලිපි ගොණුවක් තුල දී ය. දැන් අප සිටින්නේ 2023 වර්ෂයේ දී ය. මේ අතර කාලය තුල දී පවා එක් වරක් ඔහුගෙන් ලිපියක් ලබා ගනු ලැබුවේ “ සමාජවාදයේ ගමන් මාර්ගය පිළිබඳ දරන අදහස් හා සබ්න්ධව ය. ඒ 2015 හෝ 2016 කාලය තුල දී ය.

නමුත් ඔහු 2015 දී පැවැති යහපාලන ආණ්ඩුවට සෘජුව සිය මතවාදය තුලින් සම්බන්ධ වීමෙන් ඔහුගේ දේශපාලන ගමන සෙසු අයගේ ගමන් මාර්ගයට අවතීරණය කර ගන්නට වීම සරළව තේරුම්ගත නො හැකි ය.

නමුත් අද වන විට බාහුගේ තත්ත්වය ඊටත් වඩා සංකීරණය ය. ඔහුගේ වයෝවෘදභාවයත්, අසනීප තත්ත්වයත් නිසා බාහු තවදුරටත් සිතන්නෙකු ලෙස සැළකිය නො හැකි ය. එහෙත් බාහු සහ ඔහුගේ බුද්ධිමය දායකත්වයත්, වාමාංශික දේශපාලනයත්, අපට පසු ගිය අවුරුදු කිහිපයට ලඝුකොට තක්සේරු කළ හැකි ද යන ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ වාමාංශිකත්වයේ ඇති මිණුම් දඬුවලට අනුව සිතන ආකාරයට අනුව ය.

අවාසනාවකට හෝ බාහු විසින් වමේ සහ ලාංකීය දේශපාලනයේ පරමාදර්ශී රූපකය නිමා කර දැමුවේ, පැරණි නෂ්ඨාවශේෂයන්ට යළි පණ දිය නො හැකි ය යන ධර්මතාවය සාක්ෂාත් කිරීමෙන් ය. අවසාන කාලය එසේ වුවත්, බාහු වැනි බුද්ධිමකෙතුගේ ශ්‍රමයේ වටිනාකම සිය අවසාන කාලයට කොටු කර බැහැර නො කළ යුතුවාක් මෙන්ම, ඔහුගේ ලිපි ලේඛන සහ අදහස් මේ විශ්ව තලයේ මිනිස් වර්ගයාට සුභවාදී ශ්ක්තියක් ගෙන දීමට තරම් ප්‍රභල බවක් ඇති බව විශ්වාසය වේ. දැන් බාහුට අනුකම්පාව, වෛරය වෙනුවට ආදරය කරන්න අවශ්‍යව ඇත. එය කළ හැකි වන්නේ ඔහුගේ බුද්ධිමය ශ්‍රමයට ලබා දිය හැකි වටිනාකමකිනි. දැන් ඔහුව තබා ගෙන සිටින ඔහුගේ පක්ෂයට කළ හැකි දෙයක් නැත. ඒ ඔස්සේ තව දුරටත් කළ හැකි වන්නේ බාහුව විනාශ කිරීම පමණක් විය හැකි ය. එනිසා බාහු දැන් වමට සහ සමාජයට, ලෝකයට අයිති උරුමයක් මිස පුද්ගලික දේපලක් නොවන බව මගේ වැටහීම වන්නේ ය.

 

leave a reply