Breaking News

කනේරු මල් ( කෙටි කතාව දෙවන කොටස )

යසිකා විජේසිංහ

අම්මාටත් මටත් සමුදෙන්නට හෝ පසු ගමන් ඇරලවන්නට කෙනෙක් සිටියේ නැත. අප දොඩන්ගොඩ යන බව දැනගත් ආච්චී නොයෙක් දේ කියමින් අම්මාට බැණ වැදුනාය. තමාගේ වාත අමාරු වලට බෙහෙත් කරන්නේ කවුදැයි අසමින් නහයෙන් ඇඬුවාය. එහෙත් අම්මා ගත් තීරණයේම සිටියා මිස වෙනස් වූයේ නැත . අප දෙදෙනාට ගෙන යාමට තිබුනේ ඇඳුම් බෑග් දෙකකුත් , මගේ පාසල් පොත් බෑගයත් පමණකි .

දොඩන්ගොඩින් බසයෙන් බැස ගත් අපේ වෙහෙසුනු ගතටත් සිතටත් සැනසීමක් දැනුනේ දොඩන්ගොඩ ආච්චිගේ නිවස තිබුනේ ප්‍රධාන පාරේ නොවුනද බස් යන අතුරුපාරක අයිනේ වීමය. එම පාරේ යන එකම බස් රිය නිතර නොගියද , අප යන මොහොතේ ගමනට සූදානම්ව තිබුන බැවින් එදා අපට කරදරයක් නොවී යාමට හැකි විය. දොඩන්ගොඩ ආච්චී අපව පිළිගත්තේ සතුටිනි. ඇය ජීවත් වූයේ තනිවම වුවත් විශාල නිවසකය.

” වරෙල්ල වරෙල්ලා.. උඹලට හොඳටම මහන්සි පාටයි ..” ඇය කීවේ අපව ගෙතුලට කැඳවමිනි.
අපට ඉන්නට කාමරයක් පෙන්වමින් ද , ආගිය කතා විමසමින් ද ඇය කඩිසරව නිවසේ ඒ මේ අත ඇවිද ගියාය. ආච්චී යැයි කීවද ඇය මගේ ආච්චී තරමට මහත නැත. වයසද නැත. මගේ ආච්චී මෙන්ම ඇයද ඇන්දේ දෙපතුල දක්වා දිගු ගවුමකි. අම්මාගේ මහ ගෙදර අප දෙදෙනා උන් කාමරයට වඩා දොඩන්ගොඩ ආච්චීගේ නිවසේ අපට ලැබුන කාමරය විශාලය. ඒ කාමරයේ ඇඳක්, අල්මාරියක්, මහන මැසිමක් හා තරමක පෙට්ටගමක්ද විය. අම්මාටත් අල්මාරියක් තිබුනද , එය තිබුනේ අපේ වසා දැමූ ගෙදරය. අම්මා තරම් ඉක්මනින් නොවුනද , මමද සතුටින් දොඩන්ගොඩ ජීවිතයට හුරු වුනෙමි.

එහෙත් මගේ සතුට වැඩි වූයේත් , ජීවිතයේ මා ලද එකම හා කෙටිම සතුටුදායක කාලය මා වින්දේත් දොඩම්පෙ මාමා හමුවුන පසුවය.
අම්මා මා අලුත් පාසලකට ඇතුලත් කලාය. අලුත් පාසල තිබුනේ ලොකු දුරක නොවේ. අලුත් පාසල මට නීරස වූයේද නැත. දොඩන්ගොඩ ආච්චීගේ පුතෙකු එතෙර ඉන්නා බැවින් ඇයට අගහිඟයක් තිබුනේ නැතත් පුතා එවන මුදලින් කා බී සැනසෙන්නට ඇය සූදානම් වූයේ නැති බැවින් දන්නා හඳුනන තරුණයෙකු ලවා කැබලි රෙදි ගෙන්වාගෙන පාපිසි මැසීම කලේ සතුටිනි. දොඩන්ගොඩ ආච්චී අම්මාට ද පාපිසි මැසීමේ කලාව හුරු කලේ

” දෑතෙ රස්සාවක් ඉගෙන ගනින්.. එතකොට කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ..උඹලගෙ අම්මටත් එහෙම උවමනාවක් තිබුන ගෑනියෙක්යැ.. දරුවො වැදුව මිසක එකෙක්ගෙවත් ඇස් පාදන්න උවමනාවක් තිබුනෙ නැහැනෙ..” යි කියමිනි.

දොඩන්ගොඩ ආච්චී මගේ ආච්චිට දොස් පවරද්දී මට දැනුනේ සිහින් සතුටකි. එහෙත් අම්මා ඒ සියල්ල අසා සිටියා මිසක කිසිවක් කීවේ නැත.

” මොනව කරන්නද නැන්දේ..මගේ වැරදි වලට අනිත් අයට දොස් කියල වැඩක් නෑ..මේ මගේ කරුමේ..”

” ඔව් ඉතින් උඹටත් ඔය නල්ලමලේ කසාදෙ කරගන්න කල් ඕකෙ තරම තේරුනේ නැහැනෙ.. ”

” මොනව කරන්නද නැන්දේ ..මිනිස්සු කාල බලන්නයැ..ඒ මනුස්සය මගෙ පස්ස පාරෙම වැටුනෙ පෙර ගත්ත ණයක් බේරගන්න ද කොහෙද..මම මේ හැටි දුක් විඳින්නෙ මගෙ කොල්ල ලොකු වෙනකල් විතරයි නැන්දේ..ඊට පස්සෙ මට දෙයියනේ කියල පාඩුවෙ ජීවත් වුනෑකි..”

” උඹ ඉතින් මොනව කරන්නද..මොනව කරන්නද..කිය කිය හිටපං. තවම උඹට මොන වයසක් ද බං..උගෙන් අයින් වෙලා හරි හමන් කසාදයක් කර ගනින්..අනික උඹ තමයි පවුලෙන්ම ඇහැට කනට පේන එකී..”

දොඩන්ගොඩ ආච්චී එසේ පවසද්දී අම්මා වහා මා දෙස බලනු මා දුටුවේ හොරැහිනි . අම්මාත් ආච්චීත් පාපිසි මැසීමේ කටයුතු වල යෙදෙද්දී ඔවුන් දෙදෙනා කතා බහ කරනා දේ අසා සිටින්නට මම ප්‍රිය කලෙමි. ඇසෙන මානයේ සිට පාසලේදී දුන් ගෙදර වැඩක් හෝ වෙනත් වැඩක යෙදෙමින් මේ කතාබහට සවන්දීමෙන් මා ලැබුවේ සතුටකි.අනුන්ගේ කතාබහකට සවන් දීම වරදක් උවත් මා නොදන්නා බොහෝ දේ මා උගත්තේ ඔවුන්ගේ කතා බහ ඇසීමෙනි. අම්මාට ඒ බව වැටහුනහොත් ඇය වහා මා ඉවතට යවන්නේ

“කටදිහා බලන් ඉන්න පුරුදු වෙන්න එපා” යැයි කියමිනි.

දොඩන්ගොඩ ආච්චීගේ උත්සාහය මල්ඵල ගන්වමින් අම්මා ඉක්මනින්ම මහන්නට ඉගෙන ගත්තාය. පාපිසි පමණක් නොව ඇඳුම් පවා කපා මසන්නට ඉගෙන ගන්නට හැකි වීමෙන් අම්මා සිටියේ සතුටිනි. දොඩන්ගොඩ ආච්චී මා දුටුවේ විස්මිත හැකියාවන් ඇති අයෙකු ලෙසිනි. අම්මාටද යමක් දුටු පමණින් හෝ ඉතා කෙටි කැපවීමකින් ඉගෙනගත හැකි විය. මටද පිහිටා ඇත්තේ ඇය සතුවූ ඒ විශේෂ හැකියාවන් විය යුතුය.

දොඩම්පෙ මාමා යනුවෙන් මා හඳුන්වනු ලැබුවේ දොඩන්ගොඩ ආච්චී රෙදි කැබලි ගෙන්වා ගත් තරුණයාය. ඔහුද මා මෙන්ම තම මව සමග ජීවත් වූ අයෙකි. තලෙළු පැහැයෙන් ද, උසට සරිලන මහතකින් ද යුතු වූ ශක්තිමත් සිරුරකට හිමි කම් කී, දොඩම්පෙ මාමා ජීවනෝපාය ලෙසින් කලේ ගොවිතැන් කටයුතුය. මුහුණ පුරා වැඩුනු රැවුල නිසා ඔහුගේ මුහුණේ පියකරු පෙනුම මට තවත් වැඩි වී පෙනුනි. ඔහු මා ඇමතුවේ ” සුදු මහත්තයා ” යනුවෙනි. අම්මා තරමට තබා දොඩම්පෙ මාමා තරමටවත් සුදු නැති මට සුදු මහත්තයා යන ඇමතුම විහිළුවක් සේ දැනුනද , ඉන් මා අප්‍රමාණ සතුටක් ලැබුවේ එලෙස ඇමතීමෙන් ඔහු මා සරදමට ලක් කිරීමක් නොකල බව හොඳින්ම වටහා ගත් බැවිනි.

දොඩම්පෙ මාමා මා සමග කතා බහ කලේ සතුටිනි. ඔහු මගෙන් පාසලේදී කල කී දේවල් ඇසුවේත්, මා ඒවාට පිලිතුරු දුන්නේත් උනන්දුවෙනි. පාසලට ගෙනයාමට නොයෙකුත් අත් වැඩ උවමනා වූ විට ඔහු ඒවා කර ගැනීමට මට උදව් වූයේ ඉල්ලීමකින් තොරවමය. මෙතෙක් කලකට අම්මා හැරෙන්නට මගෙන් පාසලේදී මොනවා කලාදැයි ඇසුවා නම් ඒ දොඩම්පෙ මාමා පමණය. රෙදි කැබලි මළු දෙකක් එක පිට තබා පාපැදියේ ගැට ගසාගෙන එන ඔහු එය බිමට බෑ පසු මා බයිසිකලයේ හිඳුවාගෙන මිදුලේ කිහිප වටයක් පැද යන්නේ අම්මා ඔහුට තේ කෝප්පයක් සාදා දෙන පමාවටය. ඇතැම් දිනක ඔහු මා පාපැදියේ ඉදිරිපස පොල්ලේ තබාගෙන පාර දිගේ තරමක් දුරට පැදගෙන යයි. වෙල්යාය පසු කරගෙන යද්දී හමන සුළඟට හසුව දොඩම්පෙ මාමා හැඳ සිටින කමිසය පිම්බෙන්නේ ඔහු තවත් යෝධ ශක්තිය ඇති අයෙකු ලෙස පෙන්වමිනි.

දොඩම්පෙ මාමා මා සුරතල් කලේය. කාටවත් නොපෙනුන සුරතල් පෙනුමක් ඔහුට මවෙතින් පෙනුනාදැයි නොදන්නා නමුත්, මා එම සුරතලය විඳ ගත්තේ ඉමහත් කැමැත්තෙනි. ඔහුගේ කරමත නැගී යන්නටත්, අම්මා මා කරකවමින් සුරතල් කල අයුරින් , ඔහු ලවා ද රූං පෙත්තක් මෙන් කරකවා ගැනීමට මම ආශා කලෙමි. ඇතැම් දවසක පාසලට අම්මා සමග යන අතරතුර දී දොඩම්පෙ මාමා හමු වුවහොත් ඔහු මා පා පැදියේ නංවාගෙන පාසලට කැටුව යන්නේ අම්මාට ආපසු ගෙදර යන්නැයි කියමිනි. එවන් දිනයක මා පාසල ලඟින් බැස ගන්නේ සියුම් ආඩම්බරයක් සිත තුල ගොඩ නැගෙමින් තිබියදීය. මා ගැන නොදන්නා සිසුවෙක්

” ඒ තාත්ත ද ?”

යනුවෙන් අසද්දී මා ඉහලටත් පහලටත් හිස සොලවන්නේ මුවින් කිසිවක් නොදොඩමිනි. අනේ මටත් මෙවන් තාත්තා කෙනෙක් හිටියා නම් යැයි මට සිතුනු වාර ගණන කොතෙක්දැයි මට මතක නැත. අප දෙදෙනාගේ සමාගමය දෙස බලා සිටිනා ඇතැම්විටක අම්මාගේ මුහුණේ සිනාවක් නැගුනද ,ඇගේ මුහුණේ පැතිර තිබූ දුක්මුසු පෙනුම මකාලන්නට එම සිනහව සමත් වූයේ නැත. දිනක් මා අම්මා සමග නිදාගන්නට යද්දී

” අම්මේ..අපටත් දොඩම්පෙ මාමා වගේ තාත්තා කෙනෙක් හිටියා නම් කොච්චර හොඳද..” කියා ඇසුනේ ඉබේටමය.

අම්මා වහා තම අතින් මගේ කට වැසුවේ මා මෙලොව ඇති නරකම වචනය කියූ කලෙක මෙන් කලබලයෙනි. මගේ කට වැසූ ඇය දිගු සුසුමක් හෙලුවා මිස , මට වෙනත් තරවටුවක් නොකලේ ඇයද මා කී දෙය අනුමත කල නිසා විය යුතුය. අම්මා දොඩම්පෙ මාමා සමග කතා කලේද අකමැත්තකින් නොවේ යැයි මට සිතුනද, ඇය ඒ බවක් ඇඟෙව්වේ නැත. මා තව තවත් දොඩම්පෙ මාමාට ලං වීම අම්මා බලා සිටියේ කර කියා ගත හැකි කිසිවක් නැති කලෙක සේය.

” ඔය කමකට නැති කසාදෙ කටුගාල දාල උඹට යන කලදවසක් බලාපං.. උඹට විතරක් නෙවෙයි මේ කොලුවටත් පිරිමි හව්හරණක් ඕන බං..”

විටෙක දොඩන්ගොඩ ආච්චී, අම්මාට එසේ කියනු ඇසුනද ඒ කුමන කතාවක දී දැයි මා නොදන්නා සේම ඊට අම්මා දුන් පිළිතුර මට ඇසුනේද නැත .

” දොඩම්පෙ ළමය නරක කෙනෙක් නෙවෙයි..අහිංසක හිත හොඳ එකා..අනික ඌ මේ කොලුටත් ආදරෙයි නේ..උඹ කැමති නම් කියාපං මම ඒකගෙ අම්ම එක්ක කතා කරන්නම් ”

දොඩන්ගොඩ ආච්චී යලිත් වරක් කියනු ඇසුනද , ඉන් අනතුරුව පැවති නිහඬබව අම්මාගේ හඬින් බිඳුනේ නැත.

දොඩම්පෙ මාමා දිනක් මා ඔහුගේ ගෙදර කැඳවාගෙන ගියේ බොහෝ වේලාවක් කන්කෙඳිරි ගා අම්මාගෙන් අවසර ගැනීමෙන් පසුවය. දොඩම්පෙ මාමා බයිසිකලයේ මා හිඳුවාගෙන සෑහෙන දුරක් පැද ගිය පසු වෙල් යායක තිබූ මහ නියරක් ඔස්සේ ගොස් කුඩා නිවසක් ඉදිරියේ බයිසිකලය නවතා කඩුල්ලෙන් මා ඔසවා තැබුවේ

” ඕන්න සුදු මහත්තයා ..මේ තමයි මගේ මාලිගාව ” යැයි කියමිනි.

අපේ නිවස තරම් ලොකු නොවූවද දොඩම්පෙ මාමාත් ඔහුගේ මවත් ජීවත් වූ නිවස ලස්සන යැයි මට සිතිනි. මිදුලේ පැත්තක මඤ්ඤොක්කා වගාවකි. ගෙදරට පහලින් බෑවුමේ කුඹුර දොඩම්පෙ මාමා සතු බව ඔහු මට කීවේ ගෙදරට යන අතරතුරදීය. ගෙය පිටුපස කඳ මහතට හැදුන තැඹිලි ගස් දෙකකුත් පොල් ගස් කිහිපයකුත් තිබිණි. මිදුලේ හැම තැනම වාගේ සිටුවා තිබූ බොහෝ ගස් වල මල් පිපී තිබුණි. ඒ අතරින් වඩාත් මගේ සිත් ගත්තේ රෝස පැහැති මල් පිපී තිබූ නම නොදන්නා ගසකි.

” මාමා ..මේ මල් හරි ලස්සනයි..මම ගොඩක් කැමතියි මේ මල් වලට. ”
මා කීවේ මල් පිරී තිබුණු ගස පෙන්වමිනි.

“ඒ තමයි පුතේ කනේරු මල් ..මල් ලස්සන වුනාට පුතේ ඒ ගහ විස ගහක්.. ඒ ගහේ කිරි විසයි . හැබැයි මල් ලස්සනයි. අපි ප්‍රවේසමින් මල් වල ලස්සන බලන්න ඕන ..හරියට අපේ ජීවිතත් වෙලාවකට ඒ වගේ. ලස්සන වුනා කියලා,අපි ආස වුනා කියලා අපට සමහර දේවල් ලං කරගන්න බෑ ..” දොඩම්පෙ මාමා කීවේ දුක්මුසු ස්වරයෙනි.

” අම්මේ…මෙහෙ එන්නකො පොඩ්ඩක්..”

ඊලඟ මොහොතේ දොඩම්පෙ මාමා ගේ හඬ ගෑමට ගෙතුල සිට එලියට ආවේ කෙසඟ ගැහැනියකි. ඇය ඇඳ සිටියේ මගේ ආච්චී මෙන් හෝ දොඩන්ගොඩ ආච්චී මෙන් ගවුමක් නොව රෙද්දක් සහ හැට්ටයකි.

” මේ යමුනගෙ දරුවා .. ” දොඩම්පෙ මාමා මා පෙන්වමින් කීවේය.

” හා..උඹ කසාදෙට කලින් දෑවැද්ද ගෙදර ගෙනාව එහෙනම් .. හොඳා..හොඳා.. බොට හොඳ නම් මට මොකෝ..” කියමින් ඇය හොහ් හොහ් හොහ්.. ගා සිනාසුනේ මා දෙස විපරම් බැල්මක් හෙලමිනි.

” ඈ..පොඩි එකෝ ..උඹ උඹලගෙ අම්ම වගේද තාත්ත වගේද..” එවර ඇය ඇසුවේ මගෙන් වුවද මා දොඩම්පෙ මාමාගේ සරමට මුවා වූවා මිස ඊට පිළිතුරු දෙන්නට නොගියේ ඇගේ කටහඬෙහි මට කරුණාවන්ත බවක් නොදැනුනු හෙයිනි.

” මේ පොඩි එකාගෙන් නොතේරෙන දේවල් නාහ ඉඳිං අම්මේ.. ” යි කියමින් දොඩම්පෙ මාමා මා කැටුව ගොස් තැඹිලි ගෙඩියක් කඩා මට බොන්නට දුන්නේය. තැඹිලි බොමින් ද , වෙල් යායේ ඉගිලෙන කුරුල්ලන් දෙස බලමින් ද , දොඩම්පෙ මාමා කියා දුන් බොහෝ දේ අසමින් ද ගෙවූ ඒ කාලය මට ඔහුගේ මව අමතක කරවීය. අප නැවත එනවිට ඇය පෙනෙන්නට සිටියේ නැති බැවින් මට නැවත වරක් ඇය මුණ ගැසුනේ නැත.

” සුදු මහත්තයා කැමති නැද්ද අම්මත් එක්ක ඇවිත් අපේ ගෙදර නවතින්න ”

දොඩම්පෙ මාමා බයිසිකලයේ එන අතරතුරදී ඇසූ මොහොතේ මා වහා නැතැයි කීමට හිස දෙපසට සෙලෙව්වේ දොඩම්පෙ මාමාගේ මව සිහිවීමෙනි. ඇය මට ආදරේ නැතැයි මට සිතිනි. දොඩම්පෙ මාමාද මගෙන් යලිත් ඒ ගැන ඇසුවේ නැත.

කාලය ඉක්මනින් ගෙවී යන්නට ඇතැයි මට සිතුනේ ආච්චී අසනීප වී ඇතැයි ද , සුදු පුංචි අම්මාට ආච්චිගේ වැඩ කටයුතු තනිවම කර ගැනීමට නොහැකි හෙයින් අම්මාට වහාම මහගෙදර එන ලෙසද දන්වා ලොකු මාමා විසින් එවන ලද ලියුම ලද මොහොතේය. ලියුම කියවා අපි දෙදෙනාම හැඬුවෙමු. අම්මා ලියුම කියවා හැඬුවේ ආච්චී අසනීප වී ඇති නිසාද , නැතහොත් නැවත යාමට සිදුවන නිසාදැයි නොදන්නා නමුත් මා නම් හැඬුවේ නැවත වරක් මා අකමැති ඒ පරිසරයට යාමට සිදුවන බැවිනි.

දොඩන්ගොඩ ආච්චී මා නවතා අම්මාට යන ලෙස කීවත් අම්මා ඇයට කරදරයක් වීමට කැමති වූයේ නැත. අවසානයේ අප දෙදෙනාට ආපසු යාමට හිත හදා ගන්නවා හැර කරන්නට කිසිවක් තිබුනේ නැත. දොඩම්පෙ මාමා මා පාසලෙන් අස් කරවාගෙන යන බව අසා බොහෝ සේ කම්පා විය. මා සිටියේද ඔහු හැර යාමේ ශෝකයෙනි.

” මාව දාල යනවද සුදු මහත්තයා ”

යැයි අසමින් ඔහු මා සිප ගත්තේය. ඔහුගේ දෑසේ කඳුළු පිරී ඇති බව දුටු මටද කඳුළු නවතා ගත නොහැකි විය. මම දොඩම්පෙ මාමාගේ බෙල්ල බදාගෙන හැඬුවෙමි .

” සුදු මහත්තයට මාව අමතක වෙයි..”

දොඩම්පෙ මාමා බැරෑඬි හඬින් කීවේ අපව පාරට ඇරලවන්නට පැමිණ , බසයක් එනතෙක් පාරට වී සිටින මොහොතේය.මම නැතැයි කීමට හිස වැනුවෙමි. ඔහුගේ මුහුණ කළු වලාවකින් වැසුනාක් මෙනි . වෙනදා තිබූ පැහැපත් පෙනුම නැත. මම දොඩම්පෙ මාමාට දණගසා වැන්දෙමි.
අම්මාද බසය ඈතින් එද්දී දොඩම්පෙ මාමාට වැන්දාය. ඔහු අම්මාගේ හිස අත ගෑවේ ඉවත බලාගෙනය. අප පාරට එන්නට පිටත් වීමට පෙර දොඩන්ගොඩ ආච්චී මෙතෙක් කලක් අම්මා පාපිසි මැසීමට උදව් වීම වෙනුවෙන් ඉතිරි කල මුදල් ඇය අතට දුන්නේ

” උඹ මීට පස්සෙ කාගෙවත් වළං හෝදන්න ඕන නෑ..මේ සල්ලි වලින් මොනව හරි කරන්න බලපං..උඹට ඕනම වෙලාවක මගේ ගෙදර දොර ඇරල තියෙන්නෙ කෙල්ලෙ…තේරුනාද..” යි කියමිනි. අම්මා හඬමින් දොඩන්ගොඩ ආච්චීට දණගසා වැන්දාය.

අවසානයේ අම්මාත් මමත් අම්මාගේ මහගෙදරට යලිත් වතාවක් පා තැබුවෙමු.

බලාපොරොත්තුවූ තරමට ආච්චීගේ අසනීප තත්ත්වය බරපතල නොවීම එක් අතකින් අම්මාට ගෙන දුන්නේ සැනසීමකි. එහෙත් වරින් වර උඩ මතුවන, දිය යට ඔබන ලද රබර් බෝලයක් මෙන් වූ දොඩන්ගොඩ මතකය මගේ සිතට ආවාක් මෙන්ම අම්මාගේ සිතට ද නොආවායි කිව නොහැක. අම්මාගේ පැමිණීමෙන් පසු ආච්චී ඉක්මනින්ම සුපුරුදු තත්ත්වයට පැමිණියේ අම්මා ගේ කෑම බීම මෙන්ම සාත්තුවද ඇයට හරි ගිය නිසා යැයි ලොකු මාමා කීවේ සිනාසෙමිනි.

මා යලිත් වරක් ගමේ පාසලට ඇතුලත් කල අතර මා පාසල් ගියේ ඕනෑවට එපාවටය. ලොකු මාමාගේ ත්‍රීවීලයේ නැගී පාසලට යාම වෙනුවෙන් අම්මා ලොකු මාමාට මුදල් ගෙව්වද මට ඒ ගමන නීරස විය. ලොකු මාමා මගෙන් කිසිවක් ඇසුවේ නැත. පාසලේ වැඩකටයුතු ගැන කෙසේ වෙතත් අඩු තරමේ දොඩන්ගොඩදී අප ගත කල කාලය ගැන ඇසුවා නම් දොඩම්පෙ මාමා ගැන කීමට තිබුනා නොවේදැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. දොඩම්පෙ මාමාගේ හොඳ ගතිගුණ ගැන ලොකු මාමාට කියා ඔහුට රිදවීමටත් , ඒවා අසා ඔහුගේ මුහුණ අඳුරු වනු දැකීමටත් අවස්ථාවක් නැති වීමෙන් මට දැනුනේ කණගාටුවකි.

අම්මා සතියකට වරක් මා ඇතිව හෝ නැතිව , වසා තැබූ අපේ ගෙදර ගොස් අතු පතු ගා පිරිසිදු කර ආවාය. අප නැති කාලයේ ලොකු මාමා අපේ ගෙදර වරින් වර ගොස් සුද්ධ පවිත්‍ර කර ආ බව කීවද , අම්මා කීවේ වසා දමා ඇති බැවින් ගෙදර ජරාවාස වී ඇත යනුවෙනි. තාත්තා පිළිබඳව මිහිරි නොවූ මතක රැඳි අපේ ගෙදරට මා එතරම් කැමැත්තක් නොදැක්වූ නමුත් අම්මාගේ මහගෙදරට වඩා කැමැත්ත තිබුනේ අපේ ගෙදරටය. එහෙත් අම්මාටත් මටත් එහි ගොස් ජීවත් වීම කරදර බව කියමින් ලොකු මාමා ඇතුළු සියල්ලන්ම කැමති වූයේ අප දෙදෙනා ඔවුන් සමග රැඳෙනවාටය. දවස සාමාන්‍ය පරිදි ගෙවුනද සියල්ල වෙනස් වීමට ලොකු කාලයක් ගත වූයේ නැත.

එදා සිකුරාදා දිනයක් වූ අතර අම්මාත් මමත් ලොකු මාමාගේ ත්‍රීවීලරයෙන් පාසල අවසන්ව ගෙදර එමින් සිටියෙමු. පාසලත් නිවසත් අතර ඇති දුරින් අඩක් පමණ ගෙවා ආ පසුව හමු වන තේ කඩය ඉදිරිපිට දී අහම්බෙන් ඇස ගැටුනු සුපුරුදු රුව දුටු මට කෑ ගැසුනේ ඉබේටමය.

” අම්මෙ..අම්මෙ..දොඩම්පෙ මාමා..”

මම අම්මාගේ අත සොලවමින් කෑ ගැසුවෙමි. අම්මා මට කෑ නොගසන්නැයි කියන්නට මෙන් මගේ අත තදින් මිරිකා ගත්තද පසුපස බලන කණ්නාඩිය ඔස්සේ ලොකු මාමාගේ විමසිලිමත් දෑස් පළමුව මා වෙතටද, දෙවනුව අම්මා වෙතටද පා වී ආවේය . අම්මා තව දුරටත් මගේ අත තද කොට අල්ලා ගෙන සිටියද, මා ආදරය කල මෙන්ම මට ආදරය කල ඒ අපූරු මිනිසා දෙස මා යලිත් වරක් හැරෙමින් බැලුවේ ලොකු මාමා අප සමග ඉන්නා බව අමතක කරමිනි.

වෙනදා අඳින සරම වෙනුවට කළු පැහැති දිගු කලිසමකින්ද, අත් කොට කමිසයකින්ද සැරසුනු දොඩම්පෙ මාමා වෙනදාටත් වඩා ලස්සන යැයි මට සිතුනි. ඔහු දෑත් බැඳගෙන අප යන දෙසට හැරී බලා සිටිනු දුටු මා ඔහුට අත වැනුවද , ඔහු මට අත වැනුවේ නැත.ඇතැම්විට දොඩම්පෙ මාමා මා අත වනනු නොදුටුවා විය හැක. දොඩම්පෙ මාමා හමු වී එක වචනයක් හෝ කතා කරන්නටත් ඔහුගේ බෙල්ල බදාගෙන එක මොහොතක් ඔහුට කියා වඩවාගෙන ඉන්නටත් ඇති වූ ආශාවෙන් ඒ මොහොතේ මගේ සිත ඇදුම් කෑවේය. ත්‍රීවීලරයෙන් බැස ආපසු හැරී ඔහු ඉන්නා තැනට දිව යන්නට සිතුනද , ලොකු මාමාගේ විදුලි වේගයෙන් යන ත්‍රීවීලරය මට ඊට ඉඩ දුන්නේ නැත.

අම්මාත් මමත් නිවසට හැරෙන පාර ලඟින් බැස්වූ ලොකු මාමා ආවාට වඩා වැඩි වේගයකින් ආපසු හැරී යන්නට ගියේය. ඔහු සමගම එයට නැගී දොඩම්පෙ මාමා සොයා යන්නට තිබුනා නම් යැයි මට සිතුනද , අම්මා සිටියේ මහ දවාලේ අවතාරයක් දුටුවාක් මෙන් බය බිරාන්තවය. අම්මා මෙපමණ බිය වී සිටින හේතුව මෙන්ම , අපට බොහෝ සේ උදව් කල දොඩම්පෙ මාමා නොදුටුවාක් මෙන් නිහඬව ඒමද මට වටහා ගත නොහැකි වූ කරුණකි. මගේ සිතේ අම්මා කෙරෙහිද , ලොකු මාමා කෙරෙහිද ඇති වූයේ කෝපයකි. මම අම්මා එතනම දමා තනිවම ගෙදර ගියෙමි . හෙමින් හෙමින් පැමිණ ගෙදරට ගොඩ වුනු අම්මාගේ මැලවුන මුහුණ දුටු මට ඇය ගැන දුක සිතුනද , දොඩම්පෙ මාමා හමු නොවීමේ කණගාටුව ඊට වඩා වැඩි වූ හෙයින් මම ඇය දෙස නොබලා ඉවත බලා ගතිමි.

අම්මා ඉක්මනින් මගේ ඇඟ සෝදවා බත් කැව්වේ දෑසට උනන කඳුළු සඟවා ගනිමිනි . සුදු පුංචි අම්මා ඒ වනවිටත් දහවලට කා බී නිදාගෙන සිටි අතර ආච්චී, අම්මා දෙස විපරම් බැලුම් හෙලුවද කිසිවක් ඇසුවේ නැත. බත් කෑමෙන් පසු මගේ නිදිබර වූ දෑස් වැසුනේ කුමන මොහොතේදැයි නොදන්නා නමුත් මා අවදි වූයේ මහා ගෝරනාඩුවක් සමගම විලාප හඬක් ඇසීමෙනි. මම පැදුරෙන් නැගිට එලියට දිව්වෙමි. අම්මා බිම වැටී හඬමින් සිටි අතර ලොකු මාමා සරමේ කෙලවරක් එක් අතකින් ඔසවාගෙන අත තිබූ කඩුවකින් අසල තිබූ ගසකට කෙටුවේ වියරු වැටුනු පරිද්දෙනි. මම දුව ගොස් අම්මා බදා ගත්තේ ලොකු මාමා අම්මාටද කඩුවෙන් කොටා ඇතැයි සිතමිනි. මා දුටු අම්මාගේ අලුත් වූ හැඬුම ඇසුනු ලොකු මාමා කඩුව පසෙකට ලා පැමිණ අම්මාට අත දිගහැර පහර දෙද්දී මම
” මගෙ අම්මට ගහන්න එපා ”
යැයි කියමින් ලොකු මාමාගේ ඇඟට පැන්නේ ඔහු පෙරලා දැමීමේ අටියෙනි. ලොකු මාමා
” අහකට පල ඇටිකිච්චා ” කියමින් මගේ අතකින් ඇද මා පසෙකට විසි කලේ කෑමෙන් පසු ඉවතට දමනා කෙසෙල් ලෙල්ලක් පරිද්දෙනි.

මෙතෙක් වේලා ලොකු මාමා වලක්වන්නට ලං නොවී විලාප තබමින් උන් සුදු පුංචි අම්මාගේත් , ආච්චීගේත් විලාපයට එවර අම්මාගේ විලාපයද එක්විය. ලොකු මාමාගේ විසි කිරීම නිසා බිම ඇද වැටුනු මගේ පස්ස බිම ඇනීමෙන් දැනුනු රිදුමට වඩා, මට අම්මා පහර කෑම ඉවසිය නොහැකි විය. එවර මම දිව ගොස් අම්මා බදාගත් නමුත් මගේ ඇඟට ද වැදුන තවත් පහර කීපයකින් පසු ලොකු මාමා ඉස්තෝප්පුවේ තිබූ හාන්සිපුටුවේ ඉඳ ගත්තේ හති දමමිනි.
අම්මා තවදුරටත් මා තුරුළු කොටගෙනම බිම වැතිරී හැඬුවාය. ලොකු මාමා නපුරු බව මා දැන සිටියද , ඔහු මෙතරම් යක්ෂාවේශ වීමටත් අම්මාට පහර දීමටත් හේතුව මට වටහා ගත නොහැකි විය. ආච්චී උන්නේ කම්මුලේ අත ගසාගත් වනමය.

” උඹ හිතන්නෙපා ..ආපහු උඹ හිතන නැටුම් නටන්න හම්බෙයි කියල..ඈ..ඊරියෙ, තෝ එක පාරක් මිනිහෙක් කියල එකෙක් එක්ක ගිහින් මේ හිඟන පැටියෙක් කර ගහ ගත්ත..කෝ දැන් මුගෙ මහ එකා..පැදුරටත් නොකිය ගිය වරත්තුවා.. එලියට බැහැපං බලන්න ආයෙත්..තොගෙ අඬු හතර කඩනවා මම..” ලොකු මාමා එසේ කියමින් දත් මිටි කෑවේය.

” දැන් ඔය මදෑ බං..නවත්ත ගනිංකො උඹේ ඔය සද්දෙ. මොන ජරාවක් කටේ ගාගෙන ආවද උඹ. .. බලාපං ගන්දස්සාරෙ බෑ ” ආච්චී කීවේ ඉවසා සිටින්නට බැරිම තැන විය යුතුය.

” මම දුන්න අරූටත් ආයෙ මේ පැත්ත බලාගෙන බත් කන්න බැරි වෙන්න..ගෑනුන්ව දැපනෙ දාගන්න හදන පෙරේතයො.. මතක තියේ නම් ආයෙ හැරිලවත් බලන එකක් නෑ.. ”

ලොකු මාමා පාරම්බෑවේය.

මට ලොකු මාමා කියන කිසිවක අගමුල වැටහුනේ නැත. අම්මාගේ ඉකිබිඳුම් හඬ හැරුන විට කිසිදු හඬක් නෑසී ගෙවුන තවත් ටික වේලාවකට පසු ලොකු මාමාගේ ගෙරවිලි හඬ ඇසෙද්දී අම්මා හිස එසවූවාය. ඇගේ මුහුණ රතු වී ඉදිමී තිබුනේ ලොකු මාමා පහර දීම නිසා විය යුතුය. අම්මා මාද නැගිටුවාගෙන කාමරයට යද්දී ආච්චීත් සුදු පුංචි අම්මාත් නිහඬවම අපේ පසුපසින් ආවේ ලොකු මාමා දෙස යලිත් වරක් හැරී බලමිනි.

” මොකාද ඔය ආවයි කියන එකා..කොහෙ එකෙක්ද ඌ..ඌට එන්න පාර කියන්න ඇත්තෙත් උඹනෙ…”

ආච්චී ඇසුවේ හඬ පහත් කොට වුවද සැරෙනි. අම්මා බිම බලාගෙන සිටියා මිස කිසිවක් කීවේ නැත.

” කතා කරපිය.. දැන් ඇටිකෙහෙල් ගිලපු උගුඩුව වගේ ඉන්නෙ නැතුව..උඹ ඔය දොඩන්ගොඩ ගිහින් හොයා ගත්ත එකෙක් නේද..උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද.. රට්ටු මොනව නොකියයි ද බොල අපට.. දීග දෙන්න නගා කෙනෙක් ගෙදර ඉන්නව කියලවත් උඹට මතක තිබුනෙ නැද්ද ආපහු සැරයක් මිනිහෙක් හොයා ගන්න කලින්..”

” මම හොයා ගත්ත ඇති මිනිහෙක් නෑ..”

ආච්චීගේ බැණුම් අසමින් මෙතෙක් වේලා නිහඬව උන් අම්මා බිඳුනු හඬින් කෙඳිරි ගෑවාය.

” උඹ තොත්ත බබා.. එහෙනම් ඌ එන්න ඇත්තෙ මාව බලන්න වෙන්න ඇති. හිටපිය මම දොඩන්ගොඩ උන්දැටත් දෙකක් කතා කරන්න. එහෙ ගෙන්නගෙන කලේ මගුල් නටන්න උඩගෙඩි දුන්න එකද කියල”

අත මිට මොලවා අම්මාගේ උරහිසට ඇන්න ආච්චී , ලොකු මාමා අවදි වේදැයි බලමින්ම අම්මාට බැන වැදුනාය.

දොඩන්ගොඩ ආච්චීගේ නම ඇසෙනවිට මට සිහි වූයේ දොඩම්පෙ මාමාය. ඔහු මෙපමණ දුරක් එන්නට ඇත්තේ අපව බලන්නට විය යුතුය. අම්මාත් මමත් අපේ ගෙදර සිටියා නම් අඩු තරමේ ගෙට ගොඩ වන්නට කියා දොඩම්පෙ මාමාට තේ ටිකක් වත් බොන්නට දිය හැකිව තිබුනා නොවේදැයි මට සිතුනි. මට සිහි වූයේ දොඩම්පෙ මාමාගේ ගෙදර ගිය දවසේ ඔහු මට තැඹිලි කඩා බොන්නට දුන් අයුරුය. මා දොඩම්පෙ මාමා ගැන සිතමින් සිටියදී, ආච්චී තව තවත් මොනවාදෝ කියමින් අම්මාට බැන වැදී සුදු පුංචි අම්මා සමග කාමරයෙන් පිටව ගියාය. ආච්චී කියූ කිසිවක් මගේ මතකයේ රැඳුනේ නැතත්, ඇය මොනවා නොකියාවිදැයි කියූ රට්ටු කවුද යන්න අම්මාගෙන් පසුව අසා ගත යුතු බව මම මතක තබා ගතිමි.

එදින රැයේ අම්මාත් මමත් නොකා නිදා ගත්තෙමු. අම්මා මට බත් කවන්නදැයි ඇසුවද මට බඩගින්නක් දැනුනේ නැත. ඇතැම්විට අම්මා දහවලටද බඩගින්නේ ඉන්නට ඇත. අපට අපේ ගෙදර යාමට නොහැකිදැයි රැයේ නින්දෙන්ම වාගේ මම අම්මාගේ කණට කොඳුරා ඇසීමි. අම්මා මගේ මුහුණ සිඹ මට නිදාගන්නැයි කීවා මිස කිසිවක් කීවේ නැත. අප ආපසු අපේ ගෙදර යා යුතු බවත් , දොඩම්පෙ මාමාට කියා රෙදි කැබලි ගෙන්වාගෙන අම්මාට දොඩන්ගොඩ දී කලා මෙන් පාපිසි මැසිය හැකි බවත් , මට දොඩම්පෙ මාමා සමග ඒවා විකුණා මුදල් ගෙන ආ හැකි බවත් , මා පාසල් ඇරී ගෙදර ආවිට තනිව සිටීමේ ගැටළුවක් අම්මා ගෙදර ඉන්නා බැවින් මතු නොවන බවත් උදයේ අම්මා සමග කිව යුතුයයි සිතූ මම කිහිප වරක් තොල් මතුරා ඒ සියල්ල මතකයේ තබා ගතිමි. එහෙත් ඒ කිසිවක් කියන්නට
පසුදා මා අවදිවන විට අම්මා පෙනෙන්නට සිටියේ නැත.


leave a reply