ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙළෙන්දන්ගේ අවධානය පිණිස
අන්තර් ජාලය මුලු මහත් ජනගහනයට අයත් ප්‍රදේශයක් නො වුණත් අන්තර ජාලයේ මුහුණු පොතට ගොඩ වෙන බොහෝ අපට ලෝකය වෙන්නේත්, රට වෙන්නේත් මේ ස්මාට් පෝන් එකෙන් හෝ ලැප් ටැප් පරිගණකය ඉස්සරහය.
ඉතින් ඉදිරිපිට ඉන්නැද්දී එක එක මාදිලියේ තොරතුරුවලින් අධිනිෂ්චය වන දවස් දකින්නට පුලුවන්. මේ දිනවල ඉහළට පැමිණ ඇත්තේ පොත් සහ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ වෙන තොරතුරු ය. ඒ අතරන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එය කේන්ද්‍රකර ගෙන එලි දකින පොත් පිළිබඳ තොරතුරුත් ය.
මුහුණු පොතට පැමිණ බලා ගෙන හිටියොත් හැඟෙන සහ පෙනෙන දෙයක් වී ඇත්තේ, මෙපමණ ප්‍රමාණයක පොත් අච්චු ගැසීම පිළිබඳ පුදුමයයි. එය එක අතින් කොතරම් සතුටුදායක දෙයක් ද. අවි වෙනුවට පොත් හෝ වෙනත් බොහෝ දේවල් වෙනුවට පොත් ඵල වීම යනු යහපත් සමාජයක ඇති ලක්ෂණයකි. ඒත් ෆේස් බුක් ලෝකයේ දී, පාඨකයාට වඩා පොත් ඵල වී තිබෙන බවක් පෙනුනත් එය ඇත්තක් නොවේ. නමුත් මෙවර විශාල ප්‍රමාණයක පොත් එළියට පැමිණීම ඇත්තකි.
විශාල ප්‍රමාණයක්, බොහෝ ප්‍රකාශකයින් හා ප්‍රදර්ශන අලෙවි කුටි ඇතුළත් ජාත්‍යන්තර පොත් වෙළෙඳපලේ සංසරණය වුවත්, පොත්වලට සාපේක්ෂව පොත් මිල දී ගැනීමේ අඩු නැමියාවක් තිබෙනවලු. දැන ගැනීමට ඇති ආකාරයට, පෙර තරම් විශාල පිරිසකගේ පැමිණීම ද නැත. මිල දී ගැනීම ද අඩු ය. එයට හේතුව අමුතුවෙන් කිව යුතු ද නැත. රටේ ආර්ථික කඩා වැටීම මිනිසුන්ට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ද දුෂ්කර නම්, පොත් ගැන කවර කතා ද.
එහෙම කියා පොත් කර්මාන්තය නතර කරන්නට බැරිය. එය එසේ කරන්නේත් නැතිය. නමුත් රටේ ආර්ථිකය බංකොලොත් වී ඇතැයි කියා මිනිසුන්ට පොත්පත් කියැවීමෙන් හෝ මිල දී ගැනීමෙන් ඈත් විය හැකි ද යන ප්‍රශ්නය පැමිණේ. මිනිසුන් වැළකී නො සිටියත්, මිල දී ගැනීමට නම් තමන්ගේ වෙනත් අවශ්‍යතාවක් කැප කළ යුතු ය. කැප කරන්නටත් දෙයක් නැති මිනිසාට පොත් දිහා බලා හූල්ලන්නට පමණක් සිදු වේ. ප්‍රදර්ශනයට ගොස් පොත් පෙරලා බලා අත ගා ආපසු පැමිණීමේදී අවම හා අසතුටු උවමනාව ඉටු කර ගෙන අපේක්ෂාභංගව ගෙදර පැමිණීමට සිදුව ඇත.
මෙයට හේතුව දේශපාලන ක්‍රමයයි. ආර්ථික අවභාවිතාවයි. මංකොල්ලකාරී පාලක පැලැන්තිය යි කියන එක බොරුවක් නෙවෙයි. පොත් වෙළෙන්දොත් මාලු මිල ඉහළ යාමට හේතු කියන්නාක් වගේ මේ දේම කියා තමන් සාධාරණබව කීවත්, අර්බුද්කාරී හා දුෂ්කර කාලයක දී ආර්ථික විද්‍යාව වෙළෙඳ පොලට ගැලැප්පීම සාධාරණ වෙළෙඳාමේ එක් ලක්ෂණයක් ය. මේනිසා මෙවර පොත් ප්‍රදර්ශනයේ දී, 20% දෙන වට්ටම මීට වඩා පාඨකයාට ලබා දීමට ඇත්තටම නො හැකි ද යන්න කල්පනා කළ යුතු නේ ද.
හාල් මුදලාලිලාට මෙන්ම, ගෑස් මුදලාලිලාට මෙන්ම, පොත් මුදලාලිලාටත් මිනිස්සු ගැන හිතන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද. මුද්‍රණ කර්මාන්තයත් ප්‍රකාශන කර්මාන්තයත් ඉහත කර්මාන්තවලින් ලොකුවට වෙනසක් නැත. පොත්වලින් කියන්නේ, පොත්වලින් ලියන්නේ මානව ප්‍රේමය, මිනිසා සතා ගහකොල සොභා දහම ගැන නම්, මිනිසාගේ හෘද ස්පන්දනය වෙන කර්මාන්තකරුවනට වඩා නො තේරෙනවා නො වෙයි කියන්නට නම්, ඔවුන් මීට වඩා මානුෂික විය යුතු වේ.
ඒ සඳහා ආදර්ශයක් දීමට දැන් පවා ප්‍රමාද නැත. මෙවර පොත් ප්‍රදර්ශනයේ පළමු ගල ගසන්නට කාට හෝ හැකි වේවා කියා ප්‍රාර්ථනා කරන්නේ පීඩනයට පත් පාඨකයාගේ පහන් සහනය උදෙසා ය.
ලූ යන තොරතුරු මත තබන සටහන සමහර විට බොරුලු කියන්නට ද පුලුවන්ලු.
උදය ආර්. තෙන්නකෝන්