Breaking News

බිලියන ගණන් බදු වංචා කරපු අර්ජුන ඇලෝසියස්ට තවදුරටත් සහන

රනිල්ගේ ආණ්ඩුව රජයට බදු ගෙවීම් පැහැර හැර ඇති කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීම පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන ආකාරය ගැන හෙළිදරව් වෙමින් තිබේ.

සාමාන්‍ය ජනයාගේ ක්ෂූද්‍රමූල්‍ය ණය වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදෙන රජය ඔවුන් රුපියල් පනස්දාහට ලක්ෂයට ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසා ගනිද්දීත් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන අතර මෙවැනි කෝටිපති ව්‍යාපාරිකයින් සහ ඔවුන් සතු වත්කම් ලෙස කෝටිගණන් වටිනා දේපළ තිබියදීත් රජයට අයවිය යුතු බදු මුදල් පැහැර හරිමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට ඇති බිලියන ගණනක ණය නොගෙවා තිබියදීත් ඔවුන්ට සහන සලස්වන්නේ කිනම් නීති රාමුවක් යටතේද යන්න ප්‍රශ්නගත කාරණයකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතිජාත මිත්‍රයෙකු වන මහබැංකු බැඳුම්කරයට චෝදනා ලැබූ අර්ජුන් මහේන්ද්‍රගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රජයට අය විය යුතු බදු සහ ණය මුදල් පිළිබඳව විමර්ශකයින් විසින් කරුණු හෙළිකර ගෙන අදාළ නීතිමය පියවරයන් වලට යොමු කර තිබියදී පවා ඒවා නොසලකා මෙම සමාගම තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහනයන් සලසා ඇත.

විමර්ශකයින් විසින් රුපියල් කෝටි 600කට අධික බදු වංචාවක් හෙළිකරගත් ඩබ්ලිව්.එම්. සීමාසහිත මෙන්ඩිස් සහ සමාගම මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරු අර්ජුන් ඇලෝසියස්ට සම්බන්ධ, ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදකයෙකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පසුගිය කාලයේදී කරන ලද විමර්ශනයන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවට දැවැන්ත පාඩුවක් සිදු කරමින් ‌මෙම සමාගම ගෙවිය යුතු බදු මුදල බිලියන 1.1 ක් ලෙස ද ගණන් බලා ඉදිරිපත් කර තිබුනි.

මෙම සමාගම විසින් අවශ්‍ය ආයතනික ආදායම් බදු ගෙවා නොමැති රු. බිලියන 2.63 ක් සහ වැට් බදු ගෙවීම බිලියන 3.55 ක් වූ අතර IRD විසින් මෙම හිඟ මුදල් අයකර ගැනීමට නීතිමය පියවරයන්ද ගනු ලැබිනි.

එමෙන්ම මෙම සමාගම රුපියල් කෝටි 100ක ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවද එම පරීක්ෂන අතරතුරේදීම අනාවරණය විය. මහජන බැංකුවෙන් බිලියන 5ක්, ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 4ක් සහ පීපල්ස් ලීසිං සමාගමෙන් රු. මිලියන 800ක් ආදී වශයෙන් සහ තවත් විවිධ ආයතනවලට රුපියල් බිලියන ගනණක මුදලක් ණය වී තිබුනි.

ශ්‍රී ලංකාවේ පර්පෙචුවල් සමාගම් සමූහයට සම්බන්ධ මත්පැන් නිෂ්පාදකයෙකු වන W M Mendis & Company Ltd හට නිෂ්පාදන නැවත ආරම්භ කිරීමට සහ වාරික වශයෙන් ගෙවිය යුතු රුපියල් බිලියන ගණනක බදු ගෙවීමට අවසර දී තිබුනේ මෙවන් වාතාවරයක් තුළයි. මේ පිළිබඳව එම දිනවල, ද සන්ඩේ ටයිම්ස් පුවත්පත පැවසුවේ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවූ එකතු කළ අගය මත වූ බද්ද රුපියල් බිලියන 3.55 ක් සහ ආයතනික බදු වශයෙන් රුපියල් බිලියන 2.63 ක් ණය වී ඇති බව බදු බලධාරීන් සොයාගෙන තිබියදී පවා වාරික වශයෙන් බදු ගෙවා නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට සමාගමට අවසර දී තිබූ බවයි.

ලංකාවේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ යාම සහ රටපුරා සිටින අක්‍රමිකතා සමාගම් කිහිපයක සහ ඇතැම් සිල්ලර වෙළෙන්දන්ගේ බදු පැහැර හැරීම් හේතුවෙන් නීත්‍යානුකූල මධ්‍යසාර කර්මාන්තයේ බදු ආදායම අඩුවෙමින් පවතින බව කර්මාන්ත ආරංචි මාර්ග දිගින් දිගටම චෝදනා කරද්දීත් කෙටිකාලීන තහනමකට ලක්ව තිබුනු මෙන්ඩිස් සාමගමට නැවත වරක් ව්‍යාපාරය කරගෙන යෑම සඳහා සහන සලසන ලද්දේ කාගේ නම් සහතිකයක් මතද යන්න සමාජ මාධ්‍ය පසුගිය කාලයේදී ප්‍රශ්න ර තිබුනි.

අද දේශීය ආධායම් අඩුවී ආර්ථිකය සෘණ අගයක පැවතීමට මෙවන් බදු වංචාවන් හේතූන්ව පවතිද්දීත් අසීරුවෙන් ජීවත්වන පුරවැසියා මත ලයිට් බිලෙන් වතුර බිලෙන් පමණක් නොව කන බොන ලුණු කැටය දක්වා ද අසීමිත බද්දක් පනවා තිබීම තුළ මෙම අර්බූධයට වගකිව යුත්තෝ කව්රුන්ද යන්න පැහැදිලිවම පෙනෙන කාරණයකි.

අර්ජුන් ඇලෝසියස් වැනි ව්‍යාපාරිකයින් ඇමරිකන් ඩොලර් මිලියන 500කට අධික තම වත්කම ගැන හෙළිකරන තත්වයකදී පවා රජයට අයවිය යුතු බදු අයකරගැනීමට නොහැකි වී ඇත්තේ කුමක් නිසාද?

ඡන්දය පවත්වන්නට සැබෑ ලෙසම අවශ්‍ය වන්නේ නම් මෙම සමාගමේ බදු ආධායම අයකරගැනීම පවා ප්‍රමාණවත්ය. එහෙත් නැතිවාදම පමණක් දෙසන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිදු විටෙක තම හිතවතුන්ගේ අනීතික ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පියවරක් ගනු ලබන්නෙ නැත. ඔහුගේ පියවරයන් වන්නේ අහිංසක රටවැසියා තලන පෙලන ලයිට් බිලෙන් වතුර බිලෙන් බදු අයකරගැනීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම පමණකි.

උසාවියේදී බොරු පොරොන්දු දෙමින් හෑම ආණ්ඩුවකම දේශපාලන බලයන් ප්‍රයෝජනයට ගනිමින් ආධායම් බදු ගෙවීම් පැහැර හරිමින් ඔවුන් මේ ලෙස කටයුතු කරද්දී, සුරා බදු දෙපාර්තමේන්තුවද මේවා යටගහමින්, අදාළ ලිපි ලේඛන ඉදිරිපත් නොකරන්නේ යැයි මාධ්‍ය මගින් හෙළිකරන කරුණු වල යම් සත්‍යතාවයක් තිබිය හැකිය.

මේ වනවිට ආධායම් බදු නඩු හතරක් සඳහා අර්ජුන් ඇලෝසියස් ඇප මත සිටින පුද්ගලයෙකු වන අතර පසුගිය සතියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ආධායම් රැස්වීමකදී කියා ඇත්තේ තව සතියක් ඇතුලත බදු නොගෙවූවහොත් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය අනෙක් අය ඉදිරිපිට බොරුවට පෙන්වන කතා ය යනුවෙන් තතු දත්තෝ පවසති. නොඑසේනම් මෙවැනි බදු වංචා කරන්නෙකුගේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය දීර්ඝ කරමින් රජයක් කිසිදු විටෙක සහන සලසන්නේ නැත.

කෙසේ වුවද අප නැවත වරක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ ඡන්දය පවත්වන්නට මුදල් නම් ප්‍රශ්නය ඔබගේ අතිජාත මිත්‍රයාට සම්බන්ධ සමාගමක් වූ මෙන්ඩිස් සමාගම රජයට වංචා කර ඇති බදු මුදල් ලබාගැනීම පමණක් වුව ඊට සෑහෙන බවයි.

උපුටා ගැනීම – ලේඩිලීඩර් වෙබ් අඩවිය

leave a reply