මම මේ ලිපිය පටන් ගන්න කොටම ඇයි සමාජ මාධ්‍ය ගම්මානය කියන වචනය පාවිච්චි කළේ කියලා කියලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා. එක පැත්තකින් ඒක “Global Village” කියන සංකල්පයට අදාලයි. අනිත් පැත්තෙන් මට ඕනෑ කරන්නෙ සාමාන්‍යයෙන් ගමක තියෙන සැකැස්මමයි (setting ) මේ සමාජ මාධ්ය තුළ තියෙන්නේ කියලා කියන්නයි.
අපි ගමක් ගත්තොත් අපිට හමුවෙන සාමාන්‍ය චරිත තියෙනවා. ඒ වගේම සුවිශේෂ චරිතක් තියෙනවා. ඒ කියන්නේ සුදු, කලු, අළු චරිත. මේ සාමාන්‍ය චරිත වලට එකතු වියහැකි අවකාශයන් ගමක බහුලයි. මේ අවකාශ පොදු ළිඳක, පොකුණක, ඇලක, වැවක ළඟට එකතුවෙලා රෙදි සේදීම නෑම වගේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න ගමන් ගමේ පුද්ගල සිද්ධීන් අලලා කෙරෙන බොහෝවිට පදනමක් නැති, “ඇසින් දුටු සාක්ෂි” අලලා කෙරෙන විනිශ්චයන්, සහතික නිකුත් කිරීම් (විශේෂයෙන්ම චරිත සහතික) ආදී විවිධ ආකාරයේ සංවාදයන්වල තෝතැන්නක්. මේ හමුවීම් වල දුකසැප බෙදා ගැනීමත් උදව් පදව් හුවමාරු කර ගැනීමත් හරි හරියටම තියෙනවා. මම මෙතනදී කථා කරන්නේ ගම්මානයක තියෙන තොරතුරු හුවමාරු කරගැනීමේ අවකාශ ගැන.මෙවැනි අවකාශ ගමක සමහර ප්රශ්න උග්ර කිරීමේ තෝතැනි කියලා හඳින් වුවත් මම වැරදි නෑ කියලා මට හිතෙන්නේ. අනිත් තැන් තමයි ගමේ සිල්ලර කඩය ආශ්රිතව සිදුවෙන තොරතුරු හුවමාරුවීම්, වයසක අම්මලා පෝයදාට සිල් ගන්න ගියහම සිදුවන තොරතුරු හුවමාරු වීම් ආදිය .
මෙවන් ගම්මාන වල මම කිව්වා සුවිශේෂ චරිතත් ඉන්නවා කියල. ඒ අය තමයි කිසියම් තොරතුරක් ලැබුනහම ඒවා විවිධ කෝණවලින් පෙරළ පෙරළා බලලා නිගමන ගන්න අය. සමහර ගැටුම් බවට පත්වීමට විශේෂ ශක්‍යතාවයක් තියෙන තොරතුරු හරි පරිස්සමින් හහසුරුවන අය.
ඉතින් මම කියන්නේ මේ අතීත ගමම තමයි කියලා . මේ ඉලෙක්ට්රොනික යුගයේ සමාජ මාධ්යයන් නිරූපණය කරන්නේ. මම විශේෂයෙන්ම කැමතියි මුහුණු පොත ගැන කතා කරන්න. ඔබ හොඳට හිතලා බලන්න මුහුණු පොතෙනුත් අපිට මේ ග්රාමීය චරිත ටිකම හමුවෙනවා නේද?
ඕනෑම සමාජයක තොරතුරු වගකීමකින් තොරව පරිහරණය කිරීමේදී අපි තර්ජනයට ලක් කරන්නේ සමාජයක “සංහිඳියාව” කියන ඉතාම වැදගත් සංකල්පයට. ඉතින් මට හිතෙන්නේ ඔබට මට කාටවත් මේ e-ලෝකයේ ගනුදෙනුවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ජීවත් වෙන්න බෑ. දැන් මේ මාධ්යයන් වත්මන් සමාජ සාමාජිකයින්ගේ රුධිරගත වෙලා ඉවරයි.
අපි දැන් මුහුණු පොත ගමක් සමාජයක් විදිහට දකිමු. කවුරු හරි පෝස්ට් එකක් දැම්මහම අපි මොන තරම් අවිචාරශීලී විදිහට ඒකට කමෙන්ට් දානවාද? යම් සිද්ධියක් අරභයා වැරදි කළවුන් වෙත, යම් සිද්ධියක් අරභයා වැරදිකරුවන් වෙන අයගේ චායාරූප කොච්චර share කරනවද? පක්ෂක්ග්රාහී විවරණයක යෙදෙනවාද? අපිට යම් සිදුවීමක් අලලා හරි විෂ්ලේශණයක් කිරීමේ සාක්ශරතාවක් තිබෙනවද? මම යෝජනා කරන්නේ මේ සාක්ශරතාව අපිට ලබා දෙන්නේ අපේ සහණුකම්පන හැකියාව කියලා.
ඕනෑම මනුස්සයෙකුගේ හැසිරීම කියලා කියන්නේ විශාල අයිස් කුට්ටියක (iceburg) ජලයෙන් උඩට පේන tip එක වගේ මතුපිටින් පෙනෙන සුළු කොටසක්. ඒ හැසිරීමට හේතු සාධක වුණු අපට නොපෙනෙන අයිස්කුට්ටියේ වතුරෙන් යට තියෙන සුවිශාල කොටස වගේ කොටස ගැන අපිට සානුකම්පිත වෙන්න බැරිද? අපි පුද්ගලයෙකුට දෙන ප්රචාරයක් නිසා අසරණ වන ඔහුගේ සමීපතයින්ට අපිට සහනුකම්පිත වෙන්න බැරිද?
මම මෙතනදි සහනුකම්පනය එහෙම නැත්නම් Empathy ගැන ගැඹුරු නිර්වචනයකට යන්නේ නෑ . අපි හැමෝටම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට අනුන්ගේ සපත්තුවෙන් ලෝකය බැලීමට ඇති විශිෂ්ට වූ හැකියාව කියලා මම කියන්නම්. තවදුරටත් ඒක කිව්වොත් ඒක මට උනානම් කොහොම දැනෙයිද කියන එක හිතලා ඒ අනුව තීරණ ගැනීමේ අදහස් ප්රකාශ කිරීමේ විශිෂ්ටම හැකියාව. මට අනුව නම් මේ ලෝකයේ තියෙන වැදගත්ම skill එක සහණුකම්පනය..
ඉතින් අපි බලමු ඔබ සමාජ මාධ්ය තුළ සහනුකම්පිත පුරවැසියෙක්ද කියලා. මම මෙතනදී පුරවැසියෙක් කියන වචනය භාවිතා කරන්නේ පුරවැසියාව නිර්වචනය කිරීමේදී ඔහු මත පැටවෙන ඔහු ජීවත් වන සමාජය අරභයා අතී මහත් වූ වගකීම ගැන හිතලා.
ඔබ “අනිත් ඔෆිස් වල කෙල්ලෝ හා අපේ ඔෆිස් එකේ කෙල්ලෝ” කියලා දමන ඡායාරූපය අර දෙවන ඡායාරූපයේ සිටින ස්ත්රී පාර්ශ්වය ඔබ උනානම් ඔබට විවිධ තල වල share වෙමින්, විවිධාකාර වූ ප්රතිචාර ලබමින් යන එම ඡායාරූපය ලබා දෙන්නේ කුමන හැඟීමක්ද? ඔබ අමු අමුවේ අනන්යතාවය එළි කරමින් විවිධාකාර සොරකම් වලට අසූවූවන් ගැන ඔබ තබන ප්රතිචාර (comments and reactions) ඔබට නම් කෝ ඔබේ සමීපත යෙකුට නම් ඔබට දැනෙන හැඟීම ගැන ඔබ හිතුවද?
මම මෙහෙම යෝජනාවක් කරන්න කැමතියි. ඔබ මොන තරාතිරමක සමාජ මාධ්ය පාවිච්චි කරන්නෙකු වුවත් රාත්රියට නිදා ගැනීමට පෙර විනාඩි දෙක තුනක ස්වයං විශ්ලේෂණයක යෙදෙන්න. මේ සමාජ මාධ්ය ගම්මානයේ අද දවස තුල ඔබ අසල්වැසි කී දෙනෙකුට මානසිකව කඩා වැටීමට, විශාදයට ලක්වීමට, සමාජ භීතිකාවක් (social fobia) ඇති කිරීමට ජීවිතයෙන් පලායන්නට, සන්තෘෂ්ටියෙන් පලායන්නට මං විවර කරලා තියෙනවාද? ඔබට මෙය සතුටක් ගෙන දෙනවද?කියා.
ඒ වෙනුවට සමාජ මාධ්ය ගම්මානයේ ඔබ වගකිවයුතු පුරවැසියෙක් ලෙස හැසිරී තිබෙනවද කියා. ඒ කියන්නේ අනිත් කෙනෙකුට අද දවස තුළ ඔබ, ජීවිතේ දුක් කම්කටොළු මැද වුවත් ආදරයෙන් වැළඳ ගන්නට, ජීවිතය ගැන බලාපොරොත්තු සහගත වෙන්නට, වැරැද්දක් හදාගෙන ජීවිතය අලුත් ඇහැකින් දකින්නට සමාජ මාධ්ය ගම්මානයේ දායක වෙලාතියෙනවද කියනඑක.
සහණුකම්පනය අරබයා වූ මේ illiteracy එක සමාජයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ උදම් රැල්ලක් ලෙසයි මම දකින්නේ . මේ උදම් රළ ආපසු හැරවීමේ සම්පූර්ණ වගකීම මේ ගම්මානයේ පුරවැසියන් විදියට ඔබටත් මටත් පැවරෙනවා. අවසානයේ මම මෙහෙම මේ ලිපියට විරාමයක් දෙන්න කැමතියි “ඔබ තව කෙනෙකු විනිශ්චය කිරීමේදී තර්ජනයට ලක් වන්නේ මනුෂ්යයකු ලෙස ඔබ සතුව ඇති ආදරය කිරීමේ අසීමිත ශක්යතාවයයි නොඑසේනම් ඔබේ සහණුකම්පන හැකියාවයි”.