Breaking News

නැව ගිනිගැනීම සිදුවී මසකටත් වැඩියි, තවමත් දැල්වල පුළුන් වැනි දෙයක් බැඳෙනවා – මෝදර ධීවරයන්

එක්ප්‍රස් පර්ල් නෞකාව විනාශයට පත්වී මාසයකට අධික කාලයක් ගතව ඇතත් තවමත් ඔවුන්ගේ ජිවනෝපාය කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වී ඇතැයි ධීවරයන් පවසයි.

ඔවුන් පවසන්නේ ධීවර කටයුතු සඳහා මුහුදු යන ධීවරයන්ගේ දැල් ආම්පන්නවල තවදුරටත් පුළුවන් වැනි දෙයක් බැඳෙන බවත් ඒ හරහා එම ආම්පන්න නැවත පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්වෙන බවයි.

එසේම මෙතෙක් කාලයකට හානිවූ දැල් ආම්පන්න සඳහා වන්දි ගෙවීමක් හෝ ජිවනෝපාය අහිමිවීම සමබන්ධයෙන් රජය කිසිදු මැදිහත්වීමක් සිදුකර නැත. මෙතෙක් කාලයකට ලබාදී ඇත්තේ රුපියල් 5000 දීමනාව පමණි. ධීවරයන් පවසන ආකාරයට එය ඔවුන් රැවටීමට ලබාදුන් සීනි බෝලයකි.

තමන්ට ජීවත්වීමට වෙන ක්‍රමයක් නොමැතිවීම නිසා මුහුදු ගියත් අවසානයේ සිදුවන්නේ දැල් අම්පන්න විනාශ වීමක් පමණක් බව මට්ටක්කුලිය ධීවරයන් පවසයි. එසේම මාළු අස්වැන්නද සැළකිය යුතු ලෙස අඩුවී ඇති බව ඔවුන් පවසයි.

ධීවරයන් පවසන ආකාරයට රජය මගින් දැල් ලබාදුනහොත් මුහුදට දැමීමෙන් පසු එය නැවත නැවත විනාශ වෙන නිසා එය පලක් නොවන බවයි. එම නිසා මුහුදේ සිදුව ඇති පරිසර දූෂණය සඳහා යම් පියවරක් ගත යුතු බවද ඔවුන් පෙන්වාදෙයි. ධීවරයන් ඉල්ලා සිටින්නේ එම කටයුතු යථා තත්ත්වයට පත්වෙන තුරු තමන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදෙන ලෙසයි.

මේ සියලු කාරණා සඳහන් කරමින් තමන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා නැව ගිනිගැනීම සිදුවී මසක් ගතවූ පසුගිය 20වනදා ධීවරයන් විරෝධතාවයක් සංවිධානය කළද එහිදී ඔවුන්ට සිදුවූවේ සංචරණ සීමා උල්ලංඝණය කළ බවට චෝදනා ලබමින් පොලිසියේ මර්දනයට ලක්විමටයි. එම ස්ථානයට පැමිණි මෝදර පොලිස් නිලධාරීන් ඒ සඳහා සහභාගී වී සිටි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන ලදී. එසේම මේවනවිට මෝදර පොලීසිය විසින් එම ධීවර විරෝධතාව සඳහා සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩට එරෙහිව නඩු පවරා තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක් වීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හදිසි මානුෂීය ආධාර දීම සඳහා රුපියල් කෝටි 4.8ක මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. ඊට අමතරව ඇමරිකාව විසින්ද ඩොලර් 100,000ක ආධාර ලබාදුන් බව වාර්තා විය. නමුත් මෙතෙක් එම ආධාර ධීවර ජනතාවට නම් ලැබී නොමැති බව දක්නට ලැබේ. එසේම පසුගිය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීමෙන් මෙරට ධිවරයින් සිදු වූ හානිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදරිපත් කරන ලද රුපියල් මිලියන 715ක් වන්දිය ලබා දීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟත්වය ප්‍රකාශ කර ඇති බවයි. සාගර විශේෂඥයන් පවසන්නේ සිදුව ඇති හානිය සැළකීමේදී මෙය ඉතා සුළු වන්දියක් බවයි.

දැනට සිදුවෙමින් පවතින දේවල් හරහා පෙනී යන්නේ පරිසරයට, ධීවර ජනතාව පමණක් නැව ගිනිගැනීම නිසා සිදුවූ විනාශයේ වන්දිය ගෙවීමට සිදුව ඇති බවත් අවම වශයෙන් රජයට එම ඒ සිදුවූ හානියට නිසි වන්දියක් ලබාගැනීමේ හෝ අවශ්‍යතාවයක් නොමැති බවයි.

leave a reply