Breaking News

තමන්ගේ වුවමනාවට කවිය කම්බස් කළ කවියා මහේෂ් කුමාර

හිල්මි සුපුන්

තමන් ලියූ කවි පොත තමන්ටම පිදුමක් කරගෙන “කවිය කම්බස් ” කර කවියෙන් දුරස් වූ මෑත කාලයේ කවියෙන් හමු නොවුණු කවියෙකි මහේෂ් කුමාර . කවිය පිළිබඳ කිනම් ශාස්ත්‍රීය හැදෑරීම්, කියවීම් තිබුනත් මට නම් කවිය යනු කවියාගේ හිතේ පැති ගොඩකි. එක් කවියක දී තමන්ව සමාජයට විවෘත කරන කවියා, තවත් කවියක දී ගුප්ත වෙනවා. විටක ඇත්ත නොකියා ඇත්ත කියන්නට වටේ යනවා. මහේෂ් කුමාර කවියාගේ “කවිය කම්බස් ” කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පිට වෙන්නේ 2008 වර්ෂයේදී. සිය ගණනක් කියවා ඇති කවි පොත් අතර මට හමු වූ ගුප්ත කවි පොත මහේෂ්ගේ “කවිය කම්බස් “. කවිය පමණක් නොව ඔහු ද ඊට පසුව කම්බස් වී යෑම (කවියෙන්) වේදනාවකි.

කවි පොත් කියවා අවසන් කළ හැකිය. සමහර කවි පොත් සදහටම යලි පිටු නො පෙරළන්නට කියවා අවසන් කළ හැකිය. නමුත් ඉතා ස්වල්පයක් යළි යළි පෙරළා කියවන පොත් තිබේ. මහේෂ්ගේ “කවිය කම්බස් ” තවමත් ඉන්නේ යළි යළි කියවන පොත් අතරය. ඒ කවි පොතහරි වෙනස් ය . කවි කිහිපයක් හැර අන් සියලු කවි දසක එකහමාරක් නික්ම ගිය ද අලුත් අරුත් නංව යි . මේ ලියමන මහේෂ් ගේ කවි පොත කියවා ගැනීමට දරන උත්සාහයකි.

ඔරියානා
මෙන්න මම ආවා
රෝස පොකුරක් හෙම නොව
සල්ෆර් අහුරක් අරන්

තුවක්කුව මානගෙන ඉඳං උන්
රෝස මල්
පිපෙනකොටම වෙඩි තියනවා
ඔරියානා
තුච්ඡ ඒකාධිපතියා
පපඩොපවුලෝස්ගෙ අණට
තාමත්

ඉතිං මේ ග්‍රීසියට
රෝසමල් පමණක්ම
නොවෙයි ඇවැසි
ඔරියානා

සල්ෆර් කුඩු ස්වල්පයක්
පොස්පරස් අහුරක්
පෙන්ටෝච් බැට්‍රියක්
වයර් අඟලක් දෙකක්
.
.
.

මේ මහේෂ්ගේ “කවිය කම්බස් ” පොතේ පළමු කවිය. නමක් නැති කවියක්, යමකට, කෙනෙකුට නම් තැබීමේ අරමුණ හඳුනා ගැනීමයි. වෙන්කොට හඳුනාගැනීමයි. මහේෂ්ගේ කවි පොතේ බොහොමයක් කවි නම් නැති කවිය. මේ “කවිය කම්බස් ” නොවී පවතින්නත් මේ හේතුවම බලපා ඇතැයි සිතේ. යම් හෙයකින් ඉහත කවියට නමක් දී තිබුණා නම් එය ඒ නමට කොටුවී එක් සීමාවක, අර්ථයක නතු වනු නියතයි. එහෙයින් මහේෂ් කවි වලට නම් නොදෙන්නේ කියවන්නාට කවිය පිළිබඳ පූර්ණ අයිතිය ලබා දෙමින් ඔහුට ගැලපෙන ආකාරයට අර්ථ නිරූපණය කර ගැනීමේ නිදහස තබමින් දැයි සිතේ. ඉහත කවිය තුළ ආදරය, විප්ලවය, සටන්කාමීත්වය ඇතුළු බොහෝ දේ සඳහන් කළ හැකි වෙනවා සේම කවියාගේ සාහිත්‍යය වපසරිය ද ඒ හරහා සමාජගත වෙනවා. යම් හෙයකින් මේ කවියට ආදරණීය මාතෘකාවක් ලබා දී තිබුණේ නම් එය ආදරයේ කොටුව තුළම අන් සියලූ හැකියාවන් යටපත් කරගෙන මියැදෙන්නට තිබුණි. එහෙම නොවුණු හෙයින් අදට ගලපා මෙසේ ද ලියා ගත හැක.

ඉතිං මේ ලංකාව
රෝසමල් පමණක්ම
නොවෙයි ඇවැසි
කසුන්සලා

සල්ෆර් කුඩු ස්වල්පයක්
පොස්පරස් අහුරක්
පෙන්ටෝච් බැට්‍රියක්
වයර් අඟලක් දෙකක්

මහේෂ් නිශ්චිත දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකි. මේ පවතින සමාජ ක්‍රමයට විකල්පය ලෙස සමාජවාදය සිහින දකින දේශපාලන ක්‍රියාධරයෙකි . ඒ නිසා අපට බය නැතුව ඔහු දේශපාලන කවියකු ලෙස හංවඩු ගැසීමටද හැකියි . බොහෝ කවියන්ගේ කවි තුළට දේශපාලනය ගලා බසින්නේ කවියා නොදැනුවත්වමයි. නමුත් මහේෂ් වැනි කවියන් කවිය තුළට දේශපාලන තිත් තියන්නේ ඉතා දැනුවත් වයි .

“අංගුලිමාල,
කොයිතරම් නම් කැපුව ද
මහපට ඇඟිලි
නවසිය අනූ නවය නම්
ඉක්මවිය නොහැකි ම ය
එක් ඇඟිල්ලක් එනවිට
මාලයට
එක් ඇඟිල්ලක් කුණුවී වැටෙයි

මේ තවත් සර්වකාලීන අද්භූත කවියකි

“බොහෝ විසිතුරු දේ
තිබිය හැකි මුත්
කුණු කන්ද
අත්හළ යුතුම වේ
අත්හළ නොහැකිව
තොරොම්බල් විසිතුරු
ඉහඳ ගහනා මේ කුණු ගොඩ
බදා
වැළඳ ගන්නා මා මිතුර,
නොපෙනේද?
ඉහඳ ගහමින් කුණුවෙනු
ඔබමද”

දශක එකහමාරකට පෙර “කවිය කම්බස් ” මුද්‍රිතව ජනගත වුණත් මහේෂ් කවි ලියන්නේ ඊටත් බොහෝ කලක සිටය. මේ කවි තවත් බොහෝ කලකට වලංගුය. දුරකථනය මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් පමණක් නෙමෙයි සදාචාරයන් ද වෙනස් කළා. දුරකථනය මූලික අරමුණ සන්නිවේදනය වුවද එය සමාජය තුළ වටිනාකම් අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස අදටත් බොහෝ අය භාවිතා කරනවා .

බොහෝ කලෙක සිට පිරිමින්
ඔවුන්ගේ ලිඟු
අල්ලති
ඔබති
මැන බලති
සසඳති

දැන් ටික කලක සිට
ගැහැනුන්ටද
මෙය බෝ වී ඇත
ඔවුන් ඔවුන්ගේ ජංගම දුරකථන
අල්ලති
ඔබති
මැන බලති
සසඳති

අනාගතයේ දවසක ඔවුන්ගේ දරුවන්ට ද
දරුවන්ගේ දරුවන්ට ද
දැරියන්ට ද
මෙය පුරුද්දට යන ඇත.

අපේ දරුවන්ව ගලවා ගනු මැනව .

මේ කවිය වඩාත් ගැලපෙන්නේ අද දවසට ය. මහේෂ් අනුමාන කළ ලෙසටම දරුවන් ද දරුවන්ගේ දරුවන් ද දුරකථනයේ ගොදුර බවට පත්වී ඇත. මිට දසක දෙකකට ඉහත දුරකථනය සමාජීය වටිනාකම් එකතු කර ගැනීමට පාවිච්චි කළ නිමේෂය අදට සාපේක්ෂව යළි හැරී බලන විට සිඟිති ආතල් එකකි. අද දුරකථන මූලික අරමුණ වන සන්නිවේදනය එදා වගේම දෙවැනි තැනට වැටී අනිකාගේ බෙල්ල කපන දැලිපිහියක් තරමටම මුහත් වී ඇත. දුරකථනයේ දියුණුව හා නරක අතට පාවිච්චි කිරීම වඩා ඉහළ අගයක පවතී. මේ අනුව ගත් කල ද මහේෂ්ගේ පෙර දැක්ම ප්‍රබලය .

කාව්‍ය 83 කින් සමන්විත “කවිය කම්බස් ” කවියා ජීවත් වන සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව වැඩිපුර කතා කිරීමට කාව්‍ය රචනා 47කුත් , ආදරයේ විරහව වේදනාව වෙනුවෙන් වත් කාව්‍ය තිස් හයක් රචනා කර තියෙනවා. මහේෂ්ගේ කවිය කම්බස් වෙන්න පටන් ගන්නේ ආදරයේ පරාජය හමුවේය .

-ඔබ
ආදරය දාලා
කොයිතරම් හයියෙන් දිව්වද ?

-ඔබ ඔය තරම් වේගයෙන්
දුවන්නේ
ආදරයෙන් ඈතට නම්
මා සෙමින් පියවර නගන්නේ ද
ඒ දෙසටමය
ස්ථිරය .

-ඔබ හදවත වල දැමුවා
පමණක් නොව
වල මත නැටුවාය

ප්‍රේමයේ පරාජිත වේදනාව හදවතින් පිටතට ගලා යන්නට කානුවක් ලෙස පාවිච්චි කරන්නේ කවියයි .

ඔබ හදවත වල දැමුවා
පමණක් නොව
වල මත නැටුවාය

පරාජිත ප්‍රේමයේ වේදනාව, එහි ප්‍රමාණය, තමන් සමඟ එක්ව ගොඩනැඟූ ප්‍රේම කතාවක ‍ප්‍රති පාර්ශවය ඒ ප්‍රේමයට ගරහන ආකාරය මේ කෙටි කවියෙන් අපූරුවට නිරූපණය වේ.

අදහන්න
අපේ අයිලය තවම
සාර කළ හැක අපට

මහේෂ් කුමාර කිනම් හේතුවක් මත හෝ කවිය කම්බස් කර කවියෙන් නික්ම ගිය ද ඔහුගේ කවි යළි යළි කියවනවිට මහේෂ් යළි කවියට පිවිසෙන්නේ නම් හොඳ යැයි සිතේ. කවියේ අනාගතය වෙනුවෙන් කළ හැකි මෙහෙවරේ ප්‍රභවය මහේෂ්ට තිබෙන බව අපි දනිමු. මම වෙනස් වීමෙන් පසුව කවිය කම්බස් වුණත් කමක් නැතැයි කියන කවියාට අප ආරාධනා කරන්නේ මං වෙනස් වීමෙන් පසු කවිය කම්බස් නොකර සමාජය වෙනස් කිරීමට කවියෙන් කළ හැකි මෙහෙවරට යලි පිවිසීමට බාධක ඉවත් කර ගන්නා ලෙසයි.

කවිය
ලෝකය වෙනස් කරන පිණිස ය
මම සිතමි
එහෙත්
ඊටත් වඩා දෙයක් සිදුවිය

ලෝකය වෙනස් කරගනු පිණිස
මම වෙනස්වීමය

කවියට ඇති විශ්මය
මෙන්න මේ
මම වෙනස් වීමය

දැන් ඉතින්
කවිය කම්බස් වුණත් කමක් නැහැ.

 

 

leave a reply