Breaking News

මිනිසුන්ටද උපකාර රැසක් ඉටුකරන වවුලන් පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්න!

තාරක කුසුමින්ද

පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ වාර්තා වු වවුලන් හා කොරෝනා සම්බන්ද නවතම පර්යේෂණ ප්‍රතිපලයක් නිසා අප රට තුල වෙසෙන ජනතාව තුලද වවුලන් පිළිබඳව අනිසි බියක් ඇතිවීනට ඉඩ තිබේ. එබැවින් එම සොයාගැනීම සම්බන්ධව පැහැදිළි කිරීමක් කිරීම සහ මිනිසුන් තුල ඇතිවය හැකි අනියත බිය දුරලීම සඳහා කඩිනමින් මැදිහත්වීම අත්‍යාවශ්‍යය ය.

කොරෝනා යනු එකිනෙකට වෙනස් වෛරස් විශාල ගණනකින් සමන්විත වෛරස් පවුලකි. එම පවුලේ ඇති වෛරස් වර්ග ප්‍රධාන ලෙස කාණ්ඩ 4 කට වර්ග කරනු ලබයි. ඒවා නම් ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා වේ. නමුත් මෙම වෛරස් වර්ග හා මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නම් කල ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන එක්සත් රාජධානියෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් හා ඉන්දියාවෙන් හමුවූ Covid-19 වෛරසයේ ප්‍රභේද අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැත. එම පර්යේෂණ වාර්තාවෙන් සොයාගෙන ඇත්තේ කොරෝනා වෛරස් පවුලේ ඇල්ෆා හා බීටා යන ප්‍රධාන කාණ්ඩ දෙකට අයත් වෛරස් වර්ග වේ. තවද බොහෝ වෙබ් අඩවි හා පුවත්පත් තුලින් වාර්තා කරණු ලැබුවේ ලංකාවේ වවුලන්ටත් කොරෝනා වැළදී ඇති බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ දැක්වීමක් වන අතර එමගින් වර්තමානයේ මුළු ලොවම වෙලාගෙන ඇති Covid-19 (විද්‍යාත්මක නම SARS-CoV-2) වෛරසය වවුලන්ටද වැළදී ඇති බව සාමාන්‍ය ජනතාවට වැටහී යයි.

ශ්‍රී ලංකාව තුල එකිනෙකට වෙනස් වවුල් විශේෂ 31 ජීවත් වේ. නමුත් ඉන් විශේෂ දෙකක් තුලින් පමණක් මෙම වෛරස් වර්ග සොයාගෙන ඇති අතර මෙම පර්යේෂකයන් පරීක්ෂා කරන ලද වවුලන් ගෙන් 8% තුලින් පමණක් වෛරසය හමුවී ඇත. තවද එම පර්යේෂණය මඟින් තහවුරු කර ඇත්තේ හඳුනාගෙන ඇති වෛරස් වර්ග වවුල් විශේෂ දෙකකින් පමණක් හමුවෙන බවත් ඒවා එම වවුල් විශේෂයන්ට පමණක් ආවේණික හා වෙනත් වවුලන් තුල හමු නොවන වර්ග දෙකක් බවයි. මෙම පර්යේෂණය සිදුකල ස්ථානයේ වවුල් විශේෂ පහක් එකට ජීවත් වෙන නමුත් අනෙක් වවුල් විශේෂ තුලින් එවැනි කිසිදු වෛරසයක් හමුවී හෝ සොයාගත් වෛරස අනෙකුත් වවුලන් තුල හමුවී නොමැති බවද තහවුරු කර ඇත. මෙම ලියුම්කරු මෙන්ම ලංකාව තුල වසර ගණනාවක සිට වවුලන් පිළිබඳ පර්යේෂණ සිදුකල පර්යේෂකයන් වවුල් ඇසුරේ පර්යේෂණ සිදුකර ඇති අතර මේ දක්වා එවැනි කිසිඳු රෝගාබාධයකට ගොදුරු වී නොමැත.

මෙවැනිම අවාසනාවන්ත සිදුවීමක් මීට පෙර ඉන්දියාවෙන්ද වාර්තාවූ අතර එහිදී ද එරට සිටි පර්යේෂකයන් පිරිසක් විසින් තම පර්යේෂණ ප්‍රතිඵල පොදු ජනතාවට ගැලපෙන හා තේරුම්ගත හැකි ලෙස මාධ්‍ය වෙත නිකුත් නොකිරීම නිසා වවුලන් විශාල ප්‍රමාණයකට නිරපරාදේ තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අප රට තුල ජීවත්වන ජනතාව එවැනි අදූරදර්ශී අමනෝඥ තීරණ ගෙන අහිංසක සතුන්ට හිංසා නොකරන බව අප තරයේ විශ්වාස කරමු.

වවුලන් යනු බොහෝ දෙනා ආකර්ෂණය නොවන සත්ව කාණ්ඩයක් වීමට මිනිසා තුල එම සතුන් පිළිබඳව ඇති මිත්‍යා මත බොහෝ දුරට හේතු වී ඇත. වවුලන් යනු පරිසරයට අත්‍යවශ්‍ය සත්ව කාණ්ඩයක් වන අතර ඔවුන් විසින් සිදුකරණ පාරිසරික සේවාවන් මිලකළ නොහැකිය. අප බොහෝ දෙනා දැනුවත් වී ඇත්තේ වවුලන් යනු පළතුරු කන සත්ව කාණ්ඩයක් ලෙසය. නමුත් වවුලන්ගෙන් වැඩි ප්‍රමාණයක් කෘමීන්ව හා වෙනත් විවිධ සතුන් ආහාරයට ගෙන ජීවත් වේ. පළතුරු හා මල් පැණි මත යැපෙන වවුලන් විසින් අපට ඉතා වැදගත් පළතුරු ශාක විශාල ප්‍රමාණයක පරාගනය සිදුකරණ අතර ශාක විශාල ප්‍රමාණයක බීජ ව්‍යාප්තිය ද ඉතා සාර්ථකව ඉටුකරනු ලබයි. කෘමීන් ආහාරයට ගන්නා වවුලන් විසින් එක් රැයක් තුල ඉතා විශාල කෘමීන් ප්‍රමාණයක් ආහාරයට ගෙන අප අවට පරිසරයේ සිටින කෘමීන් ගහනය පාලනය කරනු ලබයි. එහිදී කෘෂිකාර්මික වගාවන් තුල සිටින කෘමි පලිබෝධ මර්ධනය හා ගෘහාශ්‍රිතව සිටින මිනිසාට හානිකර මදුරුවන්, මැස්සන් හා වෙනත් විවිධ කෘමී වර්ග ආහාරයට ගෙන අපව ආරක්‍ෂා කර දෙනු ලබයි. එබැවින් මෙම විද්‍යාත්මක සත්‍ය වටහාගෙන එම සතුන් විසින් මෙම මුළුමහත් පරිසරයටම සාදනු ලබන සෙත සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ පොදු ජනතාව කටයුතු කිරීම සහ වවුලන් සංරක්ෂණය වෙනුවෙන් කැපවීම අත්‍යාවශ්‍ය බව අප අවධාරණය කරමු!

වවුල් පර්යේෂක සහ ආචාර්ය උපාධි අපේක්ෂක – ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලය
ලේකම් (පර්යේෂන) – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

leave a reply