Breaking News

මුලතිව් සමූහ මිනීවලේ කැණීම් කටයුතු අතරමග නවතියි!

මුලතිව් කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු නවතා දමා තිබේ. ඊයේ (11) ඩේලි මෝර්නින් වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා ඇත්තේ මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මේ වන විට සමූහ මිනීවළේ කැණීම් කටයුතු නවතා ඇති නමුත් අදාළ ආයතන සමඟ සාකච්ඡාවලින් අනතුරුව කඩිනමින් එය ආරම්භ කරන බවයි.

සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මුලතිව් මහේස්ත්‍රාත්වරයා අදාළ සියලු ආයතන හෙට (13) කැඳවා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයින් පිරිසක් විසින් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට ජුනි 29 වැනිදා අදාළ ස්ථානයේ දී අස්ථි කොටස් හමුවී තිබුණි. මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකිරීම මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරනවරාජාගේ අධීක්ෂණය යටතේ පසුගියදා (ජුලි 06) ආරම්භ කෙරිණ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ කොක්කුතොඩුවායි ප්‍රදේශයේ LTTE සංවිධාන සාමාජිකයන්ගේ සමූහ මිනීවළක් යැයි කියනු ලබන සමූහ මිනී වලේ කැණීම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදු නොවන බවයි. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසා ඇත්තේ මෙතෙක් කිසිදු කැණීමක් සිදුවී නොමැති බැවින් එම චෝදනා නිකරුනේ එල්ල කළ ඒවා බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අදාළ බලධාරීන්ගේ සහය ඇතිව කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි. මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා විසින් හෙට දිනයේ රැස්වීමට කැදවා තිබෙන ආයතන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ද වන බවද ඔහු කියා සිටියා.

නමුත් මාධ්‍ය හරහා නිකුත් කර තිබූ ඡායාරූප හරහා පෙනී යන්නේ දැනටමත් මෙම මිනිවලේ කැණීම් සිදුවෙන බවයි. එසේනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බොරු කීම සම්බන්ධ සැක මතුවේ.

එසේම (10) ඩේලි මෝනිං වෙත අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පවසා ඇත්තේ අදාළ සමූහ මිනීවළ සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් තමා නොදන්නා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් තමාට දැනුම් දී නොමැති බවත්ය.

සම්බන්ධ නීතිමය කටයුතු සහ සිරුරු ගොඩගෙන කරනු ලබන පරීක්ෂණ සහ ඒවා නැවත පවුලේ අය වෙත භාර දීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇතැ යි මෙම වාර්තාවෙන් මූලික වශයෙන් ම පෙන්වා දෙයි.

පසුගියදා සංවිධාන කිහිපයක එකතුවෙන් “ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්” යනුවෙන් වාර්තාවක් එළිදක්වමින් හෙලිකෙරුනේ ලංකාවේ සමූහ මිනී වළවල් සම්බන්ධ නීතිමය කටයුතු සහ සිරුරු ගොඩගෙන කරනු ලබන පරීක්ෂණ සහ ඒවා නැවත පවුලේ අය වෙත භාර දීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවයි.

මෙම කැණීම් අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස වාර්තාවේ පෙන්වා දෙන්නේ පරිශ්‍ර කළමනාකරණයේ ගැටලුවයි. මෙම සුසාන භූමිවලට ලබා දී ඇති ආරක්ෂාවේ අඩුව නිසා සාක්ෂි විනාශ වීම් සිදුවන්නට ඇතැ යි සැකයක් පවතින බව සූරියකන්ද සිදුවීම උපුටා දක්වමින් මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.

1994 ජනවාරි 03 දා කැණීම් ආරම්භ වූ එහි යොදාගත් නුපුහුණු ශ්‍රමයත් ඒවා කැණීමට බුල්ඩෝසර් සහ ගල්පොරෝ වැනි ආයුධ යොදාගැනීමත් නිසා බොහෝ මෘත ශේෂ විනාශ වී ඇති බවටත්, ඇටසැකිලි මිශ්‍ර වී ඇති බවටත් වාර්තාවේ දැක් වේ.

එමෙන් ම මීළඟ කැණීමට යොදාගෙන තිබූ ජනවාරි 08 දිනය වන විට සාක්ෂි වෙනස් කිරීමට උත්සහ කළේයැ යි සැක සහිත සිදුවීම් කිහිපයක් ද සිදුව ඇති බව එහි දැක් වේ. මෙලෙස මූලාශ්‍ර විනාශ වීම බොහෝ කැණීම්වල දී සිදු වී තිබේ.

මුලතිව් සමූහ මිනීවලේ කැණීම් කටයුතු සිදුවූ ආකාරය

මේ අතර මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ හමුවු සමූහ මිනිවළ සම්බන්ධ කටයුතු ඉතා සැක කටයුතු අන්දමින් අවසන් වූ බවට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ගොනු කළ නඩු විභාගයක් දැනට පැවැත්වෙමින් තිබේ.

එම මිනීවල ආශ්‍රිතව මිනිස් සිරුරු 376 කට අදාළ අස්ථි කොටස් එහිදී ගොඩගැනිණි. එම අස්ථි වැඩිදුර පරීක්ෂණ සඳහා ෆ්ලොරීඩා වෙත යවා තිබූ අතර එම පරීක්ෂණයේ වාර්තාවේ දැක් වී ඇත්තේ එම සිරුරු 15-18 සියවස්වලට අයත් ඒවා බව යි. නමුත් එම කැණීම් සිදුවන අවස්ථාවේ ඒ අසළ සිටි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉහත වාර්තාව වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ එම මිනීවල වර්තමාන කාලයට අයිති එකක් බවට ඒ මොහොතේ වළ තුළ දක්නට ලැබුණු විවිධ දේවලින් ඔප්පු වන බවයි.

කෙසේවෙතත් මුලතිවු සමූහ මිනීවලට ද අනිකුත් සමූහ මිනීවළවල්වලට වූ දෙයම වීමේ වැඩි සම්බාවිතාවක් ඇති බව බැලූ බැල්මට පෙනේ.

leave a reply