ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමුවන බිළාල පවුලේ (Felidae) විශාලතම සාමාජිකයා වන්නේ කොටියයා. Panthera pardus kotiya (Deraniyagala, 1956) ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙරට වාර්තාවන මෙම අපූරු බළල් සාමාජිකයා උප විශේෂයක් ලෙස අපේ රටට ආවේණිකය. මෙරට වනාන්තර වල සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා ප්‍රමුඛ විලෝපිකයෙකු ලෙස ඉටුකරන කාර්යභාරයේ සිට ප්‍රධාන සංචාරක ආකර්ශකයක් ලෙස අපේ රටට සංචාරක කර්මාන්තය හරහා විශාල විදේශ විණිමයක් උපයාදීම දක්වා කොටියා මගින් සැලසෙන පාරිසරික සහ ආර්ථික සේවාවන් ඉමහත්ය. නමුත් අවාසනාවට විවිධ හේතු නිසා මේ වන විට කොටියන්ද ලක් පොළොවෙන් සමුගෙන යමින් සිටීම කණගාටුවට කරුණකි.
ජාන විශ්ලේෂණය අනුව සියලුම මහාද්වීපික අප්‍රිකානු දිවියන් ඇතුළු මෙම බිළාල සාමාජිකයින් උප විශේෂ නවයක් වශයෙන් හඳුනාගෙන ඇත.
• Panthera pardus pardus – අප්‍රිකාව
• Panthera pardus nimr – අරාබිය
• Panthera pardus saxicolor – නිරිතදිග ආසියාව
• Panthera pardus melas – ජාවා
• Panthera pardus kotiya – ශ්‍රී ලංකාව
• Panthera pardus fusca – ඉන්දියානු උප මහාද්වීපය
• Panthera pardus delacouri – අග්නිදිග ආසියාව සහ දකුණු චීනය
• Panthera pardus japonensis – උතුරු චීනය
• Panthera pardus orientalis – රුසියානු ඈත පෙරදිග, කොරියානු අර්ධද්වීපය සහ ඊසානදිග චීනය
මෙම විශේෂය හැඳින්වීම සඳහා යොදාගනු ලබන ඉංග්‍රීසි නාමය වන ‘Leopard’ යන වදනේ සෘජු සිංහල පරිවර්තනය වන්නේ ‘දිවියා’ යන්නයි. නමුත් මෙරට ඉපැරණි ජන වහරේ මෙම සත්වයා හැඳින්වීම සඳහා පුරාතනයේ සිට භාවිතා කර ඇති වචනය වන්නේ ‘කොටියා’ යන්නයි. ‘කොටි වලගේ අල්ලා ගත්තා වාගේ’, ‘කැලේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මරු වන්නේ නැහැ’ වැනි ඉපැරණි කියමන් ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙරටට ආවේණික උප විශේෂය හැඳින්වීම සඳහා ‘kotiya’ යන උප විශේෂ නාමය යෙදීමටද හේතුව එයයි. දැනට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොටියන් ප්‍රමාණය 700 – 950 පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650 ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුලද 150 කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයින් පිළිබඳ විශේෂඥ කමිටුව (IUCN/SSC Cat Specialist Group) සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා දුර්ලභ වනජීවී සම්පතක් ලෙස කොටියා හැඳින්විය හැකි නමුත් විවිධ හේතු නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වීම කණගාටුදායක කරුණකි. කොටියන්ට ඇති මූලික තර්ජන මානව කේන්ද්‍රීය වේ. වාසස්ථාන ඛණ්ඩනය, ගොදුරු සතුන් අඩුවීම සහ පශු සම්පත් සංවර්ධනය හා කෘෂිකර්මාන්තය සමග ඇති වූ ගැටුම් නිසා ලොව පුරාම කොටි ගහණයට තර්ජන එල්ලවී ඇත. වනාන්තර වාසස්ථාන සහ සැවානා පද්ධති කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය සහ නගර ව්‍යාප්තිය සඳහා පරිවර්තනය කිරීම කොටින්ගේ වාසභූමි සැලකිය යුතු ලෙස අඩු වීමට හේතුවී ඇත. තවද සත්ව කොටස් ජාවාරමේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇති කොටින් සම්, දත්, නිය, සහ මාංශ ලබා ගැනීම සඳහා මරා දැමීම ශ්‍රී ලංකාවේ කොටින්ට ඇති ප්‍රධාන තර්ජන අතරින් එකකි. තවද කොටින් ජීවත්වන වනාන්තර වල ජීවත්වෙන ඔවුන්ගේ ගොදුරු සතුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ඔවුන්ට තම වාසභූමි වලින් ප්‍රමාණවත් තරම් ගොදුරු සපයා ගැනීමට නොහැකි වීමෙන් එම සතුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම සිදුවේ. එහිදී බල්ලන් වැනි සතුන් පහසුවෙන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාව මීට තවත් විශාල බලපෑමක් සිදුකරයි. එසේම තේ වැනි වගාවන් සඳහා කොටින් ජීවත්වූ වනාන්තර ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම සහ මිනිස් ජනාවාස ව්‍යාප්ත වීමද නිසා එම සතුන්ගේ වාසභූමි ප්‍රමාණාත්මකව කුඩා වීමෙන් ඔවුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවේ. කොටින්ගේ හැසිරීම් පිළිබඳව නිසි අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව එම සතුන් පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම සහ ඇතැම් ජනමාධ්‍ය මගින් කොටින් සම්බන්ධයෙන් පදනම් විරහිත සහ බිය උපදවන සුළු වාර්තා පලකිරීම නිසා මිනිසුන් කොටින් මරා දැමීමට උත්සාහ දැරූ අවස්ථාද වාර්තාවී ඇත. එසේම වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවන මදු වලට පැටලීමෙන්ද කොටින් මරණයට පත්වේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා තුරුලතා ආරක්ෂක ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයකු රැපියල් 30,000 සිට 1,000,000 දක්වා දඩයකට යටත් කිරීමට, වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැතිනම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත. නමුත් එම නීතිය බලාත්මක කරන වනජීවී නිලධාරීන් මුහුණදී ඇති ගැටළු සහ සම්පත් හිඟ කම කොටින් සංරක්ෂණයට බාධාවක් වී ඇත.
උදාහරණයක් වශයෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇත්තේ ඉතා සීමිත වනජීවී සංරක්ෂණ කාර්යාල සංඛ්‍යාවක් වන අතර එහි සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාවද සුළු පිරිසකි. එවැනි තත්ත්වයක් තුල මදු ඇටවීම වැලැක්වීම සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග, හා කොටින් සම්බන්ධයෙන් ජනතාව තුල ඇති අනියත බිය දුරුකිරීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ කොටි සම්පත රටට අහිමිවීම වැලැක්වීම සඳහා වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වතු සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනමාධ්‍ය, සහ ප්‍රජාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.
සෑම වසරකම මැයි මස තුන් වන දින ජාත්‍යන්තර දිවියන්ගේ දිනය (International Leopard Day) සමරනු ලැබේ. මෙම විශේෂයේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස මෙසේ දිවියන් සැමරීම සඳහා දිනයක් වෙන්කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය මෙන්ම ලොව පුරා මෙම සත්ත්ව ගහනය මුහුණ දෙන තර්ජන පිළිබඳ ගෝලීය දැනුවත්භාවය වැඩි කිරීමට එමගින් උත්සාහ කරයි. ශ්‍රී ලංකාවේද කොටියන්ට ඇති විශාල ජීවිත අනතුර හේතුවෙන් 2021 වසරේ සිට අන්තර්ජාතික දිනයට අමතරව, ජාතික වශයෙන් කොටියන් පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා දිනයක් වෙන්කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මෙරට ඉපැරණිම සහ ප්‍රමුඛම ක්‍රියාකාරී පරිසර සංවිධානයක් වන ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය කටයුතු කරයි. එම දිනය විශේෂයෙන් තෝරාගැනීමට හේතුවී ඇත්තේ ආචාර්ය ශ්‍රියානි මිත්තපාල මැතිණිය විසින් තම විද්‍යාත්මක නිබන්ධනයක් මගින් Panthera pardus kotiya මෙරටට ආවේණික උප විශේෂයක් ලෙස තහවුරු කළ දිනය අගෝස්තු 1 වැනිදා වීමය.
ඒ අනුව සෑම වසරකම අගෝස්තු පළමුවැනිදා අප ජාතික වශයෙන් කොටියන් පිළිබඳ දිනය සමරන්නෙමු. ඊට අමතරව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය LOLC අනුග්‍රහය ඇතිව වසර 5ක වැඩසටහනක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු බහු-ප්‍රාදේශීය නිරීක්ෂණ පද්ධතිය මීට මාස කිහිපයකට පෙර දියත් කළේ ශ්‍රී ලංකාවේ කොටියා සංරක්ෂණය සඳහාය. එහි මූලික අදියරයේදී පානම, මෝනිංසයිඩ්, කිලිනොච්චි, බෙලිහුල්ඔය, නල්ලතන්නිය සහ සීගිරිය යන ප්‍රදේශ වල පර්යේෂණ මධ්‍යස්ථාන හයක් පිහිටුවනු ලබන අතර. කැමරා උගුල් සහ සමීක්ෂණ භාවිතා කරමින් තෝරාගත් භූගෝලීය ප්‍රදේශවල කොටින්ගේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සිදු කෙරේ. තවද වතුකරයේ දෙමළ භාෂාවෙන් සන්නිවේදන කරන ජනතාවගේ දැනුම්වත්බව ඉහළ නැංවීම හරහා කොටින්ට ඇති තර්ජනය කළමනාකරණය කිරීමේ වැඩසටහන්ද දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙමින් පවතී.
රට වනාන්තර වල සිටින ප්‍රමුඛතම විලෝපික සත්ත්වයා වන්නේ කොටියායි. දිවයිනේ වනාන්තර වල ජීවත්වෙන ශාඛභක්ෂක සත්ත්ව ගහණය පාලනය කිරීම සඳහා සොබාදහමෙන් අපේ රටට ලබාදී ඇති පාලකයා වන්නේ කොටියායි. නමුත් ඉහත හේතු නිසා එම සත්ත්වයා අපේ රටේ පරිසර පද්ධති වලින් ඉවත්ව ගියහොත් එමගින් පරිසර පද්ධති වල සමතුලිතතාවයට බලපෑම් එල්ලවී එම පරිසර පද්ධතීන් බිඳවැටීම සිදුවේ. එසේම මෙරට ප්‍රමුඛ සංචාරක ආකර්ෂකයක් ලෙසද කොටියන් හැඳින්වීමේ වරදක් නැත. දිවයිනේ ජාතික උද්‍යාන වෙත ඇදී එන දෙස් විදෙස් සංචාරකයින් කොටියෙකු දැකබලා ගැනීමට දක්වන්නේ විශාල උනන්දුවකි. එය අපේ රටේ සංචාරක කර්මාන්තයටද විශාල සවියකි. එබැවින් පටු අවස්ථාවාදී සහ පදනම් විරහිත මතවාදයන් මත පිහිටා සිදුකරන කොටි ඝාතන වැලැක්වීම සඳහා මෙන්ම ඔවුන්ගේ සංරක්ෂණය සඳහා අප විශේෂ උනන්දුවක් දැක්විය යුතුය. ඒ සංරක්ෂණ හා ආරක්ෂණ අවශ්‍යතාවය එළැඹෙන අගෝස්තු පළමුවැනිදාට යෙදෙන කොටියන් පිළිබඳව අවධානය යොමුකිරීමේ ජාතික දිනයේදීද අප අවධාරණය කරගැනීම වැදගත්ය.