Breaking News

කොතලාවල විශ්ව විද්‍යාලය UGCට පවරා ගැනීම හරහා වෙන්නෙත් අධ්‍යාපනය පෞද්ගලිකරණයමයි

කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිවේදනයට අනුව ආණ්ඩුව සැලසුම් කරනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පරිබාහිර මිලිටරි ව්‍යූහයක් හරහා සිදු කිරීමට සැලසුම් කළ පෞද්ගලික විශ්වවිද්‍යාල හා පාසල් ජාලයක් නිර්මාණය කිරීමේ සැලැස්ම දැනට පවතින ව්‍යූහය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හරහාම සිදු කිරීම බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස සමාජයෙන් දැඩි විරෝධතාවක් මතුවෙද්දී කොතලාවල පනත සම්බන්ධයෙන් අද (17) ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ජනාධිපතිවරයා පවසා තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවයි.

නමුත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත නමින් පනතක් නොමැති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ස්ථාපිත කර ඇත්තේ 78 විශ්වවිද්‍යාල පනත මගින් බවයි. කොතලාවල පනතට එරෙහිව ගොඩනැගුනු බරපතල විරෝධය හමුවේ ජනතාව නොමඟ යැවීමට ආණ්ඩුව මේ ආකාරයේ නොමඟ යවන සුළු ප්‍රකාශ කරමින් අධ්‍යාපන පෞද්ගලීකරණ සැලසුම ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැඩිදුරටත් පවසා ඇත්තේ,

කොතලාවල පනතේ අරමුණ හා 78 විශ්වවිද්‍යාල පනත සංශෝධනය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ආණ්ඩුව ගෙන එනු ලැබුයේ මිලිටරි බලය පාවිච්චි කරමින් අධ්‍යාපනය විකිණීම හා අධ්‍යාපන ක්ෂේත්‍රය මිලිටරිකරණය කිරීම සඳහාය. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල ඉක්මවා යන, ඊට පරිබාහිර සමාන්තර මිලිටරි ව්‍යූහයක් මෙම පනත හරහා ස්ථාපිත කෙරේ. මෙම පනතට එරෙහිව ගොඩනැගුනු බරපතල විරෝධය හමුවේ ජනතාව නොමඟ යැවීමට ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කරමින් සිටී.
ජනාධිපතිවරයාගේ නිවේදනයට අනුව විශ්වවිද්‍යාල පනත සංශෝධනය හරහා ආණ්ඩුව සැලසුම් කරනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පරිබාහිර මිලිටරි ව්‍යූහයක් හරහා සිදු කිරීමට සැලසුම් කළ පෞද්ගලික විශ්වවිද්‍යාල හා පාසල් ජාලයක් නිර්මාණය කිරීමේ සැලැස්ම දැනට පවතින ව්‍යූහය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හරහාම සිදු කිරීමයි. දැනට පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු රාජ්‍ය අරමුදල් යොදවා පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාලා මුදලට විකුණන ආයතනයකි. එනයින් මෙය මේ වන විටත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. එසේ නම් මෙම විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම යටතට ගැනීම හරහා මෙහි අධ්‍යාපනය විකිණීමට නිත්‍යනුකූලභාවයක් ලැබේ.

දැනට පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අරමුණ ලෙස සඳහන් වන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමය. නමුත් පසුගිය කාලය පුරා එම අරමුණින් බැහැරව අවිධිමත් ලෙස ආරක්ෂක අංශ වලින් බැහැර පුද්ගලයන්ට උපාධි මුදලට විකිණීම දක්වා මෙය පුළුල් කර ඇත. එසේ නම් ආණ්ඩුව කළ යුතුව ඇත්තේ මෙම අවිධිමත් ක්‍රමවේදයට සුජාතභාවය ලබා දීම සඳහා මෙය පුළුල් කිරීම නොව අවම වශයෙන් මෙහි මූලික අරමුණ ඉටු කරගත හැකි පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් සීමා කිරීමයි. එසේ සිදු කිරීමට නම් මෙම ආයතනය සඳහා නව පනතක් ගෙන ඒම හෝ එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට සම්බන්ධ කිරීම හෝ කිසිසේත්ම අවශ්‍ය නොවන කාරණයකි.

78 පනතේ බාධා ඉවත් කිරීම යනු කුමක්ද?

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම යටතට ගැනීම සඳහා 78 පනතේ ඇති බාධා ඉවත් කරන බව ජනාධිපතිවරයා පවසයි. මේ වන විට 78 විශ්වවිද්‍යාල පනත අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ කිසිඳු නීත්‍යානුකූල බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට නොමැත. එසේ නම් මේ විසඳුම් හරහා වක්‍රාකාරව පවසනුයේ එම බාධාව ඉවත් කරනු ලබන බවයි. ඒ අනුව එම සංශෝධයනය හරහා දැනට පවතින කොතලාවල ආයතනයට පමණක් නොව ඉදිරියේදී ආරම්භ කරන හෝ දැනට නොනිල මට්ටමින් හා සමාගම් ලෙස ලියාපදිංචි වී තිබෙන සියලු පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අදාළව නීත්‍යනුකූලභාවය ලබාගැනීමට හැකි වේ. එය කොතලාවල පනතටත් වඩා නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා ගෙන එන භයානක ප්‍රතිසංස්කරණයකි.

මේ ආකාරයට කොතලාවල පනත සම්මත කිරීම සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ උමතු උත්සාහයට අප දැඩි විරෝධය පල කරන අතර මෙම ගැටලුව සඳහා එමක විසඳුම වන්නේ ඉදරිපත් කර ඇති කොතලවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සංශෝධන, ඡන්ද විමසීමකින් හෝ තොරව වහාම හකුලා ගැනීමයි.

leave a reply