Breaking News

රනිල් – රාජපක්ෂ –  IMF – සියලු දෙනාම එක්ව දුප්පතාගේ සහන කපා දමයි.

සමෘදි සහනාධාරය කපා හැරීමේ ගැටළුව වඩා උග්‍ර අතට හැරෙමින් පවතී. නව අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළ හරහා සමෘදි සහනාධාරය කපාහැරීම හුදු අත් වැරැද්දක් නොවන අතර මෙය IMF  කොන්දේසි මත සහනාධාර කපා හැරීමේ වැඩපිළි වෙලේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

1977 ජේ ආර් ගේ ආණ්ඩුව විසින් එතෙක් දුගී දුප්පත් ජනතාවට  සහනයක් ව පැවැති හාල්පොත කපාහැරීම විසින් උද්ගත වූ අර්බුදය  සුබසාධන කපාහැරීමේ ක්‍රියාවලියේ  තීරණාත්මක අවස්ථාවකි.  හාල්පොත කපාහැරීමට එරෙහිව ගොඩ නැගුණු ජනතා විරෝධය  විකල්පයක්  සුභසාධන වැඩපිළිවෙලක් වෙත  මාරුවීමට ආණ්ඩුවට බලපෑම් කරනු ලැබුවා .  එදා විකල්පය ලෙස ජනසවිය තෝරාගත් අතර  දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග  ගනුදෙනු කිරීමේදී  සහනාධාර කපාහැරීමට යෝජනා  ඉදිරිපත් වීම හරහා විවිධ අවස්ථාවලදී විවිධ ආණ්ඩු  ජනතාව මත පීඩාව පටවමින් සහනාධාර කපා හැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබුවා.  එපමණක්ද නොව මේ සහනාධාර ක්‍රියාවලිය දේශපාලන ජනප්‍රියත්වයක් ලබා ගැනීම සඳහා  භාවිතා කළ අපූර්ව මෙවලමක් ද වෙනවා.  ජනසවිය සහන වැඩපිළිවෙළ  අත්හිටුවා  අද අපි මේ කතා කරන  සමෘදි සහනාධාර වැඩපිළිවෙළ නිර්මාණය කරන්නේ  චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණීමෙන් පසුවයි.

දිනපතා උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ  රජයෙන් කුමන හෝ සහනාධාරයක් ලැබීමේ ගොඩට එකතු වන ජනතාව වැඩි වෙමින් පවතිනවා. ලෝක බැංකු වාර්තා වලට අනුව  ආසියාවේ දුප්පත් රටවල් අතර විසිවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙනවා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2021 වසරේ වාර්තාවට අනුව ලංකාවේ දුප්පත් පවුල්  සංඛ්‍යාව ලක්ෂ අසූවකට ආසන්නයි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට 2023 මේ ගෙවුණු හය මාසය තුළ  දුප්පතුන්ගේ ගොඩට තවත් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා .  රජය ප්‍රකාශ කරන මේ ආර්ථික අර්බුදය හමුවේ  රටේ දිලිඳුභාවය දිනෙන් දින වැඩිවෙන අතර  සහනාධාර ලැබිය යුතු පිරිස ද ඒ හා සමානවම වැඩිවෙමින් පවතීයි .

හදිසියේම ආණ්ඩුව අලුත් සහනාධාර වැඩපිලිවෙලක් නිර්මාණය කරන්නේ ඇයි

වර්තමාන ආණ්ඩුව සැකසී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්  පාර්ලිමේන්තුවට පැමිණි    රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී රනිල් වික්‍රමසිංහ අටවාගත් පොහොට්ටු එකගතා හවුලෙනී.  අද රට පුරා විරෝධතා උද්ඝෝෂණ නිර්මාණය වෙමින් පවතින්නේ සමෘදි සහනාධාරය වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළ   ක්‍රියාත්මක කිරීමේදී එතෙක් සමෘද්ධිය ලැබුණු බොහෝ පවුල්වලට  එය නොලැබී යාම හේතුවෙනි.  සමෘදි සහනාධාරය කපාහැරීම අත්වැරදීමක් ලෙස ආණ්ඩුවේ පාර්ශවක්  වන  එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වය  ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළත් මෙය ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව IMF   සමග ඇති කරගත් එකගතාවය මත සහනාධාර කපා හැරීමේ වැඩපිළිවෙලේ කොටසකි.  ක්‍රමානුකූලව සහන කපා හැරීමේ වැඩ පිළිවෙළ පහත පරිදි වේ.

සමෘදි සහනාධාරය කපාදමන වැඩ පිළිවෙළ

සංක්‍රාන්තික ප්‍රතිලාභි පවුල් ලක්ෂ 4 කි රු 2500 බැගින් 2023 දෙසැ 31 දක්වා පමනක් දිමනාව ලැබේ

අවදානමට ලක්වු ප්‍රතිලාභින් පවුල් ලක්ෂ 4 කි රු 5000 බැගින් 2024 මාර්තු දක්වා පමනක් ලැබේ

දුප්පත් පවුල් ලක්ෂ 8 කි මාසික දිමනාව 8500 කි 2023 ජුලි 1 සිට වසර තුනක් දක්වා පමනක් ලැබේ

අන්ත දිලිදු පවුල් ලක්ෂ 4 කි මාසික දිමනාව 15000 කි ජුලි 1 සිට වසර තුනක් දක්වා පමනක් ලැබේ

සහනාධාර කපා හැරීමට එරෙහිව මාධ්‍ය හමුවට පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ පාර්ශවයන් අණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ.  වර්තමාන ආණ්ඩුව කියන්නේ රනිල් වික්‍රමසිංහ තනිවම පිහිටුවාගත් ආණ්ඩුවක් නොව. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මේ ආණ්ඩුවේ ඉන්නේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි.  මේ ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා පූර්ණ සහාය ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි .  එහෙයින්  තමන්ගෙන් ගිලිහුණු දේශපාලන බලය නැවත තහවුරු කර ගැනීම සඳහා තමන් විසින්ම සහාය සැලසූ සහන කැපීමේ වැඩපිළිවෙළ හරහා නැවත කරළියට පැමිණ  දිළිඳු ජනතාව වෙනුවෙන් පෙනී සිටීම යනු  විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනගත යුතුයි.

වර්තමාන ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය පළ කරන සියලු දෙනා එකතුව  IMF  කොන්දේසිවලට එකඟව වර්තමාන රටේ පාලනය ගෙන යන හෙයින්  සහන කැපීම වෙනුවෙන් මේ සියලු දෙනා වගකිව යුතුයි.


leave a reply