ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවරූ නඩු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ බයිබලයේ එන ‘සොලමන්ගේ වැනි ප්‍රඥාවක්’ පැවතිණි. අධිකරණය විසින් විභාගයට ගත් පළමු නඩුවට අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, මැතිවරණ වැළැක්වීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවට කනස්සල්ලෙන් සිටින විරුද්ධ පක්ෂ විසිනි. ඉදිරි මැතිවරණ කල් දමන ලෙස හෝ අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිසමට රජයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. විපක්ෂයේ නායකයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්, මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව පැවසීමේ පිළිගත නොහැකි ප්‍රකාශද ඇතුළුව ආණ්ඩුව ඒ සඳහා ගෙන ඇති බහුවිධ මාර්ග සිය පෙත්සමින් ගෙනහැර දක්වා ඇත. කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ස්ථිරව සිටිමින් මාර්තු 09 වැනිදා මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කරන ලද්දේ, මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත්, නිසි බලධාරියා කොමිසම බැවින් අධිකරණයට තවදුරටත් මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.
දෙවැනි නඩුවේදී පෙත්සම්කරුවා විසින් තර්ක කර තිබුණේ මේ අවස්ථාවේදී රටේ ආර්ථික තත්ත්වය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන බවටය. පෙත්සම්කරු අවශ්‍ය නීතිමය විධිවිධාන සපුරා නොමැති බවට ඉදිරිපත් වූ විරෝධතා පිළිගත් අධිකරණය නඩුව පෙබරවාරි 23 වැනිදා දක්වා කල් තැබීය. කෙසේවෙතත් එම දිනයට පෙර රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වන බැවින්, ඒ වන විට මැතිවරණ ක්‍රියාවලිය සැළකිව යුතු ලෙස ඉදිරියට ගොස් තිබෙනු ඇත. මැතිවරණ ක්‍රියාවලිය ආපසු හැරවීමට නොහැකි ස්ථානයකට පැමිණ ඇති බවට මැතිවරණ කොමිසම ඇතුළු පෙත්සම්කරුට විරුද්ධ පාර්ශ්වවලට වඩාත් ප්‍රබල ලෙස තර්ක කිරීමට හැකි වනු ඇත. මෙම නඩුව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කෙරෙන තර්ජනය වන්නේ, ආර්ථික අර්බුදය තව දුරටත් පවතිනු ඇති අතර ‘රජයට මුදල් නැත’ යන සාධාරණීකරණය මත සියලු මැතිවරණ කල් දැමීමට ඉඩ පැවතීමයි.
මැතිවරණ ක්‍රියාවලිය දැන් ප‍්‍රජා මට්ටමින් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් රට පුරා පැවැත්වෙන්නේ සුළු හෝ බාධාවකින් තොරවය. අනෙක් අතට, ආර්ථික දුෂ්කරතාවලට සහ බදුවලට එරෙහිව කොළඹ, යාපනය ඇතුළු නගරවලදී සිවිල් සමාජ කණ්ඩායම් පැවැත්වූ විරෝධතා පොලිසිය විසින් කඩාකප්පල් කර ඇත. පළාත් පාලන මැතිවරණයට පෙර, ඡන්ද දායකයන්ට ඡන්දය දිය යුත්තේ කවුරුන්ටද යන්න තීරණය කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී පවතින බව සහතික වී පැවැතීම වඩාත් සුදුසුය. දැනට පවතින අසමතුලිත තත්වයන් හමුවේ, ඍණාත්මක යැයි සිතන රජයේ ප්‍රතිපත්ති සහ භාවිතයන් පිළිබඳව ජනතාවට තම කනස්සල්ල ප්‍රකාශ කිරීමට එමගින් අවස්ථාවක් සලසා දෙනු ඇත.
බර ගමන් මලු
මැතිවරණය කල් දැමීමට රජය විවිධ ක්‍රමවේද අත්හදා බලමින් සිටී. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිෂේධනාත්මක ආකල්පය පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ ලකුණක් දැකගත හැකිවූයේ, ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ප්‍රශ්න කිරීමත් සමඟය. කොමිසමේ ස්වාධීනත්වයට අනවශ්‍ය ලෙස මැදිහත්වීමක් ලෙස විවේචනයට ලක් වූ මෙම හමුව හේතුවෙන්, මැතිවරණ දිනය තීරණය කිරීමට පෙර මැතිවරණ කොමිසම බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගත්තේද යන්න ප්‍රශ්නගත විය. තමා බලයට පත්වීමට පෙර ජනතාවගෙන් සහ ජනතා විරෝධයෙන් වචනාර්ථයෙන් පමණක් පළාගිය සිය ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපතිවරයාට පෙනීසිටීමට සිදුව ඇති අභියෝගාත්මක තත්වය ඔහු විසින් ජයගත යුතුය.
ජනතා ව්‍යාපාරය යටපත් කිරීමට රජය කටයුතු කරන ආකාරය පිළිබඳව දිගින් දිගටම අප්‍රසාදයක් පවතී. මේ මොහොතේ රටට අවශ්‍ය සම්පත් හා මුදල් වැයකෙරුණද, මැතිවරණය පැවැත්වීම ඉතා වැදගත් වන්නේ මේ හේතුව නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නීත්‍යනුකූල සහ ජනතා වරම හිමි යැයි පෙනෙන ආණ්ඩුවක් සහ තීරණ ගැනීමේ තන්ත්‍රයක් පැවැතීම තරම් වැදගත් දෙයක් තවත් නැත. දූෂිතයන් යැයි විශ්වාස කරන ආණ්ඩුවේ නායකයන් වගවිමකින් තොරව, දිගින් දිගටම කටයුතු කරන ආකාරය ජනතාව අතර තවත් පීඩාවක් ඇති කිරීමට හේතුවී තිබේ. ජනාධිපතිවරයාට සහ ඔහුගේ උපදේශකයන්ට ජනතාව වෙතින් ප්‍රතික්ෂේප කිරීමේ තත්වයක අඛණ්ඩව පසුවිය නොහැකි අතර, පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ කෝපය හඳුනාගත යුතුව ඇත.
සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව මේ අවස්ථාවේ වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය සිදුවන ආකාරය උදාහරණයක් ලෙස දැක්විය හැකිය. මේ සම්බන්ධයෙන් ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාල සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ කවුන්සිල කනස්සල්ල පළ කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, සාමාන්‍යයෙන්, ඖෂධයක් ආනයනය කිරීමට පෙර, එම අධිකාරිය විසින් එය තක්සේරු කර ලියාපදිංචි කළ යුතුව ඇත. කෙසේ වෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුවේ (MEC) අවසන් රැස්වීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා මිලදී ගැනීමට නියමිත ඖෂධ වර්ග 330ක පමණ ලැයිස්තුවක් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නමුත් ඒවා කිසිවක් අධිකාරිය ලියාපදිංචි කර හෝ අගැයීමට ලක් කර හෝ නොමැත.
යටපත් කරන සාධක
ණය තිරසාරභාවය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනාගැනීම ඇතුළු අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ඇති ඉතා සාධනීය ක්‍රියාමාර්ගයන් මෙම සෘණාත්මක වර්ධනයන් විසින් යටපත් කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. ඉන් වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ වාර්ගික සහ ආගමික ප්‍රජාවන් අතර සංහිඳියාව තිරසාර යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දේශපාලන විසඳුමක් සොයාගත යුතු බවට ඔහු කළ ප්‍රකාශයයි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔහු තම ස්ථාවරය පැහැදිලිව, ස්ථිර ලෙස ප්‍රකාශ කර ඇත්තේ, වත්මන් කිසිදු දේශපාලන නායකයකු ඒ සඳහා පෙන්වා නොමැති අවබෝධයකින් සහ ධෛර්යයකින් යුතුවය.
ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ, අවස්ථා තුනකදී උතුරේ සංචාරය කර ඇත. එම සංචාරවලදී, රටේ මහනුවර, ගාල්ල සහ මාතර වැනි සංසන්දනාත්මක සෙසු නගර තරමට සංවර්ධනය කිරීම සඳහා සැලකිව යුතු ආයෝජනයක් අවශ්‍ය වන, යුද්ධයෙන් විනාශවූ එම ප්‍රදේශවල, සිවිල් සහ දේශපාලන නායකයන් සමග සම්බන්ධවීමට උත්සාහ දරා ඇත. ඔහුගේ මෑත සංචාරයේදී, ඔහු උතුරට හිමිවිය යුතු ආර්ථික සංවර්ධනය පිළිබඳ සිය දැක්ම ප්‍රකාශ කළ අතර, හමුදාව විසින් දිගු කලක් රඳවාගෙන සිටි ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නැවත ලබා දීමට ද වගබලා ගත්තේය. නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඔහු සහතික කර ඇත. එය කුඩා අභිනයක් බවට සැකයක් නැත. කෙසේවෙතත් එමගින් රටේ ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන් හතරෙන් තුනක් විසින්ම පළමු භාෂාව ලෙස කතා කරන දෙමළ භාෂාව සමාන ලෙස පිළිගැනීමේ අවශ්‍යතාව සංකේතවත් කරනු ලබන බවද පෙන්වාදිය යුතුය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ධනාත්මක හැඟීම් සහ ක්‍රියාවන් බල දේශපාලනයේ අවශ්‍යතා සහ ඔහුගේ පැත්තේ සිටී යැයි ඔහු විශ්වාස කරන පිරිස්වලට පක්ෂග්‍රාහීවීම හේතුවෙන් වලපල්ලට යෑම අවාසනාවන්ත හා සැබවින්ම ඛේදජනක තත්වයකි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රශ්නය සහ එය නැවැත්වීමට ගන්නා බහුවිධ ප්‍රයත්නයන් තුළින්, ජනාධිපතිවරයාට ජනතාව ඉදිරියේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවයක් නැති ආණ්ඩුවක් ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය බවට වන මතයක් නිර්මාණය වී තිබේ. දූෂිත යැයි පුලුල්ව විශ්වාස කරන රජයේ නායකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන් නැවත බලයට ගෙනඒම මෙන්ම තරුණ (සහ වැඩිහිටි) විරෝධතා නායකයන්ට හිංසා කිරීම මගින් ආර්ථිකය, ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් අතර සබඳතා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනාධිපතිවරයා සතුව පවතින අද්විතීය උත්සාහයට සහාය දැක්වීමට කැමති අය අතර දුරස්ථභාවයක් ඇති කරවනු ලබන බව පෙන්වාදිය යුතුය.