Breaking News

Titan කතාව ලේසියෙන් අවසන් නොවන එකක් වෙයි වගේ

සංජේ රණවක

Titan කතාව ලේසියෙන් අවසන් නොවන එකක් වෙයි වගේ

Titan කතාව ලේසියෙන් අවසන් නොවන එකක් වෙයි වගේ, හේතුව තමා අමෙරිකා එක්සත් ජනපදය නාවික හමුදාව විසින් මීට දින කිහිපයකට පෙර අනාවරණය කළ තොරතුරක්..!!

මේ තොරතුර තමා ඔවුන් විසින් මෙතෙක් ලෝකයට හෙළි නොකරන ලද සාගරය තුළ තිබෙන ශබ්ද නිරික්ෂණය කළ හැකි රහසිගත උපකරණයකට Titan හී පිපිරී යාමේ හඬ නැත්නම් ශබ්ද තරංගය යැයි සඳහන් වන සංඥාවක් සටහන් වෙලා තිබුණා කියන කතාව.

ඒ කියන්නේ පහුගිය ඉරිදා (18 වනදා) Titan ප්‍රධාන යාත්‍රාවෙන් මිදිලා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සහිත ප්‍රදේශය බලා පිටත්⁣ වෙලා පැය 01යි විනාඩි 45කින් පස්සේ සියලු සන්නිවේදන, ට්‍රැකින් උපකරණ විසන්ධි වෙලා පුපුරා (Implosion) ගිය බවට වන ශබ්ද තරංගය තමා මෙලෙස සටහන් වෙලා තිබිලා තියෙන්නේ.
ඒ කියන්නේ ජේම්ස් කැමරන් කිව්වා වගේම Titan පළමු දිනයේ දීම විනාශයට පත්වෙලා ඉවරයි.

දැන් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා එහෙම නම් අමෙරිකානු ඩොලර් මිලියන ගානක් වියදම් කරලා ඇයි ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළේ කියලා..
කොහොම නමුත් සමහර විශ්ලේෂකයන් කියන්නේ නාවික හමුදාවට ලැබුණු ශබ්ද තරංග පිළිබඳව ස්ථිර නිගමනයකට එළැඹෙන්න බැරි නිසා මේ මෙහෙයුම දියත් කරන්න ඇති කියලා. මොකද සාගරය තුළ විවිධ ශබ්ද තරංග පවතින්න පුළුවන්.

ඒ වගේම Titan විසින් නිකුත් කළා යැයි සඳහන් වූ හඬ හඳුනා ගැනීමටත් අමෙරිකාවේ නාවික හමුදා විශ්ලේෂකයන් උපකාර කරලා තිබුණා. නමුත් ඒ හඬවල් ගැන ඒ තරම් සෑහීමක් මුල ඉඳන්ම වෙරළ ආරක්ෂක අංශවලට සහ ගලවා ගැනීමේ අංශවලට තිබුණේ නැහැ.

මේ අතර Titan අරගෙන ගිය Polar Prince නෞකාවේ හඬපට ඇතුළු දත්ත ලබාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් නෞකාවේ කාර්ය මණ්ඩලය ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් ඉන්න බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.
Sanjay Ranawake