Breaking News

දේශබන්දුලා ඉන්න ‘හොඳ පොලීසිය’

යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොළඹ – කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් විමල් ජයසේකර (අංක 10412) විසින් යූටියුබ් ඔස්සේ වීඩියෝ 03ක් මුදාහරිමින් සඳහන් කර තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ විෂමාචාර සම්බන්ධයෙන් ය. කොළඹ දකුණ දිස්ත්‍රික් iii සහකාර පොලිස් අධිකාරි සී.ඒ. අබේසිරිගුණවර්ධන විසින් පෙරේදා (22) මීට අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගය කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් සරයන් ජයසේකර වෙත යොමු කර තිබේ.

අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගයේ මෙසේ සඳහන් වේ.

‘නිසි අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා පොලිසියේ හොඳ නමට කැළලක් ඇති වන අන්දමින් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති වන අන්දමින් ඔබගේ නමින් සකස්කරන ලද ඔබගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ 2023. 06. 17, 2023. 06. 18 සහ 2023. 06. 20 යන දිනයන්හි නිල ඇඳුමින් සැරසී වීඩියෝපට ප්‍රචාරය කරවමින් හා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීමෙන් ඔබ පොලිස් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් නියෝග ඒ 7 බී පරිශිෂ්ඨයේ විනය සංග්‍රහය යටතට ගැනෙන වැරදි හෝ විෂමාචාරයන් එකක් හෝ කිහිපයක් සිදු කර ඇත.’

තවත් ප්‍රවෘතියකින් පැවසෙන්නේ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් සොයගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකොට තිබෙන රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව ලබන සඳුදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.

මෙම සිදුවීමේදී එම තමන්ට දේශබන්දු තෙන්නකෝන් දුරකථනයෙන් කතා කොට බලපෑම් කළ බව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදෙමින් අධිකරණයේදී පවසා තිබුණි.

ඊට අමතරව මීට අමතරව ඉකුත් වසරේ මැයි 9දා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන් නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය ලබන සඳුදා දක්වා කල් තබා තිබෙන බව වාර්තා වේ. මැයි 09 වනදා ගෝල්ෆේස් වෙත පැමිණි මැරයන් සමඟ දේශබන්දු සිටින ආකාරය පැහැදිලිව දැකිය හැකිවිය.

මෙවැනි විවිධ විෂමාචාර ක්‍රියාවල යෙදුණු දේශබන්දු ඉදිරියේදී පොලිස්පති වීමේ සම්බවිතාවක්ද පවතියි. පොලිස් දෙපාර්තමේන්තුව විසින් භාෂණයේ නිදහස භුක්ති විඳි පොලිස් සැරයන්වරයා සේවයෙන් පහකරන්නේ තම දෙපාර්තමේන්තුවේ හොඳ නමට කැළලක් වූ බව පවසමිනි. හොඳ පොලීසියේ තරම දේශබන්දුලා හරහා ඔප්පුවෙමින් පවතියි.

leave a reply