Breaking News

ආසියාවේ අලි ඇතුන්

සුපුන් ළහිරු ප්‍රකාශ්

අලි ඇතුන් සම්බන්ධයෙන් කතා කරන විට ආසියාවට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ආසියාතික රටවල් වල ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් එක්ක අලි ඇතුන් ගොඩක් තදින් බැඳිලා ඉන්නවා. ඒ වගේම අලි ඇතුන්ගේ වැඩිම ප්‍රවේණි විවිධත්වයක් දකින්න ලැබෙන්නෙත් ආසියාවේ කිව්වට වරදක් නැහැ. ඒ මොකද ආසියානු අලින් උප විශේෂ තුනක් පමණ දක්වා පරිණාමය වී ඇති නිසා.

ආසියානු අලින් කිව්වට එයාලත් මුලින්ම සම්භවය වෙලා තියන්නේ අප්‍රිකාවේ. නමුත් මීට අවුරුදු මිලියන 5 – 6කට කලින්, ප්ලියෝසීන (Pliocene) අවධියේ මුල ඔවුන් අතීත යුරේසියාවට (යුරෝපා සහ ආසියා මහද්වීප සහ රටවල් එක්ව අතීතයේ සෑදී තිබුණු තනි භූස්කන්ධය) සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ වගේම දැනට වඳවී ගොස් තිබෙන තම ඝනයේම අනෙක් අලි විශේෂයෙ වන Elephas hysudricus ගෙන් වෙන්ව Elephas maximus ලෙස පරිණාමය වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 0.25 කට පමණ කලින්, ප්ලයිස්ටොසීන (Pleistocene) අවධියේදී.

බටහිර ආසියාවේ ඉරාන වෙරළ තීරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වාත්, නැගෙනහිර දෙසින් සුමාත්‍රා, ජාවා සහ බෝර්නියෝ දූපත් ද ඇතුළුව ගිනිකොනදිග ආසියාව දක්වාත්, චීනයේ යැංසි ගඟ දක්වා උතුරටත් ආසියානු අලි ඇතුන් ව්‍යාප්තවී සිටි බවට සාක්ෂි තිබෙනවා. නමුත් මේ වන විට එය අතීත මතකයක් පමණක් බවට පත් කරමින් ඓතිහාසික ආසියානු හස්ති වාසභූමි වලින් සියයට අනුපහකින්ම (95%) එම සතුන් සදහටම සමුගෙන ගොස් අවසන්. බටහිර ආසියාවේ, ජාවා ප්‍රදේශයේ සහ චීනයේ බොහෝ ප්‍රදේශ වල මේ වනවිට අලි ඇතුන් දකින්න ලැබෙන්නේ නැහැ. ආසියානු අලින්ගේ බටහිර උප විශේෂය වන Elephas maximus asurus ක්‍රි.පූ. 100 වන විට වඳ වී ගොස් ඇති අතර චීනයේ ප්‍රධාන අලි ගහනය (සමහර විට Elephas maximus rubridens ලෙස හැඳින්වෙන) ක්‍රි.පූ. 14 වන සියවසෙන් පසුව අතුරුදහන්වී තිබෙනවා.

දැනට ආසියාවේ රටවල් දහතුනක අලි ඇතුන් ජීවත් වෙනවා. ඔවුන් Elephas maximus ලෙස විද්‍යාත්මකව නම් කර තිබෙන අතර උප විශේෂ තුනක් වශයෙන් පරිණාමය වී තිබෙනවා.

ඒ Elephas maximus indicus නමින් හැඳින්වෙන ආසියානු ප්‍රධාන භූමියේ ජීවත්වන උප විශේෂය, Elephas maximus maximus නමින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජීවත්වන උප විශේෂය සහ Elephas maximus sumatranus නමින් හැඳින්වෙන ඉන්දුනීසියානු සුමාත්‍රා දූපත් වල ජීවත්වන උප විශේෂය වශයෙන්. නමුත් නවීන ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ මගින් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ජීවත්වන අලින් සහ ආසියානු ප්‍රධාන භූමියේ ජීවත්වන අලින් අතර කැපී පෙනෙන ප්‍රවේණි විද්‍යාත්මක වෙනස්කමක් නැහැ. නමුත් මෙතෙක් කලක් ආසියානු ප්‍රධාන භූමියේ හෝ සුමාත්‍රානු උප විශේෂයට අයත් බව සැලකූ බෝර්නියෝ දූපත්වල ජීවත්වන අලි ඇතුන් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමයවී ඇති බව අපේ රටේ සිටින අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස 2003 වසරේදී මුල්වරට අනාවරණය කළා. ඒ ගැන තවදුරටත් කෙරුණු පර්යේෂණ වලදී එම අලින් මීට වසර ලක්ෂ තුනකට පමණ පෙර ප්‍රධාන ගහනයෙන් හුදෙකලාවී පරිණාමය වී ඇති බව සනාථ වුණා. ඔවුන් රූප විද්‍යාත්මකව සහ චර්යාත්මකවත් අනෙකුත් උප විශේෂ වලට වඩා වෙනස් වන නිසා Elephas maximus borneensis වශයෙන් නව උප විශේෂයක් ලෙස යෝජනා කර තිබෙනවා.

ලොව වැඩිම වනගත ආසියානු අලි ඇතුන් ගහනයක් ජීවත්වන රට අප අසල්වැසි ඉන්දියාවයි. එම සංඛ්‍යාව 27,312 ක්. ඉන්පසු ශ්‍රී ලංකාවේ අලි 5879 ක් සිටින බව 2011 වසරේ සිදු කෙරුණු සමීක්ෂණයේදී අනාවරණය වුණා. තායිලන්තය, මියන්මාරය, මැලේසියාව සහ ඉන්දුනීසියාව 1000 කට වැඩි අලි ගහනයක් සිටින අනෙකුත් රටවල්. මේ අතරින් තායිලන්තය සුවිශේෂී වන්නේ එරට 3126 – 3341 පමණ වනාන්තර වාසී අලි ගහනයක් ජීවත් වෙද්දී, ගෘහාශ්‍රිතකරණය කරන ලද අලි ඇතුන්ද 3783 පමණ ජීවත් වීම නිසා. භූතානය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් 400 – 800 අතර වනවා. ඊට අමතරව චීනයේ අලි 300 ක් පමණ සහ බංගලාදේශයේ අලි 289 – 437 ක් ජීවත්වෙන බව සැලකෙනවා. අවසාන වශයෙන් නේපාලයේ සහ වියට්නාමයේ 150 ක පමණ අලි ගහනයක් ජීවත් වෙනවා.

ලෝක සංරක්ෂණ සංගමයට අනුව ආසියානු අලි ඇතුන් දිවි ගෙවන සියළුම රටවලින් එම සතුන් වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති (Endangered) අතර සුමාත්‍රානු උප විශේෂයට අයත් අලි ඇතුන් මුහුණ දෙමින් සිටින ඉරණම වඩාත් දරුණු නිසා ඔවුන් වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ (Critically Endangered) උප විශේෂයක් ලෙස සලකනු ලබනවා. ඒ වගේම වඳ වී යැමේ තර්ජනයට ලක්‌ ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (Convention on International Trade in Endangered Species of Wild Fauna & Flora – CITES) පළමු වැනි උප ලේඛණයට (Appendix I) ආසියානු අලින් ඇතුලත්කර තිබෙනවා. මෙම පළමු වැනි උප ලේඛනයට ඇතුළත් සතුන් සහ පැළෑටි වාණිජමය කටයුතු සඳහා භාවිතය තහනම් වන අතර විද්‍යාත්මක පර්යේෂණ හෝ අධ්‍යාපන වැනි කටයුතු සඳහා සීමිත හුවමාරුවක්‌ පමණක්‌ අනුමත කර තිබෙනවා.

ආසියානු අලි ඇතුන්ට ඇති ප්‍රධාන තර්ජන වන්නේ වාසස්ථාන අහිමි වීම හා ඛණ්ඩනය වීම, අලි – මිනිස් ගැටුම සහ අලි ඇතුන් දඩයම් කිරීම සහ නීති විරෝධී වෙළඳාමයි. මෙම කලාපයේ සීග්‍රයෙන් ඉහළ යන මිනිස් ජනගහනයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා දිනපතාම හස්ති වාසභූමි උදුරාගනු ලබනවා. ඉතිරි වාසභූමි ප්‍රමාණයත් ඉතා කුඩා කොටස් වලට කැඩී යමින් පවතිනවා. ඒ වගේම අලින් සහ මිනිසුන් අතර ඇතිවී තිබෙන නිමක් නොමැති අරගලය දෙපාර්ශවයටම මරණ වරෙන්තු ලියාදී තිබෙනවා. ලොව අලි – මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වැඩිම අලින් ප්‍රමාණය සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණය මිය යන රට ශ්‍රී ලංකාව බව ලියුම්කරු ප්‍රමුඛ පර්යේෂකයින් පිරිසක් විසින් 2020 වසරේදී විද්‍යාත්මකව හෙළිදරව් කරණු ලැබුවා (https://www.asesg.org/PDFfiles/2020/51-16-Prakash.pdf).
ඉතින් මේ අපූර්ව සත්ත්ව විශේෂයට සදහටම මිහිමතින් සමුගෙන යාමට ඉඩ නොදී රැකගැනීම අප සැමගේ යුතුකම සහ වගකීම නේද?

Content credits to Gentle Giant Project Sri Lanka / Supun Lahiru Prakash.


පළමු දිග හරිම 


හස්ති ලෝකයට එබී බලමු!
අලි ඇතුන් කියන්නේ ශ්‍රී ලංකාවේ අපට ඉතා වැදගත් සත්ත්ව විශේෂයක්. අපේ රටේ ප්‍රධාන වශයෙන් මුල්බැස ගෙන ඇති ආගමික විශ්වාසයන් වන බෞද්ධ සහ හින්දු ඇදහීම් වල අලි ඇතුන්ට විශාල ඉඩක් ලබාදී තිබෙනවා. ඒ වගේම අපේ සංස්කෘතිය සහ ජන සාහිත්‍ය තුලත් ඔවුන්ට විශාල අවකාශයක් ලැබී ඇති නිසා අලි ඇතුන් කියන්නේ කුඩා කල සිටම අපට සමීප සත්ව විශේෂයක්.

පේ රටේ මිනිසකුගේ මනස තුල අලි ඇතුන් ලැගුම් ගන්නේ ඔහු හෝ ඇය ළදරු අවධියේදී මයි.

‘ඔන්න බබෝ ඇතින්නියා – ගල් ඇරඹේ සිටින්නියා …’ නැළවිලි ගීතය කුඩා කල නොඇසූ දරුවෙකු මේ දිවයිනේ නොමැති තරම්.
ඒ වගේම ‘අලි බැලිල්ලත් – බලි බැලිල්ලත් කවදාවත් එපා වෙන්නේ නැහැ” කියලත් අප අතර ප්‍රකට කියමනක් තියෙනවා.
නමුත් මුළු මහත් ලෝකයේ වගේම ශ්‍රී ලංකාවෙත් අලි ඇතුන් මේ වන විට ගෙවා දමමින් සිටින්නේ සුවදායක දිවි පෙවෙතක් නම් නොවෙයි. වාසභූමි අහිමි වීමෙන් පටන්ගෙන අමානුෂික ලෙස මරා දැමීම දක්වා පුළුල් පරාසයක පැතිරුණු ජීවන අභියෝග රැසකට මුහුණ දෙන්න අලි ඇතුන්ට සිදුවෙලා. මෙහෙම ගියොත් අලි ඇතුන් අතීත පුරාවෘත්ත, ඡායාරූප, සිතුවම් හෝ කෞතුකාගාරය නිදර්ශක වල පමණක් ඉතිරි වන දිනය වැඩි ඈතක නැහැ. ඒ නිසා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම වර්තමානයේ ජීවත්වන අපගේ කර මත පැටවිලා තියෙනවා. ඒ සඳහා අපි අලි ඇතුන් ගැන දැනුම ලබාගැනීම සහ අපද ඇතුළු විශාල සත්ත්ව සහ ශාඛ ප්‍රජාවක් ජීවත්වෙන පෘථිවි ගෝලයේ පැවැත්මට ඔවුන්ගෙන් සැපයෙන සුවිශේෂී දායකත්වය ගැන අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්.

ලෝකයේ දැනට ජීවත්වන අලි විශේෂ
ලෝකයේ මේ වෙනකොට ජීවත් වෙන්නේ අලි ඇතුන් විශේෂ තුනක් පමණයි. ඒ අප්‍රිකානු අලි විශේෂ දෙකක් සහ ආසියානු අලි විශේෂයක් වශයෙන්. ඔවුන් විද්‍යාත්මකව හඳුන්වන්නේ පහත සඳහන් නම් වලින්,
අප්‍රිකානු සැවනා අලි (African savanna elephants) – Loxodonta africana
අප්‍රිකානු වනාන්තර වාසී අලි (African forest elephants) – Loxodonta cyclotis
ආසියානු අලි (Asian elephant) – Elephas maximus
අප්‍රිකානු සැවානා පරිසර පද්ධති වල ජීවත්වන අලින් තමයි මිහිමත ඇවිද යන විශාලතම සත්ත්ව විශේෂය වෙන්නේ. අඩි 10 – 13 පමණ උසින් වර්ධනය වෙන මෙම සතුන් වැඩුණු විට කිලෝග්‍රෑම් 4000 – 7000 ත් පමණ බරකින් යුක්ත වෙනවා. ඔවුන් මධ්‍යම අප්‍රිකාවේ නිවර්තන කලාපීය වනාන්තර හැර සහරා කාන්තාරයට පහළින් පිහිටි නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු රටවල් ගණනාවක සැවානා සහ කටු පඳුරු සහිත වනාන්තර වල ජීවත් වෙනවා. ඔවුන් වැඩි වශයෙන් ජීවත්වෙන රටවල් හැටියට බොට්ස්වානා, ටැන්සානියාව, සිම්බාබ්වේ, කෙන්යාව, නැමීබියාව, මොසැම්බික් සහ දකුණු අප්‍රිකාව හඳුන්වන්න පුළුවන්. ලෝක සංරක්ෂණ සංගමයේ (International Union for Conservation of Nature – IUCN) වර්ගීකරණයට අනුව මෙම සතුන් වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති (Endangered) සත්ත්ව විශේෂයක් ලෙස නම්කර තිබෙනවා.

අප්‍රිකානු නිවර්තන වර්ෂා වනාන්තර තම වාසභූමි කරගෙන තවත් අප්‍රිකානු අලි විශේෂයක් ජීවත් වෙනවා. සැවානා වනාන්තර වල ජීවත්වන තම නෑදෑයින්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා මෙම වන වාසී අලි විශේෂය අඩි 8 – 10 පමණ උසින් වර්ධනය වෙනවා. ඒ වගේම මෙම සතුන් වැඩුණු විට කිලෝග්‍රෑම් 2000 – 5000 ත් පමණ බරකින් සමන්විතයි. ඔවුන්ගේ හිස්කබල සහ අස්ථි සැකිල්ලේ ව්‍යුහයත් සැවානා අලි විශේෂයට වඩා වෙනස්. අප්‍රිකානු වනාන්තර වාසී අලින් මධ්‍යම හා බටහිර අප්‍රිකාවේ විශාල නිවර්තන කලාපීය වනාන්තර තුල ජීවත් වෙනවා. ඔවුන් වැඩි වශයෙන් ජීවත්වෙන රටවල් ලෙස ගැබොන්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කැමරූන් සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය වැනි මධ්‍යම අප්‍රිකානු රටවල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බටහිර අප්‍රිකාවේ අයිවරි කෝස්ට්, ලයිබීරියාව සහ ඝානාව වැනි රටවලත් ඔවුන් දක්නට ලැබෙනවා. ලෝක සංරක්ෂණ සංගමය අප්‍රිකානු වනාන්තර වාසී අලින් වෙනම සත්ත්ව විශේෂයක් ලෙස නිළ වශයෙන් පිළිගෙන ඔවුන්ගේ සංරක්ෂිත තත්ත්වය (Conservation Status) අධ්‍යනය කර ප්‍රකාශයට පත් කරන්නේ 2021 වසරේ මාර්තු මාසයේදී. ඒ අනුව ඔවුන් වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ (Critically Endangered) සත්ත්ව විශේෂයක් ලෙස නම්කර තිබෙනවා.

දළ ලබාගැනීම සඳහා ඝාතනය කිරීම, වාසභූමි ප්‍රමාණාත්මකව අඩුවීම සහ ඛණ්ඩනය වීම වගේම අලි- මිනිස් ගැටුම් හේතුවෙන් අප්‍රිකානු අලි ගහනය සීග්‍රයෙන් පහළ වැටී තිබෙනවා. පසුගිය සියවස දක්වා අප්‍රිකානු මහාද්වීපයේ අලි ඇතුන් මිලියන තුනත් හතරත් අතර ප්‍රමාණයක් ජීවත්වූ බව සැලකෙනවා. නමුත් මේ වන විට එම ප්‍රමාණය 415,000 කට පමණ සීමාවී තිබෙනවා.

එතැනින් ආසියාව දෙසට හැරුනොත් මේ වන විට ආසියාවේ අලි ඇතුන් ජීවත් වන්නේ රටවල් දහතුනක පමණයි. ඒ අතරින් වනාන්තර වල ජීවත්වන සංඛ්‍යාව 45,671 – 49,028 පමණ වෙනවා. තවද 14,930 – 15,130 පමණ ගෘහාශ්‍රිත එහෙමත් නැත්නම් හීලෑ ආසියානු අලි ගහනයකුත් එම රටවල් වල ජීවත් වෙනවා. අඩි 6.5 – 11.5 පමණ උසින් වර්ධනය වන ආසියානු අලි ඇතුන්ගේ වැඩුණු සතෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2250 – 5500 පමණ වෙනවා.
ආසියානු අලි ඇතුන් වරෙක බටහිර ආසියාවේ ඉරාන වෙරළ තීරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වාත්, නැගෙනහිර දෙසින් සුමාත්‍රා, ජාවා සහ බෝර්නියෝ දූපත් ද ඇතුළුව ගිනිකොනදිග ආසියාව දක්වාත්, චීනයේ යැංසි ගඟ දක්වා උතුරටත් ව්‍යාප්තවී සිට තිබෙනවා. නමුත් එම ඓතිහාසික හස්ති වාසභූමි වලින් සියයට අනුපහකින්ම (95%) මේ වන විට අලි ඇතුන් වඳවී ගොස් අවසන්. ඉතිරි වාසභූමි ස්වල්පය තුලත් ඔවුන් ජීවත් වන්නේ ඉතාම ආයාසයෙන්. ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මියන්මාරය පිළිවෙලින් අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් ජීවත්වන රටවල් වලට අයත්. ලෝක සංරක්ෂණ සංගමයට අනුව ආසියානු අලි ඇතුනුත් වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති (Endangered) සත්ත්ව විශේෂයක්. එනිසා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අප වෙත පැවරී ඇත්තේ මගහැර යා නොහැකි වගකීමක්.

ඉතින් අපි එක්ව අත්වැල් බැඳ ගනිමු, මේ ශක්තිමත්, බුද්ධිමත් සහ සංවේදී සත්ත්ව විශේෂය රැකගන්න!

Content credits to Gentle Giant Project Sri Lanka / Supun Lahiru Prakash.

leave a reply