Breaking News

1802, සැප්තැම්බර් 3 වැනි දා වෙස්ට්මිනිස්ටර් පාලම උඩදී රචනා කරන ලදී

රජීව දසනායක

1802, සැප්තැම්බර් 3 වැනි දා වෙස්ට්මිනිස්ටර් පාලම උඩදී රචනා කරන ලදී
Composed upon Westminister bridge, September 3, 1802


මේ අමුතු මාතෘකාව යෙදෙන්නෙ විලියම් වර්ඩ්ස්වර්ත්ගෙ කවියකට. ඔහු වෙස්ට්මිනිස්ටර් පාලම උඩ ඉඳලා හිරු නැගෙන වෙලාවක බොහොම සුන්දර කවියක් ලියනවා. වෙස්ට්මිනිස්ටර් පාලම තියෙන්නෙ තේම්ස් නදිය උඩින්. කවිය ලියන්නෙ ලන්ඩන් නගරය ගැන. මේ කවිය දැන් බොහෝ විට “Upon Westminister bridge” ලෙස කෙටි කරපු මාතෘකාවකින් හඳුන්වනවා.

Earth has not anything to show more fair
Dull would he be of soul who could pass by
A sight so touching in its majesty:
මිහිතලයට මීට වඩා ශෝභමාන දසුනක් පෙන්විය නොහැක. මෙවන් තේජසක් පසුකර යා හැකි ඔහු ආත්මීයව මිලානය.

This city now doth, like a garment, wear
The beauty of the morning; silent, bare,
පුරවරය දැන් වස්ත්‍රයක් සේ උදෑසන අලංකාරය හැඳ සිටී; නිහඬව, නග්නව.

Ships, towers, domes, theatres, and temples lie
Open unto the fields, and to the sky;
All bright and glittering in the smokeless air.
නැව්, කුළුණු, කොත්, රඟහල්, පූජනීය ස්ථාන, දුම් රහිත වායුගෝලයේ දිළිසෙමින් බබලමින්, අහසටත් තණපිටි වලටත් විවෘතය.

Never did sun more beautifully steep
In his first splendor, over valley, rock, or hill;
Ne’er saw I, never felt, a calm so deep!
The river glideth at his own sweet will:
නිම්න, ගිරි ශිඛර මතින් කිසිදාක මීට වඩා ලස්සනට තම මුල්ම ප්‍රභාවෙන් ඉර මෝදු වී නැත. මා කිසිදාක දැක නැත, කිසිදාක දැනී නැත මෙතරම් ගැඹුරු සැනසීමක්. ගඟ ලිස්සා ගලා යයි ඔහුට (ගඟට) රිසි ලෙසින්.

Dear god! the very houses seem asleep;
And all that mighty heart is lying still!
දෙවියනේ! ගෙවල් පවා නින්දෙන් මෙනි. ඒ මහා බලගතු හදවත නිසලව වැතිරී සිටී.

මේ කවියෙ මාතෘකාවටත් වඩා අමුත්තක් තියෙනවා. වර්ඩ්ස්වර්ත් කියන්නෙ රොමෑන්ටික් කවියෙක්. එයාලගෙ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි නාගරීකරනයට, කාර්මීකරණයට විරුද්ධ වීමත්, ස්වභාවධර්මය උත්කර්ෂයට නැගීමත්. වර්ඩ්ස්වර්ත් කියන්නෙ අනිත් රොමෑන්ටික් කවියන්ටත් වඩා සොබාදහමට ආදරය කරපු, සොබාදහම ගැනම ලියපු කෙනෙක්. ඒත් මෙතනදී ඔහු ලන්ඩන් පුරවරයේ සුන්දරත්වය ගැන ලියනවා. ඒ විතරක් නෙවේ, සොබාදහම සංකේතවත් කරන නිම්න, ගිරි ශිඛර වලට වඩා හොඳයි කියලත් කියනවා.

වර්ඩ්ස්වර්ත් දකින දෙයින් ආනන්දයට පත් වන බවට සැකයක් නෑ. ඒත් ඔහු ඇත්තටම ලන්ඩන් නගරය ගැන වර්ණනාවක්ද කරන්නෙ?. මතුපිට අදහස සම්පූර්ණයෙන් වෙනස් කරන විචාරයක් මට ළඟදී කියවන්න ලැබුණා.

එහිදී අවධානය යොමු වෙන්නෙ mighty heart lying still කියන අවසාන පේළියට. හදවතක් නිසලව වැතිරෙන්නේ මිය ගිහාම පමණයි. මෙතන මහා බලසම්පන්න හදවත කියලා හඳුන්වන්නේ ලන්ඩනයේ වාණිජ ශක්තිය බවට සැකයක් නෑ. එහෙම නම් ඔහු කියන්නෙ ලන්ඩනය ලස්සන ඒ හදවත නැවතුනාම විතරයි කියලද? ඒ වගේම ද්විත්වාර්ථයක් තියෙනවා. Lying still කියන එක “තවම බොරු කියනවා” කියලා ගන්නත් පුලුවන්. ඒ අනුව අවදි නොවූ නිසා ලන්ඩන් නගරය තාම බොරුවක් කරමින් ඉන්න නිසයි සුන්දරව පේන්නෙ.

මේ අදහසින් බලද්දි කවිය පුරාම වපුරපු ඉඟි රාශියක් පේනවා. නගරයකට ලාක්ෂණික වූ “ගජ තුරඟ සෙන් හඬ රිය සක් පසඟතුරු හඬ” තියා මිනිස්සු වත් පේන්න ඉන්න බවක් කියලා නෑ. වස්ත්‍රයක් සේ උදෑසන අලංකාරය හැඳගෙන ඉන්නවා කියන්නෙ ඒක ගැලවුනු හැටියේ, එනම් දවල් වුනාම, නගරයේ අවලස්සන නිරුවත පේන බව නොකියා කීමක්. දුම් රහිත වායුගෝලයේ කියලා විශේෂ සඳහනක් කරන්නෙ වෙන වෙලාවට දුම් තියනවා කීමක්. මේ ඔක්කොගෙන්ම කියන්නෙ නගරයක අනන්‍යතාවය පෙන්නන දේවල් නැති වෙලාවටයි සුන්දර කියලා.

මීට වඩා සියුම් ඉඟියකුත් තියෙනවා. විලියම් බ්ලේක් “ලන්ඩන්” කියන මාතෘකාවෙන් ඉතා ප්‍රසිද්ධ කවියක් ලියනවා 1794 දී. ඒකෙ chartered Thames හෙවත් අයිති වූ / සේවයට කැපවූ තේම්ස් නදිය ලෙස යෙදුමක් තියෙනවා. වර්ඩ්ස්වර්ත් 1802දී The river glideth at his own sweet will කියලා තේම්ස් නදිය ගැන ලියන්නෙ අර පේළියට සම්බන්ධයක් නැතිව වෙන්න බෑ. තේම්ස් කියන්නෙ ලෝකයේ කාර්‍යබහුලම ගඟ ලු. ඔහු කියන්නෙ නගරය අවදි වෙන්න කළින් උදේ නම් මේ ගඟ නිදහස් කියලා, ඊට පස්සෙ චාටර් වෙන බව නොකියා කියමින්.

වර්ඩ්ස්වර්ත් ‘කවිය’ ගැන මෙහෙම කියනවා; Poetry is the spontaneous overflow of powerful feelings: and it takes its form recollected in tranquility.
කවිය යනු ඉබේ උතුරා යන ප්‍රබල හැඟීම්ය, එයට හැඩයක් ලැබෙන්නේ සන්සුන්ව සිහිපත් කරන විටය. ඔහුගේ “upon Westminister bridge” කවියත් ඒ වගේ. උදෑසන අවදි නොවූ නගරයේ සුන්දරත්වයෙන් ඇතිවන ප්‍රබල හැඟීම, දහවල් විපර්‍යාසය සමඟ සන්සුන්ව සිහිපත් කරලා ලියවෙන කවියක් වගේ.

මේකෙ පොඩ්ඩක් අවුල් තැන් දෙකක් තියෙනවා. එකක් තමා
The city now doth, like a garment wear
The beauty of the morning, silent, bare
වස්ත්‍රයක් ලෙසින් උදෑසන අලංකාරය ඇඳගෙන ඉන්නවා නම් bare (නග්න) වෙන්නෙ කොහොමද? වර්ඩ්ස්වර්ත් මේ කවියට යොදාගන්නෙ පෙට්‍රාකියන් සොනට් කියන ආකෘතිය. ඒ කියන්නෙ ABBAABBACDCDCD ලෙස අග එළිසමය එන්න ඕනෙ. වෙනත් විදිගට කීවොත් 1,4,5,8 පේළි වල එක අග එළිසමයකුත්, 2,3,6,7 පේළි වල තවත් අග එළිසමයකුත්, 9, 11, 13 හා 10, 12, 14 පේළි වල වෙනස් අග එළිසම දෙකකුත් යොදන්න ඕනෙ. (කවිය දිහා නැවත බැලුවොත් මේ රටාව පෙනෙයි). ඉතින් bare කියන්නෙ එළිසමය තියාගන්න දාපු නුසුදුසු වචනයක් වාගෙ පේන්නෙ. ඒ වගේම Dear god! the very houses seem asleep කියන පේළිය බොහොම තදබල ලෙස දැනෙන්න ලියලා තියනවා (අනිත් රොමෑන්ටික් කවියන් වගේ වර්ඩ්ස්වර්ත් ආගමින් ඈත් වුනේ නෑ). ඒත් ඒ පේළියෙන් කවියට විශේෂයෙන් එකතු වෙන දෙයක් පේන්නෙ නෑ. සමහරවිට සැඟවුනු අර්ථයක් තියෙන්න පුලුවන්. විසි එක් වන ශතවර්ශයේදී ඒ රටවල් වල මේවට හිරේ දාන්නෙ නැති නිසා අවුලක් දැනෙන තැන් කියන්න පුළුවන් බය නැතුව.

වර්ඩ්ස්වර්ත් (1770 – 1850) පළමු පරපුරේ රොමෑන්ටික් කවියෙක්. කොලරිජ් සමඟ එක්වෙලා ඔහු ලියූ Lyrical ballads කියන පොත රොමෑන්ටික් කවි යුගයේ ආරම්භය සනිටුහන් කරන එක තැනක් ලෙස සැලකෙනවා.

 

leave a reply