2009 වසරේදී සිදුවූ දෙමළ ජනවර්ග සංහාරයෙන් 12 වසරක් පිරීම සමරණු වස් 2021 මැයි මාසයේ 18 වැනිදා දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් යාපනයේදී සංවිධානය කරන ලද මුල්ලිවයික්කාල් සමරු රැස්වීම අමතා රෝහිත භාෂණ අබේවර්ධන කරන ලද කතාවේ සිංහල පරිවර්තනය.
“සිංහල ජාතියේ සාමාජිකයෙකු වශයෙන් මේ මොහොත ලැජ්ජාවටත්, වරදකාරීත්වයටත් අභිමානයටත් තුඩුදෙන මොහොතකි. ලැජ්ජාව සහ වරදකාරිත්වය දමිළ ජාතියට එරෙහි කරන ලද සාහසික අපරාධ වැළැක්වීම සඳහා මගේ බොහෝ සහෝදරවරුන් මෙන්ම මගේ පෞද්ගලික වගකීම ප්‍රතික්ෂේප කිරීමට සහ ඉවත් කිරීමට මට ඇති නොහැකියාව සම්බන්ධවයි.
නමුත්, මුල්ලිවයික්කාල්හිදී මියගිය අය සිහිපත් කිරීමට හා අනුස්මරණය කිරීමට ආරාධනා කිරීමට තරම් දෙමළ ජාතියේ දිවි ගලවා ගත් සාමාජිකයන් අප කෙරෙහි ව තබා ඇති විශ්වාසය අභිමානයට හේතුවයි.
වසර 12 කට පසු විනාඩි පහළොවක් තරම් කෙටි වෙලාවක් තුළ, මුල්ලිවයික්කාල්හි එදා සිදු වූ වර්ග සංහාරක ප‍්‍රහාරය පිළිබඳව නැවත සලකා බැලීම සහ මෙනෙහි කිරීම ඔබ මගෙන් අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා රාජ්‍යය සිය “නිර්ලජ්ජිත ජයග්‍රාහී දිනය” ලෙස කොළඹ වීදිවලදී වසර 2009 සිට මේ දක්වාම උත්කර්ෂයෙන් සමරනු ලබන්නේ ලක්ෂ හතරකට ආසන්න ජනගහනය, මුහුදෙන්, ගුවනින් හා ගොඩබිමෙන් එල්ලවන ප්‍රහාර මධ්‍යයේ ඖෂධ, ආහාර හා නින්ද අහිමි ව, හීන වෙමින් පවතින කුඩා ඉඩම් කැබැල්ලකට කොටු වී, කම්පිතව කුසගින්නෙන් කොටුකර තැබීම ය.
නමුත් එය එතැනින් නොනැවතිණ.
“එක් රටක් – එක් ජාතියක්” ගොඩනැගීම සඳහා ගෙන ඇති මූලික පියවරක් ලෙස සැළකෙන්නේ ඊනියා පුනරුත්ථාපන කඳවුරුවලට හා රැඳවුම් කඳවුරුවලට දිවි ගලවා ගත් මිනිසුන්ව ගෙන යාමට පෙර මිනිසුන් සමූහ වශයෙන් නීතියට බැහැරින් මරා දමමින්, ස්ත්‍රීන් දූෂණය කරමින්, ළමුන් ද ඇතුළුව දහස් ගණනක් අතුරුදහන් කිරීමේ සාපරාධයන් ය.
මෙම අලුතින් සොයාගත් ‘එක රටක් – එක ජාතියක්’ යන්නෙහි පදනම, ජනවර්ග සංහාරක වර්ගතාන්ත්‍රික රාජ්‍යයක මිලිටරි ශක්තියෙන් නිදහස හා සමානාත්මතාවය සඳහා වූ අදිටන බිඳ දැමූ පරම්පරාවන්ගේ ඇටසැකිලි කඳු ය.
මෙම දරුණු අපරාධ අපි හැඳින්විය යුත්තේ කෙසේද? දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවතී 2009 මැයි මාසයේ මුල්ලිවයික්කාල්හිදී කූඨප්‍රාප්තිය කරා ළඟා වූ මෙම දැවැන්ත හිංසාවන් අපි නිර්වචනය කරන්නේ කෙසේද? එය වාර්ගික ශුද්ධියක්ද? යුද අපරාධයන්ද? මානව වර්ගයාට එරෙහි අපරාධයන්ද? නැත්නම් ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව අපරාධයන්ගෙත් අපරාධය සේ සැළකෙන වර්ග සංහාරයක්ද?
එක් අතකින් ශ්‍රී ලංකා රාජ්‍යයත්, එහි ජාත්‍යන්තර ආධාරකරුවෝත් කල්පනා කරන බව පෙනෙන්නේ සිදු වූ අපරාධ ‘වර්ග සංහාරයක්’ ලෙස හැඳින්වීමට දෙමළ ජනයාට අවශ්‍යව ඇත්තේ ලෝකයා හමුවේ එය යම්කිසි වරප්‍රසාදිත තත්ත්වයක් තමන්ට ලබාදෙන බව දෙමළ ජනයා සිතන නිසායැයි පෙනේ. නමුත් ඇත්ත එයද? වර්ග සංහාරය යනු කිසියම් ජාතියක දිවි ගළවාගත්තවුන් විසින් දිනාගැනීමට ප්‍රයත්න දරන වරප්‍රසාදිත තත්ත්වයක්ද?
අනෙක් අතට, බලය දරන්නන් විසින් සිදුකරන ලද කුරිරුකම්, ජාත්‍යන්තර බලවතුන් විසින් වර්ග සංහාරයක් ලෙස නිර්වචනය කර නොමැති නිසා, අපරාධය එහි සැබෑ නම වන “වර්ග සංහාරයේ” නමින් දෙමළ ජාතිය විසින් අවධාරණය නොකළ යුතු යැයි යන මතයක් ද තිබේ.
මෙම චින්තනයේ මූලික අඩුපාඩුව නම්, වර්ග සංහාරක අපරාධය, ලෝක බලවතුන් විසින් ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ යුතු හා අනුමත කළ යුතු යෝජනාවක් නොවන බව නොසලකා හැරීමයි. දශක ගණනාවක් තිස්සේ දෙමළ ජාතියට එරෙහිව සිදුකරන ලද්දා වූද, එදා මුල්ලිවයික්කාල් හිදී සිදු වූ සිදුවීම්වලින්, වසර 12 කට පසුව පවා ඔබ දිනපතා, සෑම පැයක්, සෑම මිනිත්තුවක් පාසාම මුහුණ දෙන්නා වූද, අපරාධයක් ඊට උචිත ලෙස නම් කිරීම හා පිළිගැනීම සඳහා බලවතුන් අතර සම්මුතියක් අවශ්‍ය නොවේ.
Genocide හෙවත් “වර්ග සංහාරය” නමැති වචනය ලොවට හඳුන්වා දුන් පෝලන්ත විද්‍යාර්ථියකු වන රෆායෙල් ලෙම්කින් පැවසුවේ, “කිසියම් ජාතියක් සියලුම සාමාජිකයන් සමූහ වශයෙන් සූමළ ඝාතනය කිරීමක් සිදුවන අවස්ථාවකදී හැරෙන්නට වර්ග සංහාරය යන්නෙන් යම් ජාතියක් ක්‍ෂණිකව විනාශ කිරීම අත්‍යාවශයෙන්ම අදහස් නොකෙරේ. ඒ වෙනුවට වර්ග සංහාරයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ ජාතික කණ්ඩායම්වල ජීවිතයේ අත්‍යවශ්‍ය පදනම් විනාශ කිරීම අරමුණු කරගත් විවිධ ක්‍රියාකාරකම් එකිනෙක හා සම්බන්ධ කරන්නා වූ සැලැස්මකි.”
දෙමළ ජාතියේ සාමූහික ජාතික ජීවිතයේ අත්‍යවශ්‍ය පදනම් කඩා බිඳ දමා ඒවා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ අරමුණින් සම්බන්ධීකරණය කළ සංහාරක සැලැස්මක් ක්‍රියාත්මක වූ බව තහවුරු කිරීම වනාහී ජගත් බලවතුන්ගේ සිත්තුළට කාවැද්දීම මගින් දෙමළ ජාතිය විසින් දිනා ගත යුතු විශේෂ තත්වයක් නොවේ.
සිදු වූ අපරාධය සනාථ කිරීම කළ යුතුව ඇත්තේ දෙමළ ජාතියේ ජාතික අනන්‍යතාව විනාශ කිරීමත්, පීඩක සිංහල බෞද්ධ අනන්‍යතාව ඔවුන් මත ආරෝපණය කිරීමත් සාරය කොටගත් ඓතිහාසික ක්‍රියාවලිය විමර්ශනය කොට, පරීක්ෂණයන් හා විශ්ලේෂණයන් මගින් අනාවරණය කිරීම මගිනි.
නමුත් එම කාර්යය වනාහී මට මේ වෙන් කර ඇති සීමිත කාලය තුළ විශ්ලේෂණය කර විස්තාරණය කළ හැකි දෙයක් නොවේ.
මුල්ලිවයික්කාල් සංහාරයෙන් වසර 12 ක් ගතවී ඇතත්, දෙමළ ජාතියේ සාමූහික ජාතික ජීවිතයේ අත්‍යවශ්‍ය පදනම් විනාශ කිරීම චේතනා කොටගත් සම්බන්ධීකරණ සැලැස්ම තවමත් ගැඹුරින් විමර්ශනය කර ඔප්පු කර නැත. විසිවන සියවසේ මුල් භාගයේ සිට විසිඑක්වන සියවසේ මුල් භාගය දක්වා දෙමළ ජාතිකයෙකු වීම නිසාත්, වහල්භාවයේ කොන්දේසිවලට එරෙහිව සටන් කොට, මනුෂ්‍ය ගරුත්වය සහිත පුරුෂයන් හා ස්ත්‍රීන් ලෙස ජීවත් වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම නිසාත් පීඩිතව මිය ගිය සෑම පුද්ගලයෙකුම ජීවත්වන්නුවන් විසින් ඔවුනය යුක්තිය ඉටු කරන තෙක් බලා සිටිති.
ගෝලීය බලවතුන්ගේ බලපෑම්වලට අවනත නොවී තමන්ට එරෙහිව සිදුකළ අපරාධය ඊට උචිත නමින් නිර්භීතව නම් කිරීම වනාහී එම යුක්තිය දිනා ගැනීමේ පළමු පියවරයි.
උපුටා ගැන්ම නිවහල් වෙබ් අඩවියෙන්