Breaking News

විදෙස් ප්‍රේෂණවලට ලැබෙන වටිනාකම විදෙස් ශ්‍රමික ජීවිතවලට ලැබෙන්නේ කවදාද?

මේවනවිට රටට ලැබෙන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යමින් ඇති බව මාධ්‍ය හරහා නිවේදනය කරමින් පවතියි. පුවත් වාර්තා පෙන්වා දෙන පරිදි 2020 වන විට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණ ප්‍රේෂණවල උපරිමය මාසකට ඩොලර් මිලියන 800ක් පමණ විය. එය ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණු වර්ෂයයි. 2021 වන විට එය ඩොලර් මිලියන 300ක් පමණ පහත වැටුණි. නමුත් මේ වන විට මසකට විදෙස් ප්‍රේෂණ ලැබීම 400ක් 500ක් අතර පමණ වේ.

මහ බැංකුව සිය වෙබ් අඩවියේ විදෙස් ප්‍රේෂණවල වැදගත්කම දක්වා ඇත්තේ පහත පරිදිය.
“විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ලැබීම්වල ප්‍රධාන ම මූලාශ්‍රයක් වී ඇති අතර, එය පුළුල් වන වෙළඳ හිඟය අවම කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සිදු කරමින් රටෙහි විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා හේතු වී ඇත. විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස විදේශගත සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පසුගිය දශක දෙක පුරා සාමාන්‍යයක් වශයෙන්, වෙළඳ ගිණුමේ හිඟයෙන් සියයට 80ක් පමණ ආවරණය කර ඇති අතර 2020 වසරේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වෙළඳ හිඟය ඉක්මවා ඇත. ”

නමුත් මේ ආණ්ඩු විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ප්‍රේෂණ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් දක්වන බවක් පෙනෙන්නට නැත.

වර්තමානයේදී වසරකට ලක්ෂ තුනක් පමණ, විදෙස් ගත වෙන බව පුවත් වාර්තා පෙන්වා දෙයි. මේ ගණන මීටත් වඩා වැඩිවිය හැක. මේ අතරින් ගෘහ සේවය සඳහා විදෙස් ගතවන කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටියි. ඔවුන් එවන ඩොලර් ගැන උනන්දු වෙන ආණ්ඩුවලට ඔවුන්ගේ ජීවිත සත පහක වටිනාකමක් නැති බව පැහැදිලිය.

ප්‍රේෂණ වැඩිවීමේ පුවත්වලට සාපේක්ෂව ගෘහ සේවයට ගොස් විවිධ අතරවලවලට ගොදුරුවීම්, අතුරුදහන් වීම්, මිය යාමේ පුවත්ද වැඩිවෙමින් පවතින්නේ මේ නිසාවෙනි.

මැලේසියාවේ ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයක දෙවැනි මහලෙන් වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව අද මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල – කොබෙයිගනේ අරලු‍ගස්වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවකි.

ඇය පසුගිය 23 වන දින තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාල නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකි නිසා තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවයි.

එවන් පසුබිමක ඊයේ (24) රාත්‍රියේ ඇය සිටි මහල් නිවාසයේ දෙවන මහලේ ජනේලයකින් ඇද වැටි ජිවිතක්ෂයට පත්ව ඇති බවට දැනුම්දී තිබෙන බවට වාර්තා වෙනවා

සිංගප්පූරුවේ සේවය කරමින් සිටි නදීකා දිල්හානි ප්‍රනාන්දු නම් කාන්තාවක් උඩුමහලකින් ඇද වැටී මියගියේ මීට දින කිහිපයකට පෙරයි. ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ ඇයට ද විවිධ හිරිහැර සිදුවූ බව මරණයට පෙර ඇය පවසා තිබුනා.

ඊට අමතරව විදෙස් ගතවී සේවය කරන කාන්තාවන්ට සිදුවෙන විවිධ හිරිහැර සම්බන්ධයෙන් දිනපතා මාධ්‍ය වාර්තා කරමින් සිටියි.

විදෙස් ප්‍රේෂණ ගැන පමණක් කෙළ හලමින් සිටින ආණ්ඩු මේ මරණවලට යුක්තිය ඉෂ්ඨ කිරීම හෝ අනෙකුත් ශ්‍රමික ජීවිත රැක ගැනීම වෙනුවෙන් ගන්නා පියවරක් ගැන ඉඟියක් හෝ දකින්නට නැත.

leave a reply