වටවල වැවිලි සමාගම වනාන්තර එළිකරමින් කටුපොල් වවන හැටි ගැන හෙළිදරව්වක්

Date:

වටවල වැවිලි සමාගම හෝමදොළ මූකලානට අයත් වනාන්තර වරින්වර එළි කරමින් කටුපොල් වගා බිම් ඉතා සූක්ෂම ව ව්‍යාප්ත කරයි. බාහිරට මෙම වනාන්තර එළි කිරීම නොපෙනෙන පරිදි කඳු මුදුන්වල පමණක් වනාන්තර කුට්ටි ඉතිරි කර නිම්න ආශ්‍රිත ව හා පහත් බිම්වල වනාන්තර සම්පූර්ණයෙන් ම ඉවත් කර කටුපොල් වගා බිම් ව්‍යාප්ත කිරීම සිදු කර තිබේ.

ඩෝන කැමරා භාවිතයෙන් අප විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී මේ බව අනාවරණය විය. කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය වන සංකීර්ණයට මායිම් ව පිහිටන හෝමදොළ මූකලාන පහතරට වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සුවිශේෂී වනාන්තර පද්ධතියකි. කඳුවැටි ගණානවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම මූකලාන ගිං ගගේ හා නිල්වලා ගගේ ජල පෝෂක ප්‍රදේශ වේ. හෝමදොළ මූකලාන අවට ජීවත්වන ජනතාව ගේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ ඉන් ආරම්භ වී පහළට ගලා බසිනා දිය දහරාවන් ය.

මේ වනාන්තර පද්ධතියේ පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම් සැලැකිල්ලට ගෙන ජනාධිපති කාර්යසාධක බලකායේ නිර්දේශ මත 2004 වසරේ දී හෝමදොළ මූකලානේ වනාන්තර සියල්ල රක්ෂිත තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. ඒ සඳහා වන යෝජනාව 2004 ජූලි මස 22 වන දින අංක 2004/26/සීපී/පීඑස් දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා 2004 අගෝස්තු මස 4 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22(1)(ඊ) වගන්තිය හා 44(ඒ) වගන්ති ප්‍රකාර ව හෝමදොළ මූකලානේ හෙක්ටයාර 304 ක් නැතහොත් අක්කර 752 ක් පමණ වන වනාන්තර කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය වන රක්ෂිත සංකීර්ණයට පැවරීමට අනුමැතිය ලැබී තිබේ.

නමුත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාමාර්ග නොගැනීම නිසා වටවල සමාගම විසින් මෙම වනාන්තර සීග්‍රයෙන් එළිපෙහෙළි කරමින් කටුපොල් ඇතුළු වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සිදු කරයි. ඒ සියල්ල සිදු කරනු ලබන්නේ මෙම කැබිනට් අනුමැතිය හා ජාතික පාරිසරික පනතේ සඳහන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමිනි.

හෝමදොළ මූකලාන අවට ජීවත් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මේ ආකාරයෙන් සමාගමකට රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීමට අවස්ථාව ලබා දිය හැකි ද? බුද්ධිමත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ව ඇත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...