ශ්‍රී ලංකාව, ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් කඳු පන්තිය සමග එක්ව ගත්කල ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර අතරින් එකකි. එය එසේ වන්නේ අපේ රට ඉතා පොහොසත් ජෛවවිවිධත්වයකින් හෙබි නිසාය. එසේම එම ජෛවවිවිධත්වය සීග්‍රයෙන් වැනසෙමින් යන නිසාය. එසේ වැනසී යන ජෛවවිවිධත්වයේ මහත කොතෙක්ද යත් කිසිඳු හව්හරණක් නැතිව ඩෝසර් යන්ත්‍රවලට හසුවෙමින් පවතින වනාන්තර වලින්ද නව ජීවී විශේෂ සොයාගැනීමට පර්යේෂකයින්ට හැකිවී තිබේ. අතීත ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ස්වභාවික සම්පත් සංරක්ෂණය සමකාලීන ලොව අනෙක් රටවල් සමග සැසඳීමේදී පැවතියේ ඉතා ඉහළ තැනකය. ක්‍රිස්තු පූර්ව 236 වසරේදී, මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ලොව ප්‍රථම අභයභූමිය මිහින්තලාවේ ස්ථාපනය කිරීමේ සිට බුදු දහම අනුව ගිය අතීත රජවරු මේ බිම සියළු සතුන්ට නිදහසේ සැරීමට හැකි තැනක් බවට පත්කළෝය. එකල ඔවුන් කටයුතු කලේ මේ බිමේ අයිතිකරුවන් ලෙස නොව භාරකරුවන් ලෙස සිතමිනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම තත්ත්වය වෙනස්වී අද වන විට දිවයින පුරා සියළු වන පෙත්වල පැවැත්ම අභියෝගයට ලක්වන තරමට රාජ්‍ය පාලකයින්ගේ ක්‍රියාකලාපය අගතිගාමී තත්ත්වයට පත්ව තිබීම කණගාටුවට කරුණකි. ඊට එදා මෙදා තුර රට කරවූ සියළු පාලකයින් වගකිව යුතුය. තවද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහු සඳහන් කරන ආකාරයට යහපත් චේතනාවෙන් සිදුකරන ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන් මාලාව හරහාද එකී වන විනාශයට උඩගෙඩි දෙන තැනට මේ වනවිට තත්ත්වය ඉතා දරුණුය.
ග්‍රාමීය ජනතාව වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්කළ ගැටළු වලට සහන සැලසීමේ අරමුණින් ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන ආරම්භ වූයේ 2020 සැප්තැම්බර් 25 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, වෙලන්විට ගම්මානයේදීය. එහි 14 වැනි වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව, ගලගොඩ ගම්මානයේදී පැවත්වුණේ ඉකුත් සති අන්තයේය. නමුත් එහිදී ප්‍රාදේශීය දේශපාලකයින් සහ පරිපාලන නිලධාරීන් විසින් ගම්මුන්ගේ සැබෑ ඕනෑ එපාකම් යටපත්කරමින් සංවිධානාත්මකව හා පූර්ව සූදානමකින් යුතුව ප්‍රශ්න ඉදිරිපත් කල බවට චෝදනා එල්ල විය. එසේම ඒ සඳහා ජනාධිපතිවරයා ලබාදුන් මතභේදාත්මක තීන්දු තීරණද හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ස්වභාවික පරිසර පද්ධතීන්ට සහ වනාන්තර වලට තර්ජන එල්ලවීම කණගාටුවට කරුණකි.
තමන් ප්‍රකාශ කරන දෑ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේ තමන් පැවැත්වූ පළමු පිළිසඳරේදීමය. එසේම ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව හයවැනි පිළිසඳරට සහභාගීවෙමින් පොළොන්නරුව, මැදිරිගිරිය, වොඩිකච්චිය ග්‍රාමයේදී ඔහු ප්‍රකාශ කළේය. එසේම පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ සහ පොලිස් දෙපාර්තමේන්තු ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිවරයා එහිදී නියෝග කළේය. තවද මොනරාගල, හම්බේගමුව, අලුත්වැව ප්‍රදේශයේ පැවැත්වූයේ පිළිසඳර අට වැනි වැඩසටහනේදී පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ‘ගම සමග පිළිසඳර’ හිදී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, පරිසර සහ ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. පවතින ගැටළු නිරාකරණය කරමින් නව නීති කඩිනමින් සැකසෙන බවත් වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස මේ තීරණයට එළැඹි බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව ඉහත කී ඇතැම් තීන්දු තීරණ ගනු ලැබුවේ කෘෂිකර්මාන්තය සංවර්ධනය තුලින් රට ඉදිරියට ගෙන යාමේ සහ නීතිමය ලියකියවිලි නොමැතිව ජනතාව පාරම්පරිකව භුක්‌තිවිඳි ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබාදීමේ යහපත් අරමුණ ඇතිව විය හැකිය. නමුත් ඒ සඳහා මුල පිරුණේ ‘රජයට අයත් සියලුම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂකට පැවරීම’ හිසැති 2001. 08. 10 දිනැති 05/2001 අංක දරණ චක්‍රලේඛය අවලංගු කිරීමට පිඹුරුපත් සකසමිනි. ඒ වෙනුවට ‘රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය’ මැයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් විසින් 2020. 11. 04 දිනැති MWFC/1/2020 අංක දරණ චක්‍රලේඛය නිකුත් කෙරිණි. ‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීම’ මැයෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) විසින් 2020. 06. 26 දිනැති 4/3/8/4 අංක දරණ ලිපියද නිකුත් කෙරිණි.
තවද ‘කිසිඳු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම’ මැයෙන් 2020 සැප්තැම්බර් 10 දිනැති 2192/36 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. ඊට අදාළ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2020. 09. 09 දිනැති අංක 2020/16 අංක දරන චක්‍රලේඛය නිකුත් කෙරිණි. මෙකී ලිපි ලේඛන වැරදි ලෙස අර්ථකථනය කරමින් මහා පරිමාණ වන විනාශයකට රට ඇද දැමීමට ඇතැම් දේශපාලකයින් සහ උසස් නිලධාරීන් කටයුතු කලේ වර්තමාන රජය බලයට පත්වූ මුල් අවධියේ සිටමය. එහි ප්‍රතිපලයක් ලෙස ‘නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම’ සඳහා අයදුම්පත් උත්සවාකාරයෙන් බෙදාහරිමින් ජනතාව, වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීමට පෙළඹවීමට අවස්ථාවාදී දේශපාලකයින් සහ පරිපාලන නිලධාරීන් කටයුතු කළෝය. ‘පාරම්පරිකව භුක්‌තිවිඳි ඉඩම්වල අයිතිය’ දඩමීමා කරගෙන අනවසරයෙන් අල්ලා ගනු ලබන වනාන්තර ඉඩම් වලටද නීත්‍යානුකූලභාවයක් ලබාගත හැකි බවට ජනතාව තුල මතයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කළේය. එසේ සාමාන්‍ය ජනතාවට සොච්චම් දොළපිදේනියක් ලබාදී ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ඉඩම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමටද ඔවුන් කටයුතු කළා විය යුතුය. පසුව අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කෙරුණද ‘පිළිසඳර’ හරහා ජනාධිපතිවරයා ලබාදෙන වාචික චක්‍රලේඛ සහ නියෝග මගින් සිදුවන්නේ තවදුරටත් එකී වන විනාශයට උඩගෙඩි දීමය. තවද එම අවස්ථාවලදී අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්කිරීම මගින්ද සිදුවන්නේ තත්ත්වය තව දුරටත් දරුණු අතට හැරීමය.
මේ ආකාරයෙන් පාලකයින්ගේ අඥාන ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර අභියෝගයට ලක්වූ අවස්ථා කිහිපයක් පමණක් මෙහි ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුල අනවසරයෙන් වී වගාවේ නිරතවූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග මගින් උද්‍යානයෙන් ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා කටයුතු කරනු ලැබුවේ මීට කලකට පෙරය. තවද ජාතික උද්‍යානයට හීලෑ ගවයින් ඇතුලු කිරීමද එවැන්නකි. නමුත් මැදිරිගිරිය, වොඩිකච්චිය ග්‍රාමයේ පැවති පිළිසඳරේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් තීන්දු මගින් සිදුවූයේ වනජීවී නිලධාරීන්ගේ කැපවීම අභියෝගයට ලක්වීමය. ජලගැලුම් නිම්නය යනු මහවැලි ගංගාවේ පහළ නිම්නයේ පිහිටි ඊටම අනන්‍යවූ සුවිශේසී පරිසර පද්ධතියකි. එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම මගින් සෙත සැලසෙන්නේ වනජීවීන්ට පමණක් නොවේ. පටු අවස්තාවදීන් පිරිසකට එහි වගා කිරීමට සහ ගව පාලනයට ඉඩ ලබාදීම මගින් මෙම ජාතික උද්‍යානයේ දිවිගෙවන අලි ඇතුන්ගේ පැවැත්මට තර්ජන එල්ලවේ. එහි ප්‍රතිපලය ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම ඉහළ ගොස් මිනිස් ජීවිත හා දේපොළ වලටද තර්ජන එල්ලවීමය.
තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති ‘පිළිසඳර’ අට වැනි වැඩසටහන හරහාද මෙවැනිම අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත විය. උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපටිටිය යෝජිත අභයභූමිය අතර අලි ඇතුන් සංක්‍රමණය වන්නේ දහයියාගල අලි මංකඩ ඔස්සේය. නමුත් ප්‍රාදේශීය දේශපාලකයින් විසින් එහි ඉඩම් අල්ලාගැනීමට ජනතාව පොළඹවනු ලැබුවේ ජනාධිපතිවරයා මගින් ඊට නීතිමය හිමිකම් ලබාදෙන බව සඳහන් කරමිණි. එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ ජනතාව මෙන්ම පිටස්තර පුද්ගලයින්ද සියගණනින් පැමිණ දහයියාගල අලි මංකඩ අභයභූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට කටයුතු කළෝය. එය වැලැක්වීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට සහ පරිසර ක්‍රියාකාරීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එමගින් දහයියාගල අලි මංකඩ යම්තරමකින් හෝ බේරාගැනීමට හැකියාව ලැබුණද මේ දක්වාම ඒ අවට තිබූ වනාන්තර අත්පත්කරගැනීම නොකඩවා සිදුවෙමින් පවතී.
මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර, මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති ‘පිළිසඳර’ 10 වැනි වැඩසටහනේදී නකල්ස් වනාන්තරය තුල එනසාල් වගාව සාකච්ඡාවට ලක් විය. මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ. මෙහි වඩාත් ජුගුප්සාජනක කරුණ වන්නේ මෙහි නීති විරෝධි ලෙස හා හානි කර අන්දමින් පවත්වා ගෙන ගිය එනසාල් වගා බිම් ඉවත් කිරීමට කටයුතු කෙරුණේ ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී වීමය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලකුණු කරන ලද, පාරම්පරිකව වගා කටයුතු වල යෙදී සිටි ඉඩම් වල නැවත වගා කිරීම සඳහා ඒවායේ පාරම්පරික අයිතිකරුවන් වෙත අවසර ලබා දීමට රජය ප්‍රතිපත්තීමය තීරණයක් ගෙන ඇති නමුත් මෙම අවසරය දඩමීමා කරගනිමින් නොයෙක් වෙනත් පාර්ශ්වයන් විසින් වනාන්තර විනාශ කරමින් සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බව කෑගල්ල, දැරණියගල, දික්ගල්ලකන්ද ප්‍රදේශයේ පැවති ‘පිළිසදර’ වැඩසටහනේදී ජනාධිපතිවරයා පිළිගෙන තිබේ. නමුත් මේ දක්වාම එකී වන විනාශය පිටුදැකීමට අවංකවම මැදිහත්වීමට ආණ්ඩුව කටයුතුකර ඇති බවක් අපට නොපෙනේ. තවද තමා විසින් දියත් කර ඇති ‘පිළිසදර’ වැඩසටහන පිළිබඳව සමාජ මධ්‍ය ජාලා වල නොයෙකුත් අවලාද නැඟුවත්, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ‘ගමේ ලස්සන ආරක්ෂා කරන අතරම ගම්වැසියන්ගේ ජීවිතත් ලස්සන කිරීම’ බව මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති ‘පිළිසඳර’ 10 වැනි වැඩසටහනේදී ජනාධිපතිවරයා පවසා තිබේ. නමුත් දැරණියගලදී පැවති පිළිසදරේදී මාකන්දාව රක්ෂිතය මැදින් පල්ලේභාග සිට කිතුල්ගල දක්වා කිලෝමීටර් තුනක දුරකින් යුත් මාර්ගයක් ඉල්ලා සිටී පුද්ගලයාගේ ඉල්ලීම ජනාධිපතිවරයාට ඉවත දැමීමට සිදුවුයේ එකී සමාජ මධ්‍ය ජාලා ඔස්සේ එල්ලවූ විරෝධය නිසාම බව අප විශ්වාස කරමු. එබැවින් රටේ තිරසාර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය අපේක්ෂාකරන සියල්ලන්ටම තවදුරටත් ඉතිරිව ඇත්තේ කිව්වා නාහන ආණ්ඩුවට එරෙහිව සමාජ මධ්‍ය ජාලා ඔස්සේ හෝ අරගල කිරීම පමණක් බව අවසන් වශයෙන් ලියාතබනු කැමැත්තෙමි.
කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය