Breaking News

ගෝඨාභයගේ කතරගම මන්දිරය – මගේ කතාවෙන් කොටසක්

චන්දන සිරිමල්වත්ත,

“මිස්ටර් චන්දන, මොකද මේ රාජපක්ෂ පවුල ගැනම ඔයාගෙ පත්තරේ ලියන්නෙ?”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා මගෙන් විමසා සිටියේය.

“ජනාධිපතිතුමාගෙ පවුල එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙනවද?” ඔහුගේ ප‍්‍රශ්නය මා අපේක්ෂා කළ දෙයක් නොවේ. එහෙත් දේශපාලන බලය නිලධාරීන් මත උපරිම වශයෙන් බලපෑම් කරන රටක ඕනෑම මොහොතක ඕනෑම දෙයක් විය හැකිය.
‘ඇයි එහෙම අහන්නෙ?’
‘ජනාධිපතිතුමාගෙ පවුලෙ අය ගැන ඔයාගෙ පත්තරේ ගොඩක් දේවල් පළ වෙලා තියෙනවා. රජය අප‍්‍රසාදයට පත්කිරීමේ චෝදනාව යටතේ ඔයාට විරුද්ධව පරීක්ෂණ කරන්න අපට උපදෙස් ලැබිලා තියෙනවා’ මට ඒ පිළිතුරෙන්ම කාරණය පැහැදිළි විය.

‘මුලින්ම මට කියන්න, මාව මෙතෙන්ට ගෙනාවෙ ඒක අහන්නද? නැත්නම් මට කිව්ව විදියට නිශ්චිත ලිපියක් ගැන ප‍්‍රකාශයක් ගන්නද?’ මම කෙටි ප‍්‍රහාරයක් එල්ල කළෙමි.

‘ඒක ගැනත් අහනවා. ඒත් මේ පත්තරේ පසුගිය කාලයේ වැඩියෙන්ම පළ වුණු දේවල් නිසා ඒ ගැන අහන්නෙ’ පොලිස් පරීක්ෂකවරයා පිළිතුරු දුන්නේය.
‘අපේ පත්තරෙන් පහුගිය කාළෙ හෙළිදරව් කරපු බරපතළ වංචා දූෂණ ගැන නං මේ වනතුරුත් කවුරුවත් අපෙන් ඇහුවෙ නෑ. කිසිම පරීක්ෂණයකුත් නෑ. ඒ අතර තිබුණු එක ලිපියක් තමයි ඔය ගෝඨාභය මහත්තයා සම්බන්ධව පළ කෙරුණු ලිපිය. දැන් ඔයා ‘රාජපක්ෂ පවුලත් එක්ක ආරවුලක් තියෙනවද?’ කියල අහද්දි මට එන ප‍්‍රශ්නෙ තමයි ආණ්ඩුවෙ අනෙක් වංචා දූෂණ ගැන විමර්ශනයක් නැද්ද? රාජපක්ෂ පවුලෙ අය ගැන ලිව්වම විතරක් ප‍්‍රකාශ සටහන් කරගන්න ඕනෑ වෙන්නෙ ඇයි?’ නිලධාරි පිරිසට එම ප‍්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි බව මම දැන සිටියෙමි.

‘ඒත් චන්දන මෙ ලිපිවල තියෙන කරුණුවලින් පෙනෙන්නෙ ජනාධිපතිතුමාගෙ පවුලෙ අයගෙ දේවල් සහ ආණ්ඩුවේ ඉහළ නිලතල දරණ අය සම්බන්ධ කරපු චෝදනා. ඔයාට පුළුවන්ද මේ කරුණු ඔප්පු කරන්න?’ ඔහු එවර මගෙන් විමසා සිටියේ

‘ලංකා’ පුවත්පත හෙළි කළ තොරතුරු පිළිබඳ ඔවුන්ගෙ ස්ථාවරය කිසිවකුගේ උපදෙස් මත කෙරෙණ පරීක්ෂණයට අවශ්‍ය ලෙස පූර්ව සූදානමකින් පවතින බව පෙනුණු නිසා මම මගේ ස්ථාවරය පැහැදිලි කළෙමි.
‘රාජපක්ෂ පවුල එක්ක කිසිම ප‍්‍රශ්නයක් මටවත් මගෙ ආයතනයටවත් නෑ. ඒත් ආරක්ෂක ලේකම් කියන්නෙ මේ රටේ ජනතාව බදුගෙවන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක්. එහෙම නිලධාරියෙක් ගැන ලියන්න අයිතියක් අපට තියෙනවා. මේ ලිපිවල තියෙන්නෙ පෞද්ගලික කරුණු නෙවෙයි, මේ රටේ මිනිස්සු දැනගත යුතු කාරණා. රාජපක්ෂ පවුලෙ වෙනත් අය ගැනත් අපි ලිව්වා. ඒ ලිව්වෙ කෝන්තර පිරිමහගන්න නෙවෙයි. වෙලා තියෙන අක‍්‍රමිකතා ගැනයි කරුණු සහිතව හෙළිදරව් කළේ.’

‘එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගැන ලියපු මේ ලිපියෙ ඔයගොල්ලා කියනවා මේ මාළිගාවක් ගැන. ‘සෑම රාජපක්ෂවරයකු පසුපසම මාළිගාවක් ඇත’. මේක කොහොමද කියන්නෙ? මේ ලිපියෙ තියෙනවා කතරගම හදපු මාළිගාවක් ආරක්ෂක ලේකම්වරයට අයිතියි කියලා. ඒක ඇත්තද? කොහොමද එහෙම දේවල් කියන්නෙ?’

‘ඒ සිද්ධිය ගැන මුලින්ම අපට තොරතුරු ආවෙ මාස ගානකට කළින්. කතරගම රක්ෂිතයක කුඹුක් ගස් කපන කතාවක් මුලින්ම ආවෙ. ඉන්පස්සෙ පහුගිය දකුණු පළාත් ඡන්දය කිට්ටුව තොරතුරක් ආවා, රාජපක්ෂ කෙනෙකුට අයිති මාළිගාවක් කතරගම පැත්තෙ තියෙනවා කියලා. අපෙ ජර්නලිස්ට් කෙනෙක් ගියා තොරතුරු හොයන්න. ඒත් වැඩේ හරියටම කොහෙද කෙරෙන්නෙ කියලා දැනගන්න බැරි වුණා. පස්සෙ මේ මෑතකදි ඒ ගොඩනැඟිල්ලෙ පින්තූරත් එක්කම ගෝඨාභය නමට වතුර බිලක් අපට ලැබුණෙ.’

‘මේක අයිති කාට කියලද තියෙන්නෙ?’ පොලිස් පරීක්ෂකවරයා හරස් ප‍්‍රශන්යක් අසයි.

‘ඒක තමයි ලොකුම ප‍්‍රශ්නෙ. මේක හදලා තියෙන්නෙ ස්වභාවික රක්ෂිතයකට අයිති ඉඩමක. කතරගම ඩිපෝ පාරෙ තමයි තියෙන්නෙ. හදනකොට වන සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන්වත් ඉදිකිරීම් ගැන ප‍්‍රාදේශීය සභාවෙන්වත් අනුමැතියක් අරගෙන නෑ. වතුර බිලක් විතරක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ නමට.’

‘ඉතින් මේක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙම කියන්න පුළුවන්ද?’ පොලිස් පරීක්ෂකවරයා නැවත හරස් ප‍්‍රශ්නයකින් දමා ගසයි.
‘එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්ද? මේ ලිපිය පළ වෙලා දවස් ගානක් ගියා. ආරක්ෂක ලේකම්තුමාගෙ පැත්තෙන් එහෙම කිසිම ප‍්‍රතිචාරයක් නෑ. අනික මේ ගැන සී.අයි.ඩී. එකෙන් ප‍්‍රශ්න කරනකොටම පැහැදිලියි මොකක්ද කාරණේ කියලා. වෙනත් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් නම් ‘රාජපක්ෂ පවුලට විරුද්ධව ලියන්නෙ ඇයි?’ කියන ප‍්‍රශ්නයක් මතුවෙන්නෙත් නෑනෙ’

‘ඔයා දන්නවද එහෙම වතුර බිලක් නෑ. කොහෙන්ද ඒ බිල හොයාගත්තෙ? කතරගම වෝටර් බෝඩ් ඔෆිස් එකක් නෑ. තියෙන්නෙ මාතර. මාතරින් ද මේක ගත්තෙ?’ පොලිස් පරීක්ෂක විමසා සිටියේය.
‘වතුර බිල ආවෙ කොහොමද කියලා මගෙන් අහන්න එපා. එහෙම බිලක් නැත්නම් ඒක ඔයාලා උසාවියකදි තහවුරු කරන්න. මේ තියෙන්නෙ ජලසම්පත් මණ්ඩලයෙ ලිපිනය. මේ තියෙන්නෙ ජලසැපයුම් පාරිභෝගික අංකයයයි ස්ථානයෙ ලිපිනයයි. මම ඔහු රැගෙන ආ ‘සතිමැද ලංකා’ පුවත්පතේ අප පළ කළ ලිපියේ ඡායා පිටපත අතට ගෙන ඔවුන්ට කරුණු පැහැදිළි කළෙමි. එසේම අනවශ්‍ය ලෙස වාද කිරීමෙන් පලක් නැති නිසා ඔවුන්ට අවශ්‍ය ප‍්‍රශ්න ඉදිරිපත්කරමින් ප‍්‍රකාශය කරන අවස්ථාවේදී මගේ පිළිතුරු සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. ඒ වනවිට ද මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැයක් පමණ ඉකුත්ව ගොස් ඇති බව කාර්යාලයීය ඔරලෝසුව අනුව දැකගතහැකි විය.”
මෙම සංවාදයෙන් මිනිත්තු කීපයකට පසුව ඔවුන් මට දන්වා සිටියේ මා දින 90ක් වුවද සිරභාරයේ තබා ගෙන ප්‍රශ්න කිරීමට හැකි ආකාරයට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලැබී ඇති බවයි.
මෙම කතන්දරය සම්පූර්ණයෙන් කියවන්න, පහත සබැඳියට යන්න.

හතරවෙනි තට්ටුවේදී – 1

leave a reply