Breaking News

ජැක්සන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ උවමනාව

හිල්මි සුපුන් 

ජැක්සන් ඇන්තනි කලාකරුවා පිළිබඳ කතාබහ සමාජය වෙලා ගෙන තියෙන්නේ ඔහුගේ ජීවිතය අපේක්ෂාවෙන් සවි කර තිබෙන උපකරණ මාස අටකට වඩා ඉක්ම ගිය කාලයක් ඔහු වෙනුවෙන් වෙන්කර තැබීම යුක්ති සහගත ද කියන පැනය හේතුවෙනි. රෝහල් ගතව ප්‍රතිකාර ලබන මිනිසකු පිළිබඳව සමාජයට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නොමැති වුවද ජැක්සන් සම්බන්ධ මේ ආරවුල මතුවන්නේ ජැක්සන් ඇන්තනීගේ වර්තමාන සෞඛ්‍යය තත්වය යටතේ පසුවූ රෝගීන් සඳහා අපේ රෝහල් පද්ධතිය මේ තරම්ම ඉවසිලිවන්තව කටයුතු කරන බව ආදර්ශයක් හැටියට මෙතෙක් අප නොදන්නා බැවිනි. ජැක්සන් සම්බන්ධ කතාව සමාජගත ව මෝදුවන විට එම අත්දැකීමට මුහුණ දුන් අය තමන්ගේ ඥාතීන් හිතවතුන් වෙනුවෙන් මරණයට අස්සන් තැබූ තීරණ ගත් බව ගොසිප් ලෙස පසුගිය දිනවල අපට වාර්තාවෙනවා .

පවතින තත්වය තුළ තවදුරටත් ජැක්සන්ව පවත්වාගෙන යෑමට හෝ ඉදිරි දිනක ඔහු පියවි සිහියට පැමිනේවි කියන විශ්වාසය මත හෝ සවි කර තිබෙන උපකරණ ගලවනවද? නැද්ද? කියන තීන්දුව අපට දෙන්න බැහැ. තීන්දුව ගත යුත්තේ වෛද්‍යවරු. මේ වැනි බරපතළ තත්ත්වයේ පසුවන සාමාන්‍ය රෝගියෙක් කොපමණ දින ගණනක් මෙවැනි උපකරණ ආධාරයෙන් තියාගෙන ඉන්නවද? නැද්ද? කියන එක තීරණය කරන සාධක මත ජැක්සන් ගැනත් වෛද්‍යවරු වෘත්තීය සදාචාරය මත තීන්දුවක් ගත යුතුයි. ඒ තීන්දුව ගැනීමේ වගකීම ඔවුන්ට පවරා අප මේ ජැක්සන් හරහා කතා කිරීමට සූදානම් වන්නේ අපේ රටේ මිනිස්සුන්ට නිදහස් සෞඛ්‍ය සේවය මොනතරම් වටිනවද කියන කාරණයයි.

අපේ රටේ දුගී දුප්පත් ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයක් රැකදීම සඳහා ජිවිත පරිත්‍යාග කරපු මිනිස්සු ඉන්නවා. අද පවතින රජයේ රෝහල් පද්ධතිය මේ තරමට වත් ආරක්ෂා වී තිබෙන්නේ ඉහත ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු සහ තවමත් ඒ සටන අත් නොහැර නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් සටන් කරන ගැහැනුන් මිනිසුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිසයි. නෙවිල් ප්‍රනාන්දු සහ රාජපක්ෂලා එකතුව පෞද්ගලික රෝහල්, වෛද්‍ය විද්‍යාල නිර්මාණය කරන්නට පිඹුරුපත් සකසන විට ජැක්සන්ලා හිටියේ මහින්ද බුදු හාමුදුරුවන්ගේ ඥාතීන් කියන වංචනික ව්‍යාපෘති වල නියමුවන් ලෙස. රාජපක්ෂ රනිල්ලා අදටත් විශ්වාස කරන්නේ සියල්ල විකුණා දැමීමෙන් ප්‍රශ්න විසඳිය හැකි බවයි. ජැක්සන් පියවි සිහියෙන් සිටියා නම් සමහරවිට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය ප්‍රමෝට් කරන හොඳම ව්‍යාපෘති සකසන්නා විය හැකියි.

ජැක්සන්ට ICU ඇඳක් වෙන්කර පෞද්ගලික රෝහලක රඳවාගෙන සිටියානම් සමාජය ප්‍රශ්න කරන තත්ත්වය උදා නොවෙන්න තිබුනා .මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට තියෙන අයිතිය සමාජයට ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති වෙනවා. කෙසේ වෙතත් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහුව රජයේ රෝහලක තබාගනිමින් ICU ඇඳන් දීර්ඝ කාලයක් වෙන්කර තැබීම සහ ජීවත් කරවිය හැකි රෝගීන් හදිසි ප්‍රතිකාර පහසුකම් නොමැතිකම නිසා මියයන වටපිටාවක් නිර්මාණය වී තිබීමයි.

ජැක්සන් ගේ බිරිඳට දරුවන්ට ඥාතීන්ට හිතවතුන්ට ඔහු තව එක් දිනක් හෝ ජීවත්වෙන බව දකින්න තිබෙන කැමැත්ත අත්හරින්න කියා අප කාටවත් බලපෑම් කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතිවා වගේම මේ ප්‍රශ්නයේදී අපි සමාජයක් ලෙස මතු කරගත යුතු ඇත්ත කරුණ නම් අපේ රටේ සෞඛ්‍ය ඇද වැටී තිබෙන අභාග්‍යසම්පන්න ඉරණම මොකක්ද කියන එක පහදා ගැනීමයි.

හදිසියේම පැමිණි කොරෝනා වසංගතය තුළත් රැක ගැනීමට ඉඩකඩ තිබුණු ජීවිත අහිමි වුණේ හදිසි ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කරන පහසුකම් අපේ රෝහල් පද්ධතිය තුළ නොමැති වීමයි.ඒ දිනවල ගෝඨාභය මහින්ද ආණ්ඩුව මේ පිළිබඳව පුරාජේරු කතා කීවත් තවමත් සෑම රෝහලක් ම ආවරණය වන පරිදි ICU ඇඳන් වැඩි කරන්න හෝ හදිසි ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් වැඩි දියුණු කරන්න කිසිදු පියවරක් අරගෙන නැහැ.

ජැක්සන්ගේ මැෂින් ගලවන්න කියන තැනට සමාජය පත් වෙන්නේ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන දුර්වලතා හේතුවෙණි.ඊට වගකිව යුත්තේ ජනතාව නෙවෙයි. මෙරට දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කළ විනාශ කළ පාලකයන් ය.

ජැක්සන් ගේ කතාව හරහා අපි මග පාදා ගත යුත්තේ රනිල් රාජපක්ෂලාගේ විකුණගෙන කෑමේ ප්‍රතිපත්තිය ආපස්සට හරවා නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන, වැඩි දියුණු කරන, දිවයින පුරා රෝහල් පද්ධතිය තුළ හදිසි ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කරන සියලු පහසුකම් වලින් සමන්විත ශක්තිමත් රෝහල් පද්ධතියක් නිර්මාණය කර ගැනීම වෙනුවෙනි. පෞද්ගලික රෝහල්වල පහසුකම් තිබුණත් මෙවන් බරපතළ තත්ත්වයක් තුළ ජැක්සන්ලා ට පවා මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බව මේ සිදුවීම හරහා සනාථ කර තිබේ .

රාජ්‍ය මැදිහත්වීම සහිත නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා සටන් කරන බලවේග වලට විවේචන එල්ල කරන කුලී යන්නෝද, විචාරකයෝ ද, මේ පිළිබඳ ව කල්පනා කළ යුතු ය.

leave a reply