Breaking News

ප්‍රජාතන්ත්‍රීය මුලධර්මයන්ට බරපතල පහරක් එල්ල කරනවා යෝජිත ප්‍රති ත්‍රස්ත පනත

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තරය වෙතින් එල්ල කරන දැඩි පීඩාව හමුවේ රජය විසින් සිය යෝජිත ප්‍රති – ත්‍රස්ත පනත (ATA) සම්මත කරලීම සඳහාවන ක්‍රියාදාමය වේගවත් කරලීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පුළුල් ලෙස විවේචනයට ලක්ව ඇත්තේ එය අවභාවිත වීමට ඇති හැකියාවහේතුවෙනි. මෑතකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 14ක් සිරගතව සිටි පුද්ගලයන් තිදෙනෙකු පසුගියදා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද අතර එය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ මෙම පනත අවභාවිතය වූ එක් නිදර්ශනයක් පමණි.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය නියෝජනය කරන්නන් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අපි සහාය දෙන අතරම, එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත කෙටුම්පතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බෙහෙවින් අගතිගාමී ලක්ෂණ කිහිපයක් තිබීම පිළිබඳව අප පසුවන්නේ කනස්සල්ලෙනි. එනම් යෝජිත පනතෙහි අන්තර්ගතය දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සහ අයිතිවාසිකම් කෙරෙහි සෘණාත්මකව බලපානු ඇත.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනතෙහි අගතිගාමී ලක්ෂණ අතර “ත්‍රස්තවාදය” පිළිබඳව සිදු කරන අපැහැදිලි සහ පුළුල් නිර්වචනය තුළ රජයේ දේපළ සොරකම් කිරීම සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද ඇතුලත් කර තිබීම පෙවා දිය හැක.එසේම නීත්‍යානුකුල ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් වන විරෝධතා, ප්‍රකාශනයන් පල කිරීම , රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව සිදු කරන සඳහා ඉල්ලීම්, වැඩවර්ජන සහ වාර්ගික හා ආගමික ස්ථාන සම්බන්ධ ආරවුල් ආදියද එම නිර්වචනයට ඇතුළත් කොට ඇත. එහිදී ඉහත දක්වා ඇති ක්‍රියාවන්ට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ඇති ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ඕනෑම තරාතිරමක පොලිස් හෝ හමුදා හෝ වෙරළාරක්ෂක හෝ නිලධාරීන්ට මෙම නීතියෙන් අවසර ලැබේ. පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු, එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා පාර්ශ්වය විසින් තෝරා ගන්නා ස්ථානයක පැය 24ක් හෝ පවතින තත්ත්වය අනුව ඊටත් වඩා දීර්ඝ කාලයක රඳවා තබා ගත හැකිය. එලෙස අත්අඩංගුවට ගත් තරුණයකුගේ ඉරණම සිතාගත හැකිය. ඉන් පසුව, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් රැඳවුම් නියෝගයක් අත්සන් කළහොත්, අත්අඩංගුවට ගත් අය අධිකරණයට ඉදිරිපත් නොකර මාස තුනක් දක්වා රඳවා තබා ගත හැකිය. මෙම සියලු විධිවිධානයන් පෙන්නුම් කරන්නේ මෙම නීතිය අනිසි ලෙස භාවිතා කිරීමේ දැඩි හැකියාවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සිවිල් සමාජ සාමූහිකය වන අපි යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට දැඩි ලෙස විරුද්ධ වන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නිසාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සහතික කර ඇති නිදහස සහ මානව හිමිකම් අනතුරේ හෙළන නිසාත් ය. මෙම පුළුල් නීතිය මගින් අත්අඩංගුවට ගත හැක්කේ කවුරුන්වද , ඔවුන් අත්අඩංගුවට ගත හැක්කේ කාටද සහ ඔවුන් අත්අඩංගුවට ගන්නේ කුමන අරමුණක් සඳහාද යන්න තීරණය කිරීමට පුළුල් ඉඩක් විවෘතව තබා ඇත. පසුගිය වසරේ පැවති 8% ට අමතරව මේ වසරේ තවත් 4% කින් හැකිලීමට නියමිත රටේ වත්මන් ආර්ථික තත්ත්වය දැරීම මහජනතාවට ඉතා අසීරුය. ජනතාවගේ වරදකින් තොරව රට බංකොලොත් කළේ එය පාලනය කළ පාලකයන් විසිනි. ප්‍රශ්න කිරීමට, හෙළිදරව් කිරීමට සහ රජයේ ක්‍රියාවන්ට විරුද්ධ වීමට ඇති ඉඩකඩ යටපත් කර දමමින් උද්ගතව ඇති ව්‍යසනයට වගකිවයුත්තන් විසින් ආර්ථික ගැටලුන්හි සම්පූර්ණ බර මහජනතාව වෙත පැටවීමට මෙම යෝජිත ප්‍රතිත්‍රස්ත පනත යොදා ගනු ඇතැයි අපි බිය වෙමු. මෙමගින් ප්‍රජාතන්ත්‍රවාදී හිඟය තවදුරටත් තීව්‍ර කරමින් වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය අතර භීතියේ වටපිටාවක් නිර්මාණය කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ මූලික උල්ලංඝනය කිරීම සිදු කරයි.

එබැවින්, රජය විසින් යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙන්ම මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්බන්ධ ජාත්‍යන්තර බැඳීම් ආරක්ෂා කිරීම සඳහා වන වගකීමට ගරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සමාජ එකමුතුව

leave a reply