Breaking News

උවිදු විජේවීරට බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ව හමුවෙවිද ?

අරුණි සමරකෝන්

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය , අතීතය සිහි කැඳවමින් අනාගතය ගොඩ නැගීම වෙනුවෙන් වන ක්‍රියාවලියක් ලෙස මම නිර්වචනය කරමි. 2009 දී විමුක්ති කොටි සංවිධානය, හමුදා බලයෙන් පරාජය කර, ස්ථාපිත කල ලිබරල් සාමය සමඟ වාර්ගිකවාදින් පෙළට සිට ගනිමින් , ආණ්ඩුකාරණය පවත්වා ගෙන යාම සහ ඒ හේතුවෙන් නිර්මාණය වූ විවිධ තලයේ අර්බුධයන් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ වෙනම රාජ්‍යක් තුළ දෙමළ (ස්ත්‍රී / පුරුෂ ) ආරක්ෂාව සහ අනන්‍යතාව තහවුරු කරනු වෙනුවට , පවතින රාජ්‍ය ක්‍රමය තුළම යුක්තිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ වෙත යොමු වීම යන
ගෝලීය දේශපාලනයේ යෝජනාව මේ වන විට ගැටෙනුයේ , ලිබරල් සාමය ක්‍රියාවට නඟන වාර්ගිකවාදී දේශීය දේශපාලන සමඟය.

එවැනි පරිසරයක 1971 දී, ශ්‍රී ලංකාවේ සිවිලි ජනයාගේ ප්‍රථම සන්නද්ධ නැගීසිටීමේ අඩසිය වසරක් සැමරීම යෙදී තිබෙන අතර එම සන්නද්ධ අරගලයේ නායකත්වය ගත් රෝහණ විජේවීර ගේ ආදරණිය පුත්‍රයන්, උවිදු විජේවීර තමාට පෙර රට යන (ඔහුගේ සාමාජ මාධ්‍ය පිටුවේ සඳහන් ලෙස ) තේමාව යටතේ හැරවුමක ඇරඹුමක් වෙත ප්‍රවේශ වී ඇත.

මෙය දුටු වනම මට නැගුනේ, පියානොගෙන් පුතානෝ ට හිමි, වංශික දේශපාලනයම (Dynastic Politics ) නැවත වේ නම් , එහි ඇරඹුමක් වේද ? අධිපති දේශපාලන ධාරාවේ සිටින රාජපක්ෂවරු මෙන්ම ප්‍රේමදාස වරුද මෙම දේශපාලනයම සිදු කරනවිට, උවිඳු ඇරඹුමක් සිදු නොකර ,ඒ ධාරාවම ප්‍රති නිෂ්පාදනය කරමින් සිටින බව මගේ දේශපාලනික කියවීම වේ . එනම් පිය/ මව් උරුමය නොමැති ව තරුණ/ තරුණියක් වෙනුවෙන්වන දේශපාලන අවකාශයක් ගොඩ නොනැගෙන අතර එය නැවත ප්‍රධාන ධාරවේදී මුණ ගැසෙන මැදමුලන / මැදකොළඹ නින්දගමක් පමණක් වනු ඇත. එය රෝහණ විජේවීරයන් ගේ දේශපාලන අභිලාෂයන් විකෘති කර දැක්වීමකි. එනම් තම ප්‍රකෘති දේශපාලන අභිලාශ තුල වංශික දේශපාලනය කිරීමට විජේවීර කටයුතු නොකිරීම හේතුවෙනි .

අනෙක් කරුණ නම්, අධිපති දේශපාලන ධාරාවේදී මෙන්ම , උවිඳු , භුමිය සමඟ රමාණයේ යෙදේ . හෙතෙම භුමිය , මිනිස් ජීවිතය ඉක්මවා යන අවකාශයක් ලෙස නම් කිරීම මගින් , එම භුමියේ ජනයා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස නැවත නැවත විනාශ නොකරන බවට සුරක්ෂිත කිරීම අවිනිශ්චිතය.

මන්දයත් දශකයකට ප්‍රථම ඉතිහාසයේ දී දෙමාපියන් නොමැති ව, පිහිටක් විරහිතව , සිටි කුඩා දරුවන් ඇතුළු අවි නොගත් ජනතාවක් මුල්ලිවෙල්ල වයික්කාල් වෙරළ තිරයේ දී මරා දැමුවේ භුමියේ අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. එවැනි යුගයක මතකයන් වෙනුවෙන් අදටත් යුක්තිය ඉල්ලා සිටින පසු බිමක , භූමියක් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අප පෙළගැසිය යුතුද ?

එසේම , සරලව ඇසුවොත් , උවිඳු විජේවීර ට හිමි වූ ජිවත් වීමේ අයිතිය බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ට අහිමි වුයේ කුමන පදනමකින්ද? එය වාර්ගික තීරණයක් නොවේද? උවිඳු ගේ ජීවත්වීමේ අයිතිය සහතික වීම මෙන්ම බාලචන්ද්‍රන් ට ද ජිවත් වීමට ඇති අයිතිය සහ පසුකාලීනව අවැසිනම් දේශපාලනයට පිවිසීමට ද හැකියාව තිබිය යුතු නොවේද? එය නොවේද 71 දෙවන පරම්පරාවේ දේශපාලනය වටහා ගැනීම විය යුත්තේ ?

තවදුරටත් 71 පරම්පාරව වෙනුවෙන් අධිකරණ ක්‍රියාවලියක් වූ අතර ඒ තුල වැරදිකරුවන් කිරීම, පුනරුත්ථාපනය සහ සමාජය වෙත නැවත සමොධායනය කිරීම එදා සිදු වූ පසුබිමක දැනට අත්අඩංගුවේ රදවා සිටින විමුක්ති කොටි සාමාජික/ සාමාජිකාවන් හෝ එම ව්‍යාපාරයේ සැකරුවන් / සැකකාරියන් ද අධිකරණයක් වෙත ඉදිරිපත් කර , නීතිමය තින්දුවන් වෙත කාර්යක්ෂමව පැමිණිය යුතු නොවේද ?

පමණක් නොව , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එය සමඟ බැදෙන අත්අඩංගුවේ රඳවා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් රාජ්‍ය / ආණ්ඩුව වෙත පවාරාගනු ලබන ඒකාධිකාරී බලයට එදිරිව 71 න් පසු පරම්පාරව එකමුතු විය යුතු නොවේද ? Human Rights Watch සංවිධානයේ දකුණු ආසියාතික කලාපයේ නියෝජිතවරිය වන මිනාක්ෂි ගංගුලි (shorturl.at/hABIP) පවසන ආකාරයට විනිශයක් නොමැතිව රඳවා තබාගැනීමේ හැකියාවෙන් යුත් නීති හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් (ස්ත්‍රී / පුරුෂ : විශේෂයෙන්ම සුළුජාතික ප්‍රජාව )වෙත එල්ලවී තිබෙන තර්ජනයට විරුද්ධව කටයුතු කිරීමට 71 දෙවන පෙළ ලෙස අප කටයුතු කලයුතුය. සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් , ඉස්ලාම් අධ්‍යාපන ආයතන වසා දැමීම වැනි ජාතිවාදී අශ්ශීල බලාපොරොතු දෙවන පරම්පාරව ලෙස , මහජන අවකාශයක් තුලදී පහත් කර සැලකිය හැකි පරම්පරාවක් බවට පත්විය හැකිද ?

හිගුරක්ගොඩ පමණක් නොව විවිධ ප්‍රදේශයන් හි ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් පිඩාවට පත්වූ කාන්තාවන් ප්‍රමුක කණ්ඩායම් මේ මොහොතේ විදියේ අරගලයකට එළඹ තිබේ . අලියා/ කෙනර සමඟ හවුලේ තවදුරටත් වාසය කල නොහැකි හෙයින් සතා වෙත බිමක් වෙන්කර දෙන ලෙසට ඉල්ලා සිටිමින් ගොවින් / ගෙවිලියන් අරගල වලය. මෙම අරගල රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ආශ්වාදය පෙන්නුවම් කිරීමක් ලෙසට සහ එහිදී එම අරගල භුමියන්ගේ ජනයා සැපසේ නිදා සිටින බවට , බලය හිමි පිඩකයන් ප්‍රකාශ කරනවිට , එයට ඔල්වරසන් දෙන පිඩිතයන් සිටින දේශපාලන වටපිටාවේ , උවිදු ගේ නවහැරවුම සිට ගන්නේ කොතනද ?

පසුගිය වසර තුන තුල මිනිසුන් 200 ක් පමණ ක්ෂුද්‍ර මුල්‍ය ණය වෙත තම ජීවිතය බිලි දී ඇත (shorturl.at/glzFI). නව ජානාධිපති අපේක්ෂක ලෙස වර්තමාන ජනාධිපති, ගෝටාබය රාජපක්ෂ මේ ප්‍රශ්නය නිරාකරණය වෙනුවෙන් පොරොන්දු දීම් පැවතිය ද , අදටත් , මෙම ජනයා , මාවතේ පැල් බැඳ විරෝධතාවය පළකරමින්, තමන්ගේ ණයෙන් මිදීමේ අයිතිය වෙන්වුවෙන් සටන් කරයි. ඉහළ පොලි වාරික යටතේ මෙම ණය ලබාගත් ජනයා ට නැවත පියවීම ගැටළු කාරීවන්නේ , ප්‍රධාන උපයන මාර්ග බිඳ වැටීම් , වගා හානි හෝ වෙනත් හේතු මත වන අතර ,ගණනය කිරීම්වලට අනුව මොවුන් ලබාගත් ණය ප්‍රමාණය ද ඉක්මවා යමින් පොලි මුදල් ගෙවා තිබේ. මේ ලේ පොලී ගෙවීම වෙනුවෙන් 71 දෙවන පෙලට කුමන මතවාදයක් වේද ?

පිඩකයා විසින් පිඩිතගේ වෙත කරන පීඩනය පිළිගන්නා සාධුකාර දේශපාලනය වෙනස් කිරීම මාධ්‍ය සංදර්ශන මගින් පමණ සිදු කිරීමට උවිඳු කල්පානා කරන්නේ නම්, මගේ යෝජනාව ප්‍රධාන ධාරාවේ දේශපාලන එය මේ මොහොතේ ඉතාම හොදින් සිදු කරමින් සිටින බවය. එනිසා උත්සාහ කළ යුත්තේ විජේවීරගේ පුතනෝ ලෙස සිංහල සමාජය පමණක් හමු වීමද නොමැතිනම් උවිඳු විජේවීර තරුණයකු ලෙස බාලචන්ද්‍රන් ප්‍රබාකරන්ට ද ජිවත් වීමට ඉඩ ඇති සමාජයක දේශපාලනය කිරීම ද යන්න ඔබේ වරණය වේ.

අරුණි සමරකෝන්

leave a reply