Breaking News

හෝම්ස් ගේ දිනපොත

චින්තක සමන් හේරත්

බේකර් වීදියේ පිහිටි
හඩ්සන් මැතිනිය ගේ නිවස
ඔබ දන්නවා ඇති
වොට්සන් කියා ඇති ලෙස ම
නවාතැන් කරුවෙකි
මාද එහි කෙටි කලක

මෙම කුඩා කුටියේ සිට
සතර දිග් භාගයේ පැටලිලි
ඔහු ලිහා තිබුණත් එකල
ලිහා ගනු බැරි පැටලිලි
තිබුණා ද ඔහු තුලම

සැඳෑ සමයේ ලියු
අඳුරු පැහැ දින පොතක්
අල්මාරි පතුලකින්
හමු වූවා මට දිනක්

වැහිබීරුම නැගුණු දිනවල
මෙ කුටිය වෙලාගත් තනිකම
වොට්සන් පවා ටික ටික
මගහැරී ගිය අන්දම
ප්‍රකට තොරතුරු වල
අප්‍රකට තැන් පිළිබඳ
ඔහු ලියා තිබුණා
දිනපොතේ තැන තැන

සිව් රහස් සලකුණු ගැන
ලෝහිත පරීක්ෂණ ගැන
වදනකුදු හෝ දොඩනට
ඉඳහිටකවත් කෙනෙකු
නාවේය පඩිපෙළ නැග

මේ අරුම මිනිසා
සිටින්නේ දැන් මා තුළ
සොයා ගත යුතුවේ

මාව අත් හළ උන්ගෙන්
වොට්සන් කවුද ඒ තුළ ?
මට නවාතැන් පැනවූ
හඩ්සන් කවුද ඒ තුළ ?

චින්තක සමන් හේරත්

leave a reply