Breaking News

පශ්චාත්-IMF ශ්‍රී ලංකා දේශපාලන ආර්ථිකය හෙවත් ජනතාවට ඇති අනතුරු (1 වන කොටස)

කල්ප රාජපක්ෂ

IMF සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් එකගතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කතානායකවරයා අද ප්‍රකාශයට පත් කරන ලදී. එයට හේතුව වශයෙන් ඔහු ප්‍රකාශ කළේ, මහබංකූ අධිපතිවරයා වන නන්දලාල් වීරසිංහ පැවසු පරිදී, එම එකගතාවල ඇති බදු සම්බන්ධයෙන් සංවේදී කරුණු (it contains some sensitive matters with regard to taxes) නිසා එම එකගතා වල අඩංගු කරුණු කිසිවක් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ නොහැකි බවයි.

අපට කීමට බොහෝ දේවල් ඇත. නමුත් ඒ සියල්ලට කලින් අපට සමස්ත ජනතාවට සහ පීඩිත පන්තියට අනතුරු ඇඟවීමට කැමැත්තෙමු. ඒ මක්නිසාද?
IMF සහ රජය අතර ඇතිකරගත් එකගතා යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකය අන්කවරදාටත් වඩා හකුළුවන සුළු ක්‍රියාවලියකි.
ආර්ථිකයක් හැකිලීම යනු කුමක්ද? සහ එහි අනතුර කුමක්ද?

  1. ආර්ථිකයක් හැකිලිමේදී IMF සම්ප්‍රදායිකව නිර්දේශ කරන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය හැකිලවීමයි. එනම් රජයේ වියදම් කපාහරිමින් ආදායම් ඉහල දමා ගත හැකි බදු ආදායම වැඩි කර ගැනීමයි. අප මේ වන විටත් දන්නා පරිදි රනිල් ගේ අතුරු අයවැය බදු සම්බන්ධයෙන් ඉතා වැදගත් සංඥාවක් අපට දක්වයි. එනම් ආදායම් සහ ධනය මත අයකරන සෘජු බදු වෙනුවට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව මත වක්‍ර බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් මේ එකගතා හරහා ක්‍රියාවට දැමීමට නියමිතය. එහි බලපෑම අනිවාර්ය වශයෙන් මේ වනවිටත් තමන්ගේ සුළු ඉතුරුම් මත ජීවත්වෙන, එසේත් නැතිනම් රත්රන් හෝ වෙනත් වත්කමක් උගසට තබා ජීවත්වෙන, එසේත් නැතිනම් තමන්ගේ අනාගතය උගසට තබමින් ණය මත ජීවත්වෙන ජනතාවට එල්ල කරන අතුල් පහරකි. එහි කම්පනය දරා ගැනීමට ලංකා සමාජයට නොහැක.

  2. එමෙන්ම භාණ්ඩ මත බදු වැඩි කිරීම යනු ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයන කරමින් තමන්ගේ ලාභය ඉහල දමා ගන්නා මහා පරිමාණ වෙළඳ පන්තියේ ආදායම සහ බලය තවත් ඉහළ යාම ය. ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් දෙසට ගමන් කිරීමේ හැකියාව මින් තවත් දුෂ්කර වනවාට අමතරව ඩොලර් මත අපේ රඳා පැවැත්ම සහ ඒ කම්පන වලට තව දුරටත් නතුවීම මෙහි අනිත් ප්‍රතිඵලයයි. එමෙන්ම ශ්‍රී ලංකාව කාලාන්තරයක් මුහුණදෙන වෙළෙඳ ශේෂයේ හිඟය පිළිබඳව තිරසාර ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීමට ඉඩක් නොලැබෙනු ඇත. සීනි බදු වංචාව වැනි වංචා තවත් කිරීම නිදහස සහ ආරක්ෂා මහා පරිමාණ වෙළෙන්දන්ට ලැබෙනු ඇත්තේ දේශීය සැපයුම් ජාලය තවත් හැකිලීමට නියමිත බැවිනි.

  3. ෆිස්කල් ප්‍රතිපත්තිය හැකිලවීම යනු රජය විසින් ලබාදෙන සහනාධාර, සුබසාධන වියදම් සහ රාජ්‍ය ආයෝජන කපා හැරීමකි. සුභසාධනය ලබාගන්නා ජනතාව සමාජ සතුරන් වශයෙන් සැලකීම එසේත් නැත්නම් කම්මැලියන් සහ නාස්ති කාරයන් වශයෙන් සැලකීම මේ නිර්දය ප්‍රතිපත්තියට සමගාමීව සමාජ ගත කරමින් යන මතවාදයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රීය බුද්ධිමතුන් විසින් නිර්දේශ කරන්නේ මින් ඉදිරියට සුබසාධන යනු නිශ්චිත ලෙස ඉලක්ක කළ එකක් (Targeted Welfare) විය යුතු බවයි. දුප්පත්කම නඩත්තු කළ යුතු බව අප කෙදිනකවත් කියන්නේ නැත. දුප්පත්කම නඩත්තු කිරීම අවසන් කළ යුතු නම් අවසන් කළ යුතු පළමු දෙය මේ ආර්ථික ක්‍රමයයි. වසර 40 කට වඩා වැඩි කාලයක් ලිබරල් වෙළඳපල ක්‍රමය තුළ දුප්පත්කම, අසමානතාව සහ කොළඹ කේන්ද්‍රීය ආර්ථික වෘද්ධිය වෙනස් කිරීමට මේ ක්‍රමය සපුරා අසමත් වී ඇත. සහනාධාර යනු මේ අසමත් ආර්ථික ක්‍රියාවලියේ දේශපාලන නිදහසට කාරණ යයි. එය ප්‍රතිනිෂ්පාදනය වන්නේ දුප්පත් මිනිසුන්ගේ දැවෙන අවශ්‍යතා වලින් නොව ධනවතුන්ගේ සහ දේශපලකයන්ගේ කෑදරකම සහ දේශපාලනය නිසාවෙනි.

  4. එනිසා අනිවාර්ය වශයෙන් සමාජයේ පහළම තීරුවේ මෙන්ම මධ්‍යම පන්තියේ අවශ්‍යතා වල මිල වැඩි වීමට නියමිතය. එය නැවත වටයකින් ජීවිතයේ ගුණාත්මක තත්ත්වය පහල වැටීමටත්, ඉතුරුම් බාල වැටීමටත් ණයගැතිභාවය ඉහළ යාමටත්, ශ්‍රම ඵලදායිතාව පහළ යාමටත් බලපානවා ඇත. කුසගින්නේ වැඩකළ නොහැකි බව, අධ්‍යාපනය ලැබිය නොහැකි බව අපි පාලකයන්ට මතක් කිරීමට කැමැත්තෙමු.

  5. ආර්ථිකය හැකිලිමත් සමග ඔබේ ඉතුරුම් වලට සිදු වන්නේ කුමක්ද? ඉතුරුම් වලට වටිනාකම මෙන්ම ඉතුරුම් ආපසු ගැනීමේදී කොන්දේසි පැනවීමට ඉඩ ඇත්තේ බැංකු ක්‍රමයේ ද්‍රවශීලතාව, එනම් බැංකු වලට ණය, පොළී ගෙවීම් සහ අනෙකුත් ආයෝජන ප්‍රතිලාභ නිසි කලට පියවීමේ මුදල්මය හැකියාව පවත්වා ගැනීම ඉලක්ක කරගෙනය. එමෙන්ම පොළී අනුපාත කෙසේ ඉහළ දැමුවත් වැඩිවීමට නියමිත උද්ධමනයේ මට්ටමත් සමග කිසිදු ආකාරයකින් ඉතුරුම් වලින් ජීවත්වීමේ හැකියාව හෝ පොළී වලින් ජීවත්වීමේ හැකියාව දුෂ්කර වනු ඇත. අනෙක් අතින් ආහාර උද්ධමනය 80% වන රටක මුදල් ඉතුරු කරන්න හිතන්නේ කවරෙක්ද?

තමන්ගේ ඉතුරුම් වල වටිනාකම ගැන සිතන ඔබට මට කීමට ඇත්තේ IMF යෝජනා ආර්ජන්ටිනාවේ ඇතිකළ සමාජ වියවුල දෙස පරිස්සමෙන් බලන ලෙසයි. ධනවතුන්ට තමන්ගේ මුදල් ඩොලර් ස්වරුපයෙන් ආර්ජන්ටිනාවෙන් පිටතට ගෙනයාමට පොලිස් ආරක්ෂාව ලබා දෙන අතර තමන්ගේ කුඩා ඉතුරුම් තමන් අතට ගැනීමට සාමාන්‍ය ආර්ජන්ටිනුවාට ATM යන්ත්‍ර කඩා බිඳ දැමීමට සිදු විය. ඒ ආර්ජන්ටිනා මහබැංකුව විසින් මුල්‍ය ක්‍රමයේ ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම සදහා ඉතුරුම් ගිණුම් වලින් මුදල් ගැනීම තහනම් කිරීම හේතුවෙන්. ඒ තහනම විසින් ආර්ජන්ටිනාව පුරා හමාගිය මූලය කුණාටුව කොළබ කේන්ද්‍රීය බුද්ධිමතුන් සහ වන්දිභට්ටයන් ඔබට නොකියන සමාජ වියවුලක් ආර්ජන්ටිනාව තුල ඇති කිරීමට සමත්විය. කුඩා පරිමාණ පමණක් නොව මහාපරිමාණ නිෂ්පාදන ආයතන සම්පුර්ණයෙන් බංකොලොත් වූ අතර ඒවා ගලවා ගැනීමට කිසිදු බැංකුවකට හෝ රජයට නොහැකි විය. දරිද්‍රතාව ඉතා වේගයෙන් ඉහල ගිය අතර ශ්‍රමිකයන් බොහොමයක් රැකියා වලින් ඉවත් කෙරින.
මේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඇති නොවෙතැයි මහබැංකු අධිපතිට සහ ඔහුගේ ආර්ථික කේවට්ටයන්ට මහජනතාවට සහතික විය හැකිද?
අපි IMF එකෙන් බිල්ලෙක් මවනවා යැයි බොහෝ දෙනා අපට චෝදනා කරන ලදී. දැන් ඔබට ඒ බිල්ලා සැබැවින්ම මුහුණට මුහුණ හමුවීමට නියමිතව තිබේ!

කථානායකතුමා, පාලකයිනි, වහල් බුද්ධිමතුනි, ජනතාවට පිළිතුරු දෙනු!

leave a reply