Breaking News

අත්තනෝමතික ක්ෂණික ප්‍රතිපත්ති නිසා නුදුරු අනාගතයේදීම ආහාර හිගයක්

ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත යුගයක් කරා පිය නගමින් තිබූ අපගේ මාතෘ භූමිය අවිද්‍යාත්මක වැරදි තීරණ නිසාවෙන් මේ වනවිට අර්බුද රැසකට මුහුණ පා ඇත. ආහාර සුරක්ෂිතතාවයට එල්ල වී ඇති දැඩි බලපෑම් මගින් එය මේ වන විටත් තහවුරු වෙමින් පවතී.

ක්ෂණික කාබනික වගාවට මෙරට කෘෂිකර්මාන්තය ඇද දැමීම සඳහා සිදුකළ රසායනික පොහොර තහනමත් සමඟ ඇති වූ අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලෙස කාබනික පොහොර ආනයනයට රජය මගින් පියවර ගැනුණි. එයට අදාලව චීනයේ Qingdao Seawin Biotech Group සමාගම මගින් මෙරටට එවන ලද ඝන කාබනික පොහොර සාම්පල පරීක්ෂාවෙන් දෙවරක්ම අසමත් විය. ජාතික ශාක නිරෝධායන සේවයේ පරීක්ෂණ වාර්තා වලට අනුව ව්‍යාධිජනක බැක්ටීරීයා අඩංගු වීම හේතුවෙන් ආනයන බලපත්‍ර නිකුත් නොකළ, මූලික පරීක්ෂණ වලින්ද අසමත් වූ Qingdao Seawin Biotech Group සමාගමේ ඝන කාබනික පොහොර මෙරටට ගෙන්වීමට තීරණය කිරීම 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත උල්ලංඝනය කිරීමකි. 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත පමණක් නොව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 1704:2021 ප්‍රමිතියට අනුවද ඝන කාබනික පොහොර ආනයනය කල හැක්කේ ජීවාණුහරිත ආකාරයෙන් පමණක් බවට විධිවිධාන යොදා තිබෙනුයේ එම ද්‍රව්‍ය සමඟ රටට ඇතුල්විය හැකි මානව, සත්ත්ව හා ශාක රෝගකාරක ජීවීන් මෙන්ම දේශීය සරුපසේ සාරවත්භාවයට හේතුවන ක්ෂුද්‍ර ජීවින්ගේ පැවැත්මටද එල්ලවිය හැකි තර්ජනය හරහා සිදුවිය හැකි ඉතා පුළුල් පාරිසරික ව්‍යසනයන් වලක්වා ගැනීම පිණිසයි.

ශ්‍රී ලංකාවේ පැවති වසර 30ක ත්‍රස්තවාදී යුද්ධයෙන් සිදුවු හානියටත් වඩා බරපතල, නැවත කිසිදා නිවැරදි කරගත නොහැකි විනාශයක් මෙම අහිතකර ව්‍යාධිජනක බැක්ටීරියා අඩංගු ඝන කාබනික පොහොර මෙරට වගා බිම් සඳහා ‌යෙදීමෙන් සිදු වනු ඇත.

Qingdao Seawin Biotech Group සමාගම තුන්වන පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් පළමු සහ දෙවන පරීක්ෂණ සිදුකළ ජාතික ශාක නිරෝධායන සේවයේ ඒ සම්බන්ධව ක්‍රියා කළ නිලධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව දන්වා එවා තිබුණි. මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම රාජකාරිය නිවැරදි ලෙස ඉටු කරන නිලධාරීන්ට එරෙහි බලවේග කෘෂිකර්ම වෘත්තිකයන් ලෙස අපි දැඩිව හෙලා දකිමු.

අත්තනෝමතික ක්ෂණික ප්‍රතිපත්ති නිසා නුදුරු අනාගතයේදීම ආහාර සුරක්ෂිතතාව මෙන්ම සුරක්ෂිත ආහාරද සිහිනයක් වීමට එරෙහිව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලෙස අපි එක්ව ක්‍රියා කරමු.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් හරිත කෘෂි කර්මාන්තය යථාර්තයක් කල හැක්කේ කෘෂි විද්‍යාඥයින් ඇතුලු සමස්ථ කෘෂි තාක්ෂණ නිළධාරින් විසින් විධිමත් හා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද වලට අනුව රටේ කෘෂිකර්මාන්තය මෙහෙයවනු ලැබීමේ ප්‍රතිඵල ලෙස වැඩිදියුණු කරන ලද බෝග ප්‍රභේද, උචිත වගා ක්‍රම, පොහොර නිර්දේශ, ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය (IPNS), ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය (IPM) හා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හරහා පමණක් බවද බලධාරින් අවබෝධ කරගත යුතුය.

එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් එකමුතුව මගින් පහත සඳහන් කරුණු අරමුණු කරගෙන ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදුවන බව අවධාරණය කරන අතර මෙම අනවශ්‍ය අත පෙවීම් සහ නීත්‍යානුකූලව රාජකාරි ඉටුකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව එන බලපෑම් වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වනලෙස රජයට බලකර සිටිමු.

  1. නීති විරෝධී ලෙස රට තුලට ඇතුළු කිරීමට උත්සහ දරන චීන කාබනික ද්‍රව්‍ය රැගත් නැව ආපසු හරවා යැවීම.

  2. ශාක ආරක්ෂක පනත උල්ලංඝනය කරමින් රට තුළට ශාක හෝ සත්ත්ව හෝ එම සම්භවයක් සහිත ද්‍රව්‍ය ඇතුළු කිරීම නතර කිරීමට රජයේ බලධාරීන්ට බල කිරීම.

  3. කාබනික වගා වැඩසටහන සහ ඒ සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛ කෘෂි විශේෂඥයින් සහ කෘෂි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සමාලෝචනය කර නැවත සලකා බලන ලෙස රජයට බල කිරීම.

  4. කෘෂිකර්ම තාක්ෂණය පිළිබඳ දැනුමක් රහිත පුද්ගලයින් කෘෂිකර්මයට අදාල ප්‍රතිපත්තිමය තීරණ සඳහා මැදිහත්වීමට විරුද්ධ වීම.

  5. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකරන විශිෂ්ට සේවය නොසලකා, කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හෑල්ලුවට ලක් කරමින් විවිධ පාර්ශවයන් සිදුකරන පිළිකුල් සහගත චෝදනා වලට විරුද්ධ වීම.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ විද්‍යාඥයින්ගේ සංගමය
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ නිලධාරීන්ගේ දීප ව්‍යාප්ත සංගමය
සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශක වරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය
කෘෂිකර්ම පර්යේෂණ සහකාර සහ පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය
රජයේ විද්‍යා හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරී සංගමය
වැඩසටහන් සහකාර (කෘෂිකර්ම) සංගමය
කෘෂිකර්ම තාක්ෂණික සහායක සංගමය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරීන්ගේ සංගමය

leave a reply