(දිලිප් කුමාර ලියනගේ කවියාගේ “ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමි ය” කාව්‍ය සංග්‍රහය පිළිබඳ කියවීමක්.)
නූතන ආඛ්‍යාන කාව්‍ය,කවිකතා ලෙස හැඳින්වීම ශාස්ත්‍ර විරෝධී ය.කිසියම් ආඛ්‍යානයක් පැවසූ පමණින් එය නූතන කාව්‍යාඛ්‍යානයක් වන්නේ නැත.නූතන කාව්‍යාඛ්‍යානයක දී සිදු වන්නේ හුදෙක් සිද්ධි හා අවස්ථා ආඛ්‍යාන කාල අවකාශ රාමුවේ තබා නිරූපණය කිරීමක් නො වේ.එය මනුෂ්‍යත්වය,ජීවිතය හා සමාජය පිළිබඳ ගැඹුරු දාර්ශනික මැදිහත් වීමක් සිදු කරන සැබෑ නූතන ශානරයකි.
පැරණි කවිකතා (මහාකාව්‍ය,ජාතක කතා කාව්‍ය,ඛණ්ඩ කාව්‍ය) නූතන ආඛ්‍යාන කාව්‍යයෙන් වෙනස් වෙන ප්‍රධානතම සාධකය වන්නේ එය යි.
මේ ප්‍රවේශය තබනුයේ දිලිප් කුමාර ලියනගේ කවියාගේ ” ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමි ය ” ආඛ්‍යාන කාව්‍යය පිළිබඳ අපගේ කියවීම සමීකරණය කර ගැනීම සඳහා ය.එහි දී මූලිකව ම දිස් වන කාරණය වනුයේ දිලිප් පැරණි කවිකතාකරුවෙකු සේ තෝරා ගන්නේ පුරාකතාවක්(බන්ධනමොක්ඛ ජාතකය) වන බව යි.
එහෙත් දිලිප් එහිලා සිය නූතනත්වයේ සලකුණ තබනුයේ එම පුරා කතාව ආඛ්‍යානය තුළ ස්ථානගත කරන කාල සාධකය මත ය.ජාතක කතාවේ වර්තමාන කතාව ඉවත් කරන දිලිප්, ඒ වෙනුවට පශ්චාත් නන්දිකඩාල් මොහොත වර්තමාන කතාව ලෙස ගෙන අතීත කතාවට ඇතුළු වෙයි.
“යුද්ධයෙන් දිනූ දකුණට
විවේකය ලැබුණෙ ය
කියවන්න ජාතක
අටුවා ටීකා ටිප්පණි ගැටපද
වෙඩි හඬ
රතිඤ්ඤා හඬින් යටපත් කළ
නියම්ගමක සිට
මම කියවමි
බන්ධනමොක්ඛ ජාතකේ
ඉකුත්වත
අතීත වත්මන් සමෝධාන කතා
සිත තුළ පටලවාගෙන
හදවතින් ලිහාගෙන”
– පිටු. 23
දකුණේ යුද ජයග්‍රහණයෙන් අනතුරුව දකුණ වේගයෙන් ජාතික උපමාකතා මාලාවකින් ප්‍රබන්ධගත වූ සැටි දැන් අපට සිහිපත් වේ.මෙරට මහා සමාජය රණකාමී සාහිත්‍ය – කලාවකින් ප්‍රබෝධයට පත් කිරීමට මෙරට ඇතැම් කලාකරුවන් පවා ඉදිරිපත් වූ සැටි අපි අත්වින්දෙමු.
එහෙත් දිලිප් අපට සම්මුඛ කරන්නේ ඒ සුලබ රණකාමී පැරණි සාහිත්‍ය නො වේ.බන්ධනමොක්ඛ ජාතකය ද යුද්ධය මතින් දිගහැරෙන කතා වස්තුවක් වුව එහි ඇතුළත්ව ඇත්තේ සිංහල බෞද්ධ යුදෝන්මාදී මනස ඉල්ලා සිටින කතා ප්‍රවෘත්තියක් නො වේ.කියවන්නියට සැලකිලිමත් වීමට සිදු වන්නේ මතුපිටින් විද්‍යමාන වන යුද්ධය සම්බන්ධයෙන් නොව කතා නායකයා මුහුණ දී සිටින අභ්‍යන්තර යුද්ධය සම්බන්ධයෙනි.එනම් යුද්ධය අවසන් වන තුරු ගැහැනියක් දෙස රාගී දෙනෙතින් නො බලා සිටීමට බිසවට පොරොන්දු වී සිටින රජු මුහුණ දී සිටින අභ්‍යන්තර සංග්‍රාමය පිළිබඳව ය.
යුද්ධය යනු ම මර්දිත ආශාවෙන් යුතු පිරිමින් රැසකගේ සහභාගීත්වයෙන් සිදු වන සම්බන්ධතාවයක ස්වභාවයකි.එමඟින් ජනිත වන බරපතළ ශිෂ්ටාචාරමය අර්බුද පිළිබඳ අවධානය යොමු කිරීම, නූතන කවියා ඉදිරියේ වන තේමාත්මක අභියෝගයකි.එහෙත් දිලිප් එම අභියෝගය මඟහැර යයි.
ඒ වෙනුවට පාඨකයාට සම්මුඛ වන්නේ විනයවත් පිරිමින් සහභාගී වන යුද්ධයකි.ඒ වනාහි ජාතක කතාවේ අපට හමු වූ යුද්ධය ම ය.රජු, තමන් බිසවට වූ පොරොන්දුව ඉටු කරමින් පතිනිදම් රකියි;ගව්වෙන් ගව්ව බිසවට පණිවිඩ එවයි.බිසව ඒ පණිවිඩකරුවන් පවා දූෂණය කරයි.ගැහැනුන්ගේ දුෂ්ටකම් ගැන කියවෙන අතීත වස්තූන්ගෙන් පරිච්ඡේද පිරෙයි.
ඡද්දන්ත,අසාතමත්ත,අන්ධභූත,තක්ක,මුදුලක්ඛණ,කුස,අලම්බුසා,නලිනී බඳු ජාතක ඒ සඳහා භාවිත කරන කවියා ගැහැනුන්ගේ දුෂ්ටකම් ගැහැනුකමේ ම ලක්ෂණයක් ලෙස දකියි.ගැහැනු යනු පිරිමි නිවනේ බාධව ලෙස දකින අතීත ජාතක කතාකරුවාගේ දෘෂ්ටියෙන් මිදීමට සමස්තයක් ලෙස දිලිප් අසමත් වේ.
“ඔව් ඔවුන් නිවනට යන
පිරිමින්ගෙ ගමන් මඟ
වැතිරී පෙරළී
තප්පරෙන් තප්පරේ
කල් දැමුවා ද විය හැකි
සඟවා රති සිත්
බලා නෙත්සර අඟින්
පිරිමි නිවනේ පහන් දැල්ලත්
කටින් පිඹලා නිවන්නට ඇති
දුලා නෙතු පුල්ලා
බැලුම් රොන් ගල්වා
භාවනාවේ පිරිමි ඇස්
කිති කවා ඇහැරවන්නට ඇති
(පිටු.49)
අත දිග හැර ගැහැනුන්ගේ දුෂ්ටකම් ලියන දිලිප්ට පිරිමින්ගේ අශිෂ්ටකම් ලියන්නට සමන් වික්‍රමාරච්චි ඕනෑ වෙයි.සමන්ගේ උද්ධෘතයකින් පිරිමි අශිෂ්ටත්වය කියා නිම වෙයි.පිරිමි කෙතරම් අශිෂ්ට දැයි දිලිප්ගේ එම ක්‍රියාවෙන් නම් අපූරුවට හෙළි වෙයි.
ආඛ්‍යානය කෙළවර වන්නේ ගැහැනුන් හා මිනිසුන් පිළිබඳ බරපතළ කළකිරීමක් ජනිත කරමිනි.රජු හැර අනෙක් සියල්ලන් ම දූෂිතයන් ය;වංචාකාරයන් ය:තක්කඩීන් ය.බෝසත්හු පවා පැවැත්ම වෙනුවෙන් රජු මුලා කරති.කේ.ජයතිලකගේ “සාක්කි තුනක්” වැනි ය.එය රැගෙන එන්නේ තවදුරටත් මනුෂ්‍යත්වය පිළිබඳ බලාපොරොත්තු තැබිය නො හැකි බවේ පණිවිඩය යි.
දිලිප්ගේ ඒ අසුබවාදය නිශ්චිත ලෙස ම ඔහු ස්ත්‍රිය සම්බන්ධයෙන් දරන පෞද්ගලික මතවාදය හා බැඳී පවතින්නකි.ස්ත්‍රිය පිළිබඳ පශ්චාත් නූතනවාදී කියවීම් තමන්ගේ පුරුෂාධිපති මතවාදී කෝවේ බහා පිරිපහදු කර ගන්නා විට මීට වඩා විස්මයක් අපට බලාපොරොත්තු විය නො හැකිය.
දෘෂ්ටිවාදීමය වශයෙන් දිලිප්ට පෙන්වා දීමට අවශ්‍යව ඇත්තේ පශ්චාත් නූතන පිරිමියා පරිභ්‍රමණය වන්නේ ස්ත්‍රිය නමැති කේන්ද්‍රය වටා වන බව ය.එය නම් ඉතා ම පැහැදිලිව ඔහුගේ ලිවීමෙහි අඩංගු වී ඇත.මේ අනුව යුගයේ පිරිමි විනෝදය අහිමි කරන,පාලනය කරන මහා අනෙකා ගැහැනිය බවට ඔහු තර්ක කරයි.පශ්චාත් නූතන වෙළඳපොළ තර්කණය තුළ ස්ත්‍රියට හිමි කර දී ඇති භූමිකාව යනු ඇයට හිමි වී ඇති නිදහස ලෙස අර්ථකථනය කර ගැනීම දිලිප් මෙහි දී ඇදවැටෙන බරපතළ ම දෘෂ්ටිමය අර්බුදය වේ.
මෙහි දී දිලිප් යටත් වී ඇත්තේ බැලූබැල්මට ය.කක්ෂයට වඩා නිදහසක් කේන්ද්‍රයට ඇති බව හේ විශ්වාස කරයි.තාරකා විද්‍යාවෙන් මිනිස් සබඳතා විග්‍රහ කර ගැනීම නවතා බැලුවහොත් කේන්ද්‍රය යනු ම කක්ෂයේ නිර්මාණයක් බව වටහා ගැනීමට දිලිප්ට හැකි වනු ඇත.ඇය එතන, එම කේන්ද්‍රයේ තබා ඇත්තේ ම පුරුෂ ෆැන්ටසිය වෙනුවෙනි.මෙය සමාන වන්නේ ස්වපීඩක පිරිමි, තමන්ට තැලීමට කසයක් ගැහැනිය අතට දී ඒ සඳහා ගෙවීමකුත් සිදු කර ඇයගේ වහලෙකු බවට පත් වීමේ වාණිජවාදී BDSM වැඩසටහනකට ය.බැලූ බැල්මට ඇය ස්වාමිදුව බවත් ඔහු වහලා බවත් පෙනීගිය ද සැබැවින් ම වහලිය වී ඇත්තේ ඇය ම ය.
පන්ති ඌනිතවාදයට ඇදවැටුණු ඊනියා ජනතාවාදය මෙන් ම මානව සබඳතා ස්ත්‍රී – පුරුෂ ලෙස මෙසේ ධ්‍රැවීකරණය කිරීම ද මනුෂ්‍ය විමුක්තිය උදෙසා එතරම් පලදායී බව පැවසිය නො හැකිය.පශ්චාත් නන්දිකඩාල් ලංකාවෙ පිරිමි මුහුණ දී සිටින උභතෝකෝටිකය, ගැහැනුන්ට ඇඟිල්ල දිගු කිරීමකින් වටහා ගැනීමට තැත් කිරීම අතිශයින් බරපතළ කරුණකි.ඒ අර්ථයෙන් නම් මේ යුද්ධය සම්පූර්ණයෙන් ම චණ්ඩි පිරිමින්ගේ (දුටු ගැමුණු,එළාර,යටත්විජිතකරණ ව්‍යාපෘතිය,බණ්ඩාරනායක,ප්‍රභාකරන්,ජවිපෙ,හෙළ උරුමය,මහින්ද) නිර්මාණයක් මිස ගැහැනු නිර්මාණයක් නො වන බව පෙන්වා දිය යුතුය.එබඳු චණ්ඩිකමකින් නම් මෙම සමාජය සුසමාදර්ශී පරිවර්තනයකට ලක් කළ නො හැකිය.වඩා බරපතළ වන්නේ කවීන් ද ” ඒ අයුරේ ” චණ්ඩීන් බවට පත් වීමට උත්සාහ දැරීම ය.
මේ අනුව අවසානයේ සිදුව ඇත්තේ දිලිප් ගැහැනු ගැන ලියන්නට ගොස් තමන් පිළිබඳව ම ලියා ගැනීම බව පෙනේ.එහි නම් වරදක් නැත.එහෙත් අර්බුදය වන්නේ සමහර විට මේ අපට කියවන්නට ලැබී ඇත්තේ සැබවින් ම “නිධානයක්” අහිමි වී යෑම පිළිබඳ කතාව ද විය හැකි වීම ය.