තෙල් සංස්ථාව විකිණීමට සහය පළකරමින් නැගෙන ප්‍රධාන තර්ක වී තිබෙන්නේ රජය ව්‍යාපාර කිරීමෙන් වැළකිය යුතුයි, මෙවැනි දූෂිත ආයතන පවත්වාගෙන යාම ජනතාවට බරක් සහ පෞද්ගලිකරණය හරහා රජයේ ඒකාධිකාරය අහෝසි වී අඩුවට තෙල් මිලදී ගත හැකි බවයි. මෙම තර්ක මොනතරම් පුහු ඒවාද යන්න තෙල් සංස්ථාව සම්බන්ධයෙන් දැනට මතුවී ඇති කරුණුවලින්ම හෙළිවෙනවා.
සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් 1961 අංක 28 දරන පනතින් ජනසතු කෙරුණු ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය, 1962 දී ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඒකාධිකාරයට යටත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ රටේ ජනයාට සාධාරණ මිලක් යටතේ ජනතවට ඉන්ධන සැපැයීමට යි. ඒ අනුව එවකට වෙළඳපොළ ආධිපත්‍යය හිමිකරගෙන තිබුණු බහුජාතික සමාගම් වූ ෂෙල් , කැල්ටෙක්ස් සහ එසෝ වැනි සමාගම් වලට ‘සිරිමා පාලනය’ විසින් වන්දි ලබා දී ඉන්ධන ව්‍යාපාරය රජයේ පාලනය රජය යටතට මුළුමනින්ම නතු කරනවා. එයට ප්‍රධාන හේතුව වූවේ මෙම සමාගම් හිතු හිතු ලෙස තෙල් මිල ගණන් පාලනය කිරීමයි.
එහෙත් එතැන් සිට බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම පාහේ ඛනිජතෙල් සංස්ථාව තම දේශපාලන හෙන්චයියිනගේ තිත්පොළක් බවට පත්කිරීම, කළමනාකරණය දුර්වල කිරීම හේතුවෙන් පසුගිය කාලය වනවිට ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතුරින් ඛනිජ තෙල් සංස්ථාව පෙරමුණටම පැමිණ ඇත.
තෙල් සංස්ථාව මෙලෙස පාඩු ලබන තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුන් ලෙස මහා පරිමාණ ප්‍රසම්පාදන දූෂණ, රජයේ වෙනත් ආයතන නොගෙවා පැහැර හැර ඇති විශාල ණය, හෙජින් ගනුදෙනුව වැනි දේශපාලකයන් මැදිහත්වූ අසාර්ථක ගනුදෙනු සහ වෙනත් වංචා දූෂණ හඳුනාගෙන ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඛනිජතෙල් සංස්ථාව වාර්ෂිකව විශාල පාඩුවක් ලබන ආයතනයක් බවට පත්වීම ය. ඒ අනුව ඛනිජතෙල් නීතිගත සංස්ථාව 2022 පළමු මාස 04අවසන් වන විට ලබා ඇති පාඩුව රුපියල් බිලියන 628ක් බව මුදල් අමාතංශය විසින් නිකුත් කර ඇති අවසන් ‘රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිලිබඳ වාර්තාව’ අනාවරණය කර තිබේ.
2003 වසරේදී ඛනිජතෙල් සංස්ථා පනත සංශෝධනය කොට ඉන්දියානු IOC සමාගමට තෙල් පිරවුම් හල් 200 කට වැඩි සංඛ්‍යාවක් සහ ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය අවුරුදු 20කට බදු දීමට කටයුතු කිරීමත් මෙහි ප්‍රධාන හේතුවක්. එම ගිවිසුම 2023 දෙසැම්බර් අවසන්වීමට නියමිතව තිබූ නමුත්, 2019 වසරේදී පනත සංශෝධනය කොට එම ගිවිසුම තවදුරටත් දීර්ඝ කෙරිණි.
කෙසේවෙතත් පසුගිය වසරේ ජුනි මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මිලකරණය සංශෝධනය කිරීමෙන් පසු, 2022 ජූලි මාසයේ සිට තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්වී ඇත. ඒ අනුව , ජූලි මාසයේ රුපියල් මිලියන 6,314 ක්, අගෝස්තු රුපියල් මිලියන 1,775 ක්, සැප්තැම්බර් මිලියන මිලියන 5,600 ක් වශයෙන් ආයතනය ලාභ ලබා ඇත. එම ලාභය 2022 ජුලි මාසයේ සිට මේ දක්වා සෑම මසකම අඛණ්ඩව පවතින බව ඛනිජතෙල් සංස්ථා වෘත්තීය සමිති පෙන්වාදෙයි.
පසුගියකාලයේ ආණ්ඩුව ඇත්තවශයෙන්ම තෙල් මිල පාලනයට මැදිහත්වුනෙත් නැහැ. තෙල් මිල ගණන් ගැන දැනුම් දීම පමණක් සිදුකරා. නමුත් අවම වශයෙන් එම මුදල් රටේ වෙනත් දේවල් සඳහා යොදවන්න පුළුවන් ආදායමක් හිමිවුණා. නමුත් තෙල් සංස්ථාව විකිණීම හරහා එම ආදායම රජයට අහිමිවෙනවා. විකිණීම හරහා ඇත්තවශයෙන්ම සිදුවීමට නියමිතව තිබෙන්නේ රජයේ ඒකාධිකාරය නැතිවී තෙල් මිල අඩුවීමට වඩා සමාගම් ඒකාධිකාරයක් ඇතිවී තෙල් මිල වැඩිවීමයි.
එකට හොදම උදාහරණය තෙල් සමාගම් 2022 වසරේදී බලශක්ති අර්බුදයෙන් සදාචාරමය නොවන ලාභයක් ලැබූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුත්‍රෙස් චෝදනා කිරීම.
තෙල් සමාගම් තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කරන්න ගිහින් තෙල් මිල අඩුවීම හීනයක් විතරයි. ඔවුන් සිදුකිරීමට නියමිත දේ වන්නේ සමාගම් අතර එකඟතාවක් හරහා තෙල් මිල පාලනය කිරීමයි. ලංකාවේ උදාහරණයකින් ගත්තොත් ඩඩ්ලිලාගේ හාල් මාෆියාව වගේ එකක් හැදෙන එක විතරයි වෙන්නේ. රජය නියාමනය කරා කියලා වැඩක් වෙන්නෙත් නැහැ.
Leave a Reply