Breaking News

“සාරා ජස්මින් මියගිය බවට වූ DNA පරීක්ෂණය සත්‍යයි කියලා පිළිගන්න හේතුවක් නැහැ”

පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නේයැ යි සැක කෙරෙන ප්‍රධාන සාක්ෂිකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජස්මින්’ මියගොස් ඇතිබවට තහවුරු කරමින් නිකුත් කළ තෙවන DNA (ජෛව සම්පල වාර්තාව) පිළිගත නොහැකි බවට මත පළවෙමින් තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ප්‍රශ්න කරන්නේ මීට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි DNA වාර්තාව පමණක් පිළිගැනීමට කියන්නේ ඇයි ද යන්න පිළිබඳව ය.

සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මීට පෙර වාර දෙකකදී DNA පරීක්ෂණ සිදුකර තිබූ නමුත් එම පරීක්ෂණ දෙකේදීම තහවුරුව තිබුණේ සාරා ජසමින් සයින්දමරුදු මියගිය පිරිස අතර නොසිටි බවයි.

“මීට ඉස්සෙල්ලා දෙවතාවක් DNA සම්පල පරික්ෂා කරලා තියෙනවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ පළවෙනි පාර යි, දෙවැනි පාර යි පරික්ෂණ කළේ කවුද? එම නිලධාරින්මනේ. එතකොට එහෙනම් ඇයි අපි මේ තුන්වැනි එක පිළිගන්නේ? එකයි, දෙකයි කළේ ඒ නිලධාරින්ම නම්, ඒවා අසත්‍යය නම්, අපිට තුන්වැනි එක සත්‍ය යි කියලා පිළිගන්න හේතුවක් නැහැ,” යි ෂෙහාන් මාලක පවසා තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජස්මින්” ජිවතුන් අතර සිටිනබවට සාක්ෂි ලබා දී ඇතිබව ෂෙහාන් මාලක පෙන්වා දෙයි.

“සහරාන්ගේ බිරිඳ හාදියා ජනාධිපති කොමිසමට සාක්ෂි දීලා තියෙනවා සයින්දමුරුදු ප්‍රහාරයට පස්සේ සිහිය එද්දි සාරාව දැක්ක යි කියන කාරණය. ජනාධිපති කොමිසමේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වෙච්ච අර්ජුන් මහිල්කන්ද පෞද්ගලික ඔත්තුකරුවෙක් හරහා සොයාගන්නවා සාරා ජෙස්මින් 4/26 නිවසේ සිදුවෙච්ච පිපිරීමෙන් පස්සේ ජීවතුන් අතර හිටියා, කලවංචිකුඩි පොලිසියේ අබුබකර් කියන ට්‍රැෆික් OIC සාරාට ඉන්දියාවට පැනලා යන්න උදව් කළැ යි කියන කාරණාව.”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 26 වන දා සයින්දමරුදුහි ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය අය අතර සාරා ජස්මින් සිට ඇතිබවට, ඇය සම්බන්ධව කරන ලද තුන්වැනි DNA වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මාර්තු 29 වැනිදා පවසා තිබුණි.

එනමුත්, තෙවැනි පරික්ෂණ වාර්තාව පිළිගන්න කියන්නේ නම්, මීට පෙර කරන ලද පරික්ෂණ දෙක නිසි පරිදි සිදු නොකළ නිලධාරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ෂෙහාන් මාලක අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස්වල ශරීර කොටස් ඉතා කෙටි කාලයකදී හඳුනාගැනීමට සමත්වූ තත්ත්වයකදී මෙම සිදුවීමේ ප්‍රධාන චරිතයක් වූ සාරා ජස්මින් සම්බන්ධ පරීක්ෂණ මීට පෙර හඳුනා ගැනීමට නොහැකි වූවේ ඇයිද යන්න සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

මින් පැහැදිලි වන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමක් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

leave a reply