සුයාමය අසබඩ නවකතාව කියවා පොත පිළිබඳව එහි කතෘවරයා වන දිලිප් රෝහණයන්ට මගේ අවංක අදහස් පැවසූ මොහොතේ එම අදහස් මුහුණු පොතේ සටහනක් ලෙස තබන්නැයි කරන ලද කාරුණික ඉල්ලීමෙන් ලද දිරියෙන් මෙසේ ලියමි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතුන් අදහස් දක්වන ලද පොතක් පිළිබඳව මා වැනි ළදරුවෙකුගේ අදහස් දැක්වීමේදී අඩු පාඩුවක් සිදු වුවහොත් කමා කරනු මැන.
සුයාමය අසබඩ කතාව දිව යන්නේ මගේ වයසට සමගාමීව යැයි මට සිතේ. දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් නැතැයි කියමනක් මම මේ පොතෙහිම තැනක කියවූයෙමි. දේශපාලනය මට නීරස මාතෘකාව කි. ඒ එය අද දවසේ පත්ව ඇති ජරාජීර්ණ තත්වය නිසාවෙනි . එහෙත් එවැනි තත්වයක් දක්වා ලාංකීය දේශපාලනය ගමන් කල ආකාරය පිළිබඳව පැහැදිලි විවරණයක් මෙන්ම අමතකව ගිය අතීතය මතක් කර දීමක් සුයාමය අසබඩ නවකතාව තුලින් ඉටු කරලන්නට දිලිප් රෝහණයන් සමත්ව ඇත .
සුයාමය අසබඩ හි කතා නායකයා තරුණ ගුරුවරයෙකි. ඔහු නමින් නලින් වේ. දුෂ්කර සේවයක නිරත වෙමින් තරුණ සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දෙන අතරේ තාරුණ්‍යය නිසාම මුහුණ පාන්නට වන විවිධ සිදුවීම් මෙන්ම දේශපාලන කරලියේ උඩු යටිකුරු වීම් නලින්ගේ ජීවිතයට මෙන්ම තරුණ සිසුන්ට බලපෑ ආකාරය ඉතාමත් සංයමයෙන් මෙන්ම තාත්වික අයුරින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත්ව ඇත.
කාංචනා නමැති සිසුවිය මුල සිටම තම කඩවසම් තරුණ ගුරුවරයා කෙරෙහි පෙමින් බැඳෙනා නමුත් , තම සීමාවෙන් ඔබ්බට නොයනා නලින් කාංචනා වෛද්‍ය විද්‍යාලයට සමත්වූ පසු කඩිමුඩියේ ඇයට තම ප්‍රේමය ප්‍රකාශ කිරීම එක්තරා අන්දමකට ආත්මාර්ථකාමී ව්මක් දැයි සැක සිතුන නමුත් ඔහු ඇය වෙනුවෙන් ආධාර උපකාර කිරීමත් , ගුරුවරයෙකු සතු වගකීම වටහා ගත් අයෙකු සේ හැසිරීම නිසාත් නලින් එම චෝදනාවෙන් නිදහස් කල හැකිය.
තරුණ බවත් , කඩවසම් බවත් නිසාම ඇතැම් සිදුවීම් වලට මුහුණ පානා නලින්ගේ හැඟීම් පිලිබඳව කතුවරයා කිසිදු අයුරකින් නැවත සඳහනක් නොකිරීම අඩුපාඩුවක් සේ සිතුනද ඇතැම් විට එය පාඨකයා කැමති ආකාරයකට සිතුවම් මවා ගැනීමකට ඉඩ සැලසීමක්දැයි සිතේ. මගේ පෞද්ගලික හැඟීම නම් එවන් තැනක නලින්ගේ සිතෙහි මතුවන පසුතැවිලි වීමක් හෝ කුමන ආකාරයක හෝ හැඟීමක් පිළිබඳව ලියවුනා නම් වඩාත් හොඳය යන්නය. උදාහරණ ලෙස උදේනී පිළිබඳව සිදුවීමත්, කාංචනාගේ උපන්දිනය දා සිදුවීමත් පැවසිය හැකිය.
අද පවතින මජර දේශපාලනයට ආරම්භය සිදු වූ හැත්තෑ හතේ සිට අද දක්වා දේශපාලන ගමන් මග සැකෙවින් නමුත් , තීරණාත්මක සිදුවීම් ඉතාමත් පැහැදිලි ලෙසින් ඉදිරිපත් කර ඇති ආකාරය විශිෂ්ට බව මගේ හැඟීමයි. පාදඩයන් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව උදා කර ගැනීමත්, සැණකෙළි සංස්කෘතියන් නිසා ගම්වල තරුණ පිරිස තුල ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ඇති වූ වෙනස්වීමත් ඉතාම සාර්ථකව නවකතාව තුලින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම වාමාංශික අදහස් කරතබා ගත් අයුරින් කටයුතු කලද සුදුසුකම් ඇත්තා පසෙකට කර තම සොහොයුරාට ඥාති සංග්‍රහ කල ආර් . බී. වැන්නවුන් ඕනෑම සමාජ තලයක අපට හමුවිය හැකිය යන සත්‍යය කතුවරයා පෙන්වා දෙයි.
කතාවෙහි අවසානය ද පාඨකයාට කැමති අයුරකින් තෝරා ගැනීමට ඉඩ සලසා ඇත. එය සතුට හෝ දුක යනුවෙන් තෝරාගත හැකි නම් මා තෝරා ගන්නේ බලාපොරොත්තු සහගත සතුටුදායක අවසානයකි. වෛද්‍ය විද්‍යාලයට ගිය කාංචනා කතාවෙහි අවසානයේදී නලින් සොයා එනතෙක් , නලින් කාංචනා පෙම් පුවත පිළිබඳව කිසිවක් සඳහන් නොවීම අඩුවක් සේ මට දැනෙන බව කිව යුතු වුවද , එක් වැකියකින් අවස්ථාව සම්බන්ධ කර එම අඩුව යම් තරමකට අඩු කිරීමට කතුවරයා කටයුතු කර ඇත.
අවසාන වශයෙන් සාර්ථක කතාවක් කියවීමේ සතුට මා හට ඉතිරි වී ඇත.