Breaking News

යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට නතු වෙලාද? – පරිසරවේදීන් සැක මතු කරයි

ලෝක උරුම සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූයේ නම් ඒ බව සඳහන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන මෙන් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටිති.

ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ, වාරිමාර්ග ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවය වෙත බ්‍රහස්පතින්දා (මාර්තු 25) කළ ප්‍රකාශයත් සමගය.

“අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කලා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ,” යනුවෙන් ආචාර්ය මීගස්වත්ත එහිදී සඳහන් කළේය.

ගිං ගඟ හරස් කර, ඉදිකිරීමට නියමිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය වෙනුවට, වෙනත් විකල්ප මාර්ගයක් සෙවීමට ඇමතිවරයා එහිදී වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවසීය.

චීන සමාගමක සැලසුම් මත ක්‍රියාත්මක වීමට නියමිත අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට අයත් හෙක්ටයාර 5 ක භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වෙතැයි ඇස්තමේන්තු කෙරේ.

එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ වාරිමාර්ග ඇමතිවරයා අතර ඉහත කී සාකච්ඡාව සිදු වූයේ යෝජිත ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත ඉල්ලීම් සහ පෙත්සම් ඉදිරිපත් වෙමින් පවතින අතරතුරදීය.

පසුගිය වසරේ, මතභේදයට තුඩු දුන් සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරන පරිසරවේදීහු මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම නියෝජිතයන් සිදු කරන ප්‍රකාශයන්හි විශ්වසනීයත්වය ප්‍රශ්න කරති.

“මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා,” යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

එබැවින්, මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට, වාරිමාර්ග අමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.

“වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න,”

“ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා,” යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා, පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා නියෝජිතයින් නිසි මැදිහත්වීමක් සිදු නොකරන බැවින් තමන්ට පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

BBC ඇසුරිණි

leave a reply