ප්‍රජාතාන්ත්‍රික අරගලය වෙනුවෙන් වමට ජන්දයක්! – සුමිත් චාමින්ද

Date:

අප ඉදිරියේ ඇත්තේ ප්‍රජා-පීඩක පාලනයක් තහවුරු වීමේ පෙර නිමිතිය. අධිකාරීවාදී පාලනයක පෙර මග ලකුණුය. එම අධිකාරීවාදයේ නව ප්‍රවාහය ආරම්භ වූයේ මේ මහා මැතිවරණය සමග නොවේ. අඩු තරමින් එහි මූලයන් පසුගිය ජනාධිපතිවරණය දක්වා දුරට විහිඳේ. එසේම, එම අධිකාරීවාදයේ නැගීම සඳහා අවශ්‍ය තත්ත්වයන් සකසන ලද්දේ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය විසිනි; “ජනවාරි විප්ලවය” විසිනි. (යුරෝපය තුළ නව-ලිබරල් සම්මුතිවාදී දේශපාලනය විසින් අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ රැල්ලට උචිත පරිසරය සැකසුණු පරිදිමය).

ඇතැම්විට, ඉදිරියේ එන පාලනය විසින් මෙරට දේශපාලනය තුළ ආපසු හැරවීමට ඉතාම දුෂ්කර ආකාරයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී වෙනස්කම් නිර්මාණය කිරීමට ඉඩ තිබේ. නිදසුනකට, පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස් කරනු ලැබුව හොත්, දැනට කිසියම් හෝ පාර්ලිමේන්තු නියෝජනයක් තිබෙන කුඩා පක්ෂ බොහොමයකට එම නියෝජනය සදහටම අහිමි වී යනු ඇත.

දැන් පෙනෙන්නට තිබෙන්නේ කොරෝනා වෛරස් වසංගතයේ අර්බුදය මැදට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයක්ද එක් කෙරෙන ලකුණුය. ඊට අමතරව අපගේ උපන් බිම එක්සත් ජනපදය සහ චීනය යන අධිරාජ්‍ය බලවතුන් අතර නිර්මාණය වෙමින් තිබෙන දෙවන ශීත යුද්ධයේ සංග්‍රාම භූමියක් වීමේ අවදානමක්ද තිබේ. චීන ණය උගුල සහ එක්සත් ජනපද එම්සීසී ව්‍යාපෘතිය අතරට ඉන්දීය ආධිපත්‍යයේ සේයාවන්ද එක්වෙමින් තිබේ.

ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීමේ අරගලය සමග අධිරාජ්‍ය විරෝධී අරගලයක්ද ඉදිරියේදී මෙරට දේශපාලන න්‍යාය පත්‍රයට එක් වීමට ඉඩ තිබේ. එම අරගලය ජනතාවගේ ආර්ථික සහ සමාජ අයිතීන් දිනා ගැනීමේ පුළුල් අරගලයක් සමග අතිනත ගෙන යන්නක් වනු ඇත. ඒ සඳහා නායකත්වය දිය හැක්කේ කා හටද? නිසැකවම විවිධ ධාරාවල වාමාංශික දේශපාලන නායකත්වයන්ටය. නව-ලිබරල්වාදයේ අර්බුදයේ යුගය තුළ ලොව පුරා දැකිය හැකි යථාර්තය මෙයයි. ඔබට ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දිනා ගැනීමට අවශ්‍ය නම් ඔබ හැරිය යුත්තේ වමටය. තවදුරටත් ධනවාදය සහ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය අතිනත ගෙන නොයයි. එසේම ප්‍රජාතාන්ත්‍රික අරගලයේ ඉදිරි යුගය සඳහා අවශ්‍ය වන්නේ පුළුල් වාම-ප්‍රජාතාන්ත්‍රික සහයෝගීතාවකි.

ප්‍රජාතාන්ත්‍රික අයිතීන් යළි දිනා ගැනීමේ අරගලය යනු මේ යුගයේ සමාජවාදී දේශපාලනයේ කොටසකි. එය හුදෙක් පාර්ලිමේන්තුවේ සහ නෛතික තලයේ කෙරෙන මැදිහත්වීම් මගින් පමණක් කළ හැක්කක් නොවේ. අනාගතයක් ඇත්තේ බහුජනයා පදනම් කරගත් වාම-ජනතාවාදී දේශපාලනයකටය.

ඇතැම් වාම නායකත්වයන් මේ කාරණය දැනටමත් මනාව වටහාගෙන තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෑතකාලීන ක්‍රියාකාරීත්වයන් ඒ සඳහා කදිම නිදසුනකි. තමන් ප්‍රජාතාන්ත්‍රික අරගලයේදී සෙසු විපාක්ෂික කොටස් සමග එක්ව වැඩ කරන්නට සූදානම් බව පෙරටුගාමී පක්ෂය දැනටමත් ප්‍රකාශ කොට තිබේ. පෙසප මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී තම කාලය හා ශ්‍රමය ඉතාම පලදායී ලෙස වැය කරන්නට සමත් විය. විශේෂයෙන්ම ඔවුන්ගේ ගෙමිදුල් සාකච්ජා මොඩලය ෆැසිස්ට් ඉතාලියේ ග්‍රාම්ස්චි යෝජනා කළ ප්‍රචාරක ක්‍රම සිහියට නංවයි.

ඉදිරියේ එන ප්‍රජාතාන්ත්‍රික අරගලයට දායක වනු පිණිස ශක්තිමත් කළ යුත්තේ වාම-ප්‍රජාතාන්ත්‍රික බලවේගයන්හි දෑත්ය. විශ්වාස කළ හැකි නායකත්වය එයයි. වමේ පක්ෂවලට කොතරම් දුරට මැතිවරණ ජයගත හැකිද යන ප්‍රශ්නය මෙහිදී අදාළ නොවේ. කුඩා සංඛ්‍යාත්මක වර්ධනයක් වුවද මේ දුෂ්කර අඳුරු යුගයේ සුබවාදී අනාගතයක් වෙතට එල්ල වන අපේක්ෂාවේ ආලෝක ධාරාවක් වනු ඇත.

සුමිත් චාමින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...