Breaking News

“කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ

හිල්මි සුපුන්

ලක්ෂාන් මධුරංගගේ ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කාව්‍ය සංග්‍රහයේ දැනුණු තැන්වලින්, මගේ හද රැඳුනු තැන් කිහිපයක් පිළිබඳව මෙසේ සටහන් කර තබමි. එසේ වුනත් “කොළඹට කියන්නේ බොරැල්ලට” අමතක කර යා නොහැකිය. පොතක් මුද්‍රණය කරන්න ප්‍රකාශකයකු සොයාගත්තත්, මේ මොහොත කියන්නේ පොතක් මිල කරන්න ඉතා අසීරු මොහොතක්. ඉතින් ඒ අසීරු තත්ත්වයන් පිය මනින්නට හැකිව ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” ජනගත වෙලා . ලක්ෂාන් මධුරංගව කාව්‍ය ලෝකය තුළ හමුවන්නේ සමාජ දේශපාලන බරක් තැබූ කවියෙකු ලෙසයි. ඔහුගේ 2019 ජනගත වුණු “කොළඹට කියන්නේ බොරැල්ලට” කාව්‍ය සංග්‍රහය මේ බර කොපමණද කියන එක අපට දනවන කාව්‍ය එකතුවක්.

ඔහු වර්තමාන සමාජ දේශපාලන සංස්කෘතික පරිහානිය තුළ පෑදී පරිචයක් ඇති කවියෙකි. ලක්ෂාන් මධුරංග කවියට නව හැඩයක් එක් කර තිබේ. පැරණි රටාවන් තුළින් අලුත් රටාවන් සොයමින් සිටියි.ඒ සියල්ල අතර ඔහු කවිය සමාජ දේශපාලන මානයෙන් පරිබාහිර නොකර ඒ තුළ මිනිසාට සහ අවට පරිසරයට අත්වූ ඉරණම කවියට නඟමින් සිටී.

නැළවුණු කවි

මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇති
නංගිටයි මටයි ගෙඩි දෙකක් නැති
පැහිල ඉදිල බිමට නැමිලා බර වුණත් අතු
වැඩිය කඩන නරක ළමයි වැට ගසා ඇති

-21 වන පිටුව-

සමුපකාර ණය දෙන සමිතිය (වාණිජ පාඩම )

කාකි පැහැ පොළොවෙන්
වතුර ඉල්ලා හිස නවා ගත්
මයිල ගස් වැනි
දරුවන් පිරිසක් මැද
සිටිමි මම

වතුරු පිළිතුරු අවැසි
බොහෝ පැහැති දෙනෙත් 30 කින්
මම අසමි
වියලි පැනයක්

සමිති – සමාගම්
අද පාඩම

කිව හැකිද එක නමක්

එකවර එසේ වුණා එක අතක්
එය දිවුල් අත්පත් වන් අතක්

ඉදුණු ගෙඩියක් වගේ ගිලිහුණා පිළිතුර

සමුපකාර ණය දෙන සමිතිය

-27 වන පිටුව-

සෙට් සුවඳ
හැම
පිරිමි
වෙනුවට
පිරිමි සුවඳ
හමන
සෙන්ට්

-22 වන පිටුව-

කාව්‍ය 34 කින් සමන්විත “කොළඹට කියන්නේ බොරැල්ලට” කාව්‍ය සංග්‍රහයේ කවි නිදසුන් කීපයක් ඉහත උපුටා දක්වා තිබේ. එහි කිනම් කවිය ගෙන කිනම් තැනකින් අපි කතාබහක් නිර්මාණය කරන්න මුල පිරුවද අපි මේ ජීවත් වෙන සමාජයෙන් පිටපැන වෙනත් සිහින වල සිට විග්‍රහ කරගැනීමට නොහැකියි, ඊට හේතුව මුල් පද පෙළෙන් හීනයක් හදාගත්ත ද දෙවන පද පෙළෙන් ඒ සිහිනය කුඩුපට්ටම් වෙන්න වර්තමාන සමාජ යථාර්ථය නැමති ඉඳිකටුවෙන් අපිට අනිනවා. ලක්ෂාන්ගේ මේ කවි හරහා අපිට දුර ගමන් යා හැකිය. “කොළඹට කියන්නේ බොරැල්ලට” කිවූව අපිට ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කියලා කියන්න තරම් ඔහු අද තවත් එඩිතර වෙලා තියනවා.

” බුදුවෙන්නවත් අතඅරින් නෑ” මේ නමම විවාදාත්මකයි. අතහැරීම කියන්නෙම ආදරය, ආදරය කියන්නෙම අතහැරීම කියලා වර්තමාන සමාජය තුළ අත හැරලා ඉන්න බැරි එකාටත් සමාජ විරෝධයක් එල්ල වෙයි කියලා බයේ අතහැරලා හැංගිලා හඬන්න තරම් ප්‍රබල සමාජ මතයක් සාහිත්‍ය විචාරකයෝ ගොඩනගලා තියෙනවා . එවන් ප්‍රබල අවකාශයකට ලක්ෂාන් මධුරංග කියනවා ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කියලා .

” බුදුවෙන්නවත් අතඅරින් නෑ” එහෙම කිව්වම හිතෙන තවත් දෙයක් තමයි ආත්මාර්ථකාමය යශෝදරා ආත්මාර්ථකාමී වුනානම් අද බුදු කෙනෙක් නැහැ කියලා සමහරු කියනවා. ඒ නිසා අර අතහැරීම තමයි ආදරය කියන එකට පොඩි ක්‍රෙඩිට් එකක් එතනින් ලබාගෙන අතහරින්න බැරි වුනුත් විචාරයන් වලදී අත හරින හැටි ආදරේ කියලා කියන්න පෙළඹිලා තියෙනවා.

“කොළඹට කියන්නේ බොරැල්ලට” ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කියන කාව්‍ය ග්‍රන්ථ දෙක එක ළඟ තබා කතා කරන විට ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” මානව සබඳතා පිළිබඳ වැඩි කතාබහක් ඔහු කවි හරහා අපට ගෙනැවිත් තියෙනවා. ඊට උදාහරණ ලෙස “ඔයා ගියොත් මං එල්ලෙනවා” , “ඒ නිසා තමයි මේ ඔක්කොම” , “දශක හතරක ලපකැලැල්” , “තහනම් අඩවිය” , මේ පොතේ මාර්තුකාව හිමි ” බුදුවෙන්නවත් අතහරින් නෑ”, “තෙතමන”, “Tha Sieep Breaker” ඇතුළු බොහෝ කවි එසේ අපට ගත හැකියි .

ආදරය ප්‍රේමය කියන විෂය අරභයා ලක්ෂාන් මධුරංග දරන්නේ අත හැරීම ආදරයයි කියන ජනප්‍රිය ප්‍රවාදය නොව ආදරය ප්‍රේමය රැකගැනීමට වෙර දරන මහපොළොවේ ජීවත් වෙන උන්ගේ පාර්ශවය බව මේ කවි දෙක හරහා ඔබට වටහා ගන්න පුළුවන්. කෙනෙක් ආදරේ වෙනුවෙන් මියැ දෙද්දී ,කෙනෙක් ප්‍රේමය වෙනුවෙන් බුදු වෙන්න වත් අතඅරින් නෑ. ඇය හැරදා ගිය සහකරුවා වෙනුවෙන් මියැදෙන අතර තවත් තැනක ඇය හැරදා යන්නට තැත් කරන සහකරුවා වෙත අත්නොහරින ප්‍රේමයක දියුරුම දෙනවා. පව් නොකරන, අතහරින, විඳ ගන්නා , දරාගන්න සුචරිත ලෝකයට වඩා ලක්ෂාන් මධුරංග ගේ කවි අපි ජීවත්වන ලෝකයේ ස්පර්ශ කරන ඒවාය.

සමස්තයක් ලෙස ගත් කල ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කාව්‍ය එකතුව තුළ අත්හළ යුතු කිසිවක් හමුනොවේ.

බුදු වෙන්නවත් අත අරින් නෑ

ප්‍රේමය
පාරමිතාවක්
බුදු වන තුරු ම
අත් හළ යුතයි ඉන් පසු
බුදු වෙන්න

මේවට හිනා නොවී ඉන්නේ කොහොම ද?

කොයි තරම්
පාරමී පුරන්න ඇත් ද ඔයා
මාව සොය සොයා…
ඒ ඔක්කොම ඒවා කළේ ඔයා
බුදු වෙන්න විතරම යි කියලා දැනෙනකොට
මේ යසෝදරාටත් දරන්න බෑ තමා

අපිව දාලා ගියාට
ඔයා හදපු දර්ශනේ හොඳයි… ඇත්තයි…
ඒ වුණාට මං එකඟ නෑ ඔක්කොට ම

‘පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං’
මං පිළි ගන්නේ නෑ…
‘වඩාත් ආදරණීය වු දේ
වඩාත් සෝකය උපදවයි’
මඡ්ඣිම නිකායේ තිබ්බට
මට පිළිගන්න බෑ…

ඔයාට එහෙම වෙන්නැති
ඒ වුණාට මට නම් නෑ සුදා…
අසෝක මල් ගසක් වගේ
මට නම් ඔබේ ප්‍රේමය – ඉතිං සෝකයක් කොහේද?
විශාලා නුවරක් නෙවෙයි

මා වටා තිබුණු ප්‍රේමය – ඉතිං භය කියන්නේ මොකට ද?

ඔයාට නම් කොහොම වුණත්
මට නම් පාරමිතාවක් මේ භවයත්
ඔයා ඇවිල්ල කිව්වත් බණටත්
බුදු වෙන්නවත් අත අරින්නෙ නෑ
මං ඔබට ඇති ප්‍රේමය

ඒ ඔයා සොයා ගත්ත සත්‍යය
නිවන
මේ මං සොයා ගත්ත සත්‍යය
ප්‍රේමය

ඇතැම් විට නිවන කියන්නෙම
ප්‍රේමය වෙන්න ඇති
ප්‍රේමය කියන්නෙම
නිවන වෙන්න ඇති

 

leave a reply