Breaking News

රුහුණ විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති බරපතල වසංගත අවදානමක්

රුහුණ විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති කොවිඩ් පැතිර යාමේ අවදානම පිළිබඳව, උම්මන්තක උපකුලපති සුජීව අමරසේන ඇතුළු පරිපාල⁣නයේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙත පිළිබඳවත් මාධ්‍ය නිවේදනයක් අද නිකුත් කරන ලදී.

රුහුණ විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති බරපතල වසංගත අවදානම පිළිබඳවයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් අතර වේගයෙන් කෝවිඩ් 19 වසංගතය පැතිරෙමින් පවතී. මේ වන විට සිසු සිසුවියන් 23 ක් ආසාදිතයන් බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. විද්‍යා පීඨයෙන් 11ක්, වෛද්‍ය පීඨයෙන් 02ක්, කෘෂිකර්ම පීඨයෙන් 03ක්, කළමනාකරණ පීඨයෙන් 05ක්, ඉංජිනේරු පීඨයෙන් 02ක් වශයෙන් සිසුන් කෝව්ඩ් වසංගතයට ගොදුරුව සිටී.

විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස වසංගතයේ ගොදුරු බවට පත්ව ඇත්තේ උපකුලපති සුජීව අමරසේන ඇතුළු පරිපාලනයේ අත්තනෝමතික වැඩපිළිවෙල හේතුවෙනි. සිසුන් කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තරම් සුදුසු සෞඛ්‍යාරක්ෂිත පහසුකම් විශ්වවිද්‍යාලය තුළ ඉදි කිරීමට පරිපාලනය අපොහොසත්ව සිටී. වසා දමා වසරක් ගතවී ඇතත් මෙතෙක් සරසවි විවෘත කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ආණ්ඩුව උනන්දු වූයේ නැත. විශ්වවිද්‍යාල සඳහා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කෙරුණේ නැත. මෙවන් මොහොතක කළ යුතු වන්නේ වසංගත අවදානම පිළිබඳ සලකා අතිරේක ප්‍රතිපාදන වෙන් කරමින් විශ්වවිද්‍යාල තුළ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර සිසුන්ගේ අධ්‍යයන කටයුතු යථාවත් කිරීමයි. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව සිදු කළේ වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණයත් 40% කින් කප්පාදු කර දැමීමයි. විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත්, ඒ සඳහා පිළිගත හැකි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකසන ලෙසත් පසුගිය කාලය පුරා සිසුන් විසින් සිදු කළ බලකිරීම් හේතුවෙන් සරසවි ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව මෙයින් දෙසතියකට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී සියලු උපකුලපතීන් කැඳවා සාකච්ඡාවක් පවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දී ඒ අනුව සරසවි ආරම්භ කරන ලෙසත්, සියලු වගකීම් උපකුලපතිවරුන් විසින් දරන ලෙසත් දැනුම්දී තිබේ. නමුත් එම මාර්ගෝපදේශ කිසිසේත් විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි අතිශය අප්‍රායෝගික ඒවා වීම නිසා එක් උපකුලපතිවරයෙක් හැර අනෙක් සියලුම උපකුලපතිවරුන් ඒ සඳහා විරෝධය පල කර තිබේ. ඇඟ බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළට එකඟ වී ඇති එකම උපකුලපතිවරයා රුහුණේ උම්මන්තක සුජීව අමරසේනය.

උපකුලපතිවරයාට අවශ්‍යව ඇත්තේ සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම හෝ අධ්‍යයන කටයුතු යථාවත් කිරීම හෝ නොවේ. ඔහුට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව විසින් ලබාදෙන ඕනෑම කොන්ත්‍රාත්තුවක් ඉටු කොට හොඳහිත දිනාගැනීමයි. දැනටමත් ආචාර්යවරුන්ගේ, සිසුන්ගේ, අනධ්‍යයන සේවකයන්ගේ අප්‍රසාදයට ලක්ව සිටින සුජීව අමරසේන උපකුලපතිවරයාට මාස කීපයකින් එළඹීමට නියමිත නිලවරණයෙන් නැවත උපකුලපති ධූරයේ වැඩභාරගත හැක්කේ ආණ්ඩුවේ ආශීර්වාදය සහිතවය. වසංගතයේ තෙවැනි රැල්ලක් රට පුරා පැතිර යද්දී කිසිඳු සෞඛ්‍යාරක්ෂිත සූදානමකින් තොරව පළමු වසර සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කළේ උපකුලපතිවරයාගේ මෙම බල උවමනාව සංතෘප්ත කරගැනීමටය. ප්‍රශ්න ඉදිරිපත් කරන සිසුන් විනය ක්‍රියාමාර්ගවලට ලක්කරමින් බිය වද්දා ප්‍රාණ ඇපයට තබාගනිමින් සිදු කරන සුජීව අමරසේන උපකුලපතිවරයාගේ බල සෙල්ලම සිසු ජීවිත සඳහා වගකිව යුතුය. වගකීම කෙසේ වෙතත් උපකුලපති, නියෝජ්‍ය උපකුලපති සමන් චන්දන ඇතුළු බලධාරීන් සිසුන්ගේ දුරකතන ඇමතුම් පවා මඟහරිමින් සිටියි.

ආසාදිත සිසුන් රෝහල් කරා රැගෙනයාමටවත් නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට පරිපාලනය අසමත්ව ඇත. කළමනාකරණ පීඨයේ සිසුන් තිදෙනෙක් ආසාදිත බව තහවුරුව තිබියදී රෝහලකට ගෙන නොගොස් දින කිහිපයක් නේවාසිකාගාරයේම රඳවා තබා ඇත. විද්‍යා පීඨයේ ආසාදිත බවට තහවුරු වූ සිසුවෙක් තවමත් එළියකන්ද නේවාසිකාගාරයේ සිටී. එසේම ප්‍රමාණවත් පරිදි PCR පරීක්ෂණවලට සිසුන් භාජනය කර නැත. අවදානම පිළිබඳව නිසි ලෙස සිසුන් දැනුවත් කිරීමක් වන්නේ ද නැත. කළ යුත්තේ හැකි තාක් තොරතුරු හෙළිදරව් කිරීම වූවත් රුහුණ පරිපාලනය කරන්නේ සිසුන්ගෙනුත් තොරතුරු වසන් කිරීමයි. ඒ වෙනුවට උපකුලපතිවරයා සිදුකරන්නේ තමන් දන්නා තොරතුරු හෙළිදරව් නොකරන ලෙස සිසුන්ට තර්ජනය කිරීමයි. රුහුණ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය විසින් විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නව කෝව්ඩ් පොකුරක් නිර්මාණය කරමින් සිටී. පරිපාලනයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය ඉදිරියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. වසංගතය හේතුවෙන් ජීවිත අවදානමත්, එම ගැටලු කතා කිරීම හේතුවෙන් ශිෂ්‍යභාවය අහෝසි වීමේ අවදානමත් සිසුන්ට අත්විඳින්නට සිදුව ඇත.

විශ්වවිද්‍යාල විවෘත කිරීම කළ යුතුය. ඒ පිළිබඳ විවාදයක් නැත. වසා දමා තිබීම හේතුවෙන් වසරක් පුරාවට සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩාකප්පල් වී ඇත. නමුත් විශ්වවිද්‍යාල විවෘත කිරීම කළ යුත්තේ නිසි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් යටතේ සැලසුම් සහගතවය. මෙම ගැටලුව පැමිණ ඇත්තේ කිසිඳු සැලසුමකින් තොරව ආණ්ඩුවේ හොඳහිත දිනාගැනීමට විශ්වවිද්‍යාලය විවෘත කිරීමට යාමෙනි. එක් පසෙකින් කිසිඳු සෞඛ්‍යාරක්ෂිත සැලසුමකින් තොරව මෙලෙස සිසු ජීවිත අවදානමේ හෙළීම තවදුරටත් සරස විවිවෘත නොකර තබාගැනීමට සිදු කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්ද යන්නත් සැකකටයුතුය. ඒ මේ හා සමානම අත්දැකීම් කැලණිය, සෞන්දර්ය වැනි වෙනත් විශ්වවිද්‍යාල තුළින්ද වාර්තා වන බැවිනි.

දැන්වත් සිසුන්ගේ ජීවිත පිළිබඳ වගකීම විශ්වවිද්‍යාල පරිපාලනය විසින් භාරගත යුතුය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඇතුළු ආණ්ඩුව වගකීම භාරගත යුතුය. දැන්වත් අමතර ප්‍රතිපාදන වෙන් කර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර අධ්‍යයන කටයුතු කිරීම සිදුකළ යුතුය. එහෙයින් වහාම සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා වගකීමෙන් මැදිහත් විය යුතු බවත් මහා ශිෂ්‍ය සංගමය ලෙස බලධාරීන්ට අවධාරණය කර සිටිමු.
මෙයට,

ඉන්දික විදානපතිරණ,
ලේකම්,
මහා ශිෂ්‍ය සංගමය,
රුහුණ විශ්වවිද්‍යාලය.

පිටපත්

  1. ජී.එල්. පීරිස්, අධ්‍යාපන අමාත්‍ය, ඉසුරුපාය, බත්තරමුල්ල.
  2. මහාචාර්ය සම්පත් අමරතුංග, සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව.
  3. පී.බී. ජයසුන්දර, ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය.

leave a reply