ලක්ෂ ගණනකට බිල් ගෙවා ගත නොහැකි වෙද්දී විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියටම

අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතල අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග හරහා පැවසෙන බව ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවද වාර්තා වේ.

අධික විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භ වීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ බවත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලවල නිලධාරීන් පෙන්වා දී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට යනු ඇති බවයි.

වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල් ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබුණි.

මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර තිබේ.

බොහෝ ජනතාව විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ , විද්‍යුත් කේතල සහ සිවිලිම් විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව පවසේ.

අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි සාමාන්‍ය ජනතාව මැසිවිලි නගමින් සිටියි.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැටක් පමණ වේ. සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24 කි.

මේ අතර තවත් පුවතකින් කියවෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් සංවර්ධන නියෝජිත ආයතනවල සහය ලබාගැනීම වෙනුවෙන් විදේශ ආයතනවල සහය ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදේශ ආයතන නියෝජිතයන් අතර හමුවක් පසුගියදා කොළඹදී පැවත්වී තිබේ.

ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් ආණ්ඩුවේ මේ සැරසෙන්නේ විදුලි බල මණ්ඩලය පෞද්ගලිකරණයට මිස වෙන කිසිවකට නොවේ. ගැටලුව වන්නේ විදුලි බල මණ්ඩලය රාජ්‍ය හිමිකාරීත්වයේ පවතිද්දී පවා විදුලි බිල් හිතු හිතු ලෙස වැඩිකිරීම සිදුකිරීමෙන් බහුතර ජනතාවක් පීඩාවට පත්වෙමින් සිටියදී එය පෞද්ගලීකරණය කළහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද යන්නයි. පෞද්ගලික ආයතනයක් සිතන්නේ ලාභ ලැබීම ගැන මිස සේවය සැපයීම ගැන නොවේ. ඒ අනුව විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයෙන් ප්‍රතිලාභ ලැබිය හැක්කේ මිලදී ගන්නා සමාගමට මිස මෙරට ජනතාවට නොවේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...