Breaking News

මැතිවරණයට අදාළ මුදල් මුදාහරින්න කියා මුදල් අමාත්‍යංශයෙන් පින්සෙන්ඩු වෙන්න වෙයි.

මහින්ද සිරිවර්ධන මහතා,
ලේකම්,
මුදල් අමාත්‍යංශය,
ලෝටස් පාර,
කොළඹ-01.

2023 පෙබරවාරි 12

ලේකම්තුමනි,

2023 පළාත්පාලන ආයනත ඡන්ද විමසීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම

ශ්‍රි ලංකාවේ එක් පළාත් පාලන ආයතනයක් හැර සියලුම පළාත් පාලන ආයතන මේ වන විට නියමිත කාලය ඉකුත් වී ඇති අතර වසරක පමණ කාලයක් සිට පවතින්නේ විෂය භාර අමාත්‍යවරයා විසින් අදාල පනත් යටතේ ලැබී ඇති බලතල යටතේ සිදුකරන ලද වසරක කාලය දීර්ඝ කිරීමක් මතය.

ඒ අනුව මෙම මැතිවරණ 2023 වසරේ පැවැත්වීම සදහා 2023 අය වැය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදී පාර්ලිමේන්තුව තම අයවැය ලේඛනය මගින් වෙන් කර ඇත.

එළඹෙන මාර්තු 9 වන දින පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු යොදා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල මුදල් මුදල් අමාත්‍යංශය වෙතින් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදී ඇත. නමුත් ඒ පිළිබඳව ඔබ අමාත්‍යංශයෙන් තවමත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තාවේ.

මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ ව්‍යවස්ථාවට අනුව වගකීමකි. එසේම කොමිෂන් සභාවේ මැතිවරණ පැවැත්වීම සදහා සහයෝගය ලබාදීම සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන බව 104ආ(2) ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන කෙරෙහිද ඔබගේ අවධානය යොමුකරමු.

පළාත් පාලන මැතිවරණය නිසි පරිදී පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුලු කිහිපදෙනෙකු ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව නියෝගයක් ලබා නොදුන්නේ මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීම සදහා කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදෙන ලද පොරොන්දුව මතය.

එසේම පළාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙස නියෝගයක් ඉල්ලා පවරණ ලද නඩුවේ විමසීමද පෙබරවාරි 23 වන දිනට ශ්‍රේෂ්ඨාධිකරණය යොමුකර අති අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පෙබරවාරි 22 වන දින ආරම්භ කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සැලසුම්කර ඇත. එබැවින් මැතිවරණයේ ඉදිරිකටයුතු සදහා පාර්ලිමේන්තුව විසින් අයවැය ලේඛනය මගින් සම්මත කර ඇති පරිදී අවශ්‍ය අරමුදල් මැතිවරණ කොමිෂන් සභාව කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මුදල් පාලනය පිළිබඳ බලතල හිමි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද අරමුදල් සැපයීමට කටයුතු නොකිරීම පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද අභියෝගයට ලක්කිරීමක් මෙන්ම පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් ද සිදුවන බව අවධාරණය කරන අප අයවැය ලේඛනය කෙටුම්පත් කිරීමේ කාර්යය සිදුකල අමාත්‍යංශයම පාර්ලිමේන්තුව සම්මත කල මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව වෙත නිදහස් නොකරන්නේ නම් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය ලේඛනයේ අනෙකුත් මුදල් වෙන්කිරීම පිළිබඳවද බරපතල සැකයක් නිර්මාණය වන බවද අවධාරණය කරමු .

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104උඋ(1) ව්‍යවස්ථාවට අනුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාල යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත්වන; හෝ රාජ්‍ය නිලධාරියකු වරදක් සිදුකරන බවට වන ප්‍රතිපාදනය කෙරෙහිද ඔබගේ අවධානය යොමකරමින් අප ඉල්ලා සිටින්නේ ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගයක් වන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සදහා අදාල අරමුදල් නිදහස් කිරීමෙන් සහයෝගය දක්වන ලෙසයි.

මෙම කරුණ මහජන වැදගත්කමිකින් යුතු කරුණක් වන බැවින් මෙම ලිපිය ජනමාධ්‍ය වෙතද විවෘත කරන බව තවදුරටත් කාරුණිකව දන්වා සිටිමු.

රෝහණ හෙට්ටිආරච්චි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය – PAFFREL
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය – CMEV
මංජුල ගජනායක,ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය – IRES
නදීෂානි පෙරේරා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා – TISL
අහමඩ් මනාස් මකීන්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය – CaFFE
දයා හේරත්, ලක්බිමේ මව්වරු සහ දියණියෝ -MDL
රසාංග හරිස්චන්ද්‍ර, මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය – NPOC

leave a reply