Breaking News

පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී

 සජීව චාමිකර-ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර 50 ක් පමණ රජයේ නිලධාරීන් හා දේශපාලඥයන් විසින් නීති විරෝධී ව බෙදා ගෙන තිබේ. හැඩ ඔය මෝය ආශ්‍රිත ව වෙරළ සීමාවේ මෙම වනාන්තර ඉඩම් පිහිටා ඇති අතර අලි – ඇතුන් හා කොටින් බහුල ව ජීවත් වන ප්‍රදේශයක වනාන්තර ඉඩම් මේ ආකාරයෙන් බෙදා ගෙන තිබේ. මෙම ඉඩම් ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ. එස්. ඩී. එම්. රවීන් නිරෝෂන් කුමාර හෙවත් සිල්වා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පානම හිටපු බීට්ටු වන නිලධාරී කපිල බණ්ඩාර ලංසක්කාර, අම්පාර හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. ඩී. එම්. අසංග අබේවර්ධන, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ඉඩම් නිලධාරී නිශාන්ත සිල්වා, පානම මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී එස්. එම්. රත්නපාල, පානම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිශාන්ත සුසිරිපාල, පානම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් හෙන්දිරික් අප්පු ආරියසේන යන අය විසින් ඔවුන් ගේ ඥාතීන් ගේ නම්වලට මෙම ඉඩම් වෙන් කර ගැනීම සිදු කර තිබේ. මීට අමතර ව පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතනුවන් විසින් ද මෙම ප්‍රදේශයේ පමණක් නොව කුඩුම්බිගල – පානම අභය භූමිය මායිමේ පානකල කලපුව අසල පිහිටි ඉඩම් හෝටල් ඉදි කිරීම සඳහා වෙන් කර ගෙන ඇත.

මෙසේ වෙන් කර ගත් සමහර ඉඩම් වෙනත් පුද්ගලයන්ට පවරා ඇති අතර මේ වන විට එම ඉඩම්වල විදුලි වැටවල් සකස් කර සංචාරක හෝටල් ඉදි කරමින් පවතී. මීට අමතර ව මෙම ප්‍රදේශයේ වෙරළ කලාපයේ හා ඒ ආශ්‍රිත ව පිහිටි වනාන්තර ඉඩම් සම්පූර්ණයෙන් ම ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් නීති විරෝධී ව එළිපෙහෙළි කර වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මේ හේතුව නිසා අලි – අතුන් ගේ සංක්‍රමණික මාර්ග සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ සියලු ක්‍රියාවන්ට එරෙහි ව ශාස්ත්‍රවෙල පදිංචි ව සිටි කාන්තාවන් විරෝධතාව දැක්වීම සඳහා දින 42 කට වැඩි කාලයක් එම ප්‍රදේශයේ කඳවුරු බැද රැදී සිටී.

පානම ඉඩම් කොල්ලයේ ඉතිහාසය

උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසර වල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත පානම ප්‍රදේශයේ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනින. පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මාන වල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනින. ඒ අනුව ශාස්ත්‍රවෙල හා රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාවේ භාරයට පත් විය. මේ ප්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රදවා ගෙන තිබේ.

2009 වසරේ දී නාවික හමුදාව විසින් එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ජනතාව ගේ වගා බිම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිiා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ වලට අයත් ඉඩම් රණවිරු ගම්මානයක් ඉදි කිරීමට යැයි සඳහන් කරමින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනි. නමුත් 2010 වසරේ දී මේ ප්‍රදේශය නාවික හමුදා කඳවුරක් ඉදි කරන බවට සඳහන් කරමින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇත.

වර්තමානය වන විට මේ ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද පානම කලපුවේ ඉදි කර තිබේ. එය “පානම ලැගුන් කබානා” නමින් මේ වන විට සංචාරක කටයුතු වලට නාවික හමුදාව විසින් යොදා ගනු ලැබේ.

2010 වසරේ දී රාගම්වෙල හා ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ නිවාස හා වගා බිම් වලට නාදුනන පිරිසක් විසින් ගිනි තබා බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් අනතුරු ව පොතුවිල් පොලීසියේ පාලනයට එම ප්‍රදේශ පත් විය. ඉන්පසු ජනතාවට එම ප්‍රදේශයට ඇතුළු වීමට වසරක පමණ කාලයක් තහනම් කර තිබූ පොතුවිල් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවේ පාලනයට යටත් කර තිබේ. මේ වන විට ගුවන් හමුදාව විසින් එම ප්‍රදේශයේ ඉදි කිරීම් කටයුතු සිදු කර තිබේ.

මේ ආකාරයෙන් පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙනි. එසේ අහිමි කළ පානම ජනතාවගේ ඉඩම් අයිතිය පසුව බලයට පත් වූ යහපාලන ආණ්ඩුව පැවති සමයේ ද ඒ ආකාරයෙන් ම වර්ධනය කර පවත්වා ගෙන යාමෙන් ජනතාව ගේ බලාපොරොත්තු සියල්ල අහිමි විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ආරම්භ කළ පසුව බලයට පත් වූ ආණ්ඩු අඛණ්ඩ ව පවත්වා ගෙන ගිය මේ අමානුෂික ඉඩම් කොල්ලය හමුවේ පානම ජීවත් වෙමින් වගා කටයුතු වල හා ධීවර කටයුතු වල නිරත පවුල් 350 ක් පමණ වසර 12 ක කාලයක් තිස්සේ අවතැන් ව සිටී. කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන් ම ධීවර කර්මාන්තය මේ ප්‍රදේශයේ ජනතාව ගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ග විය. ඒ සියල්ල මේ වන විට නිසි පරිදි කර ගෙන යාමට නොහැකි වී ඇත.

ලංකාවට පැමිණෙන විදේශීය නායකයන්ට හා ප්‍රභූවරුන්ට විවේකය ගත කළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීම මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණ විය. නමුත් මේ තත්ත්වය වසං කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යැයි පවසමින් පානම ඉඩම් කොල්ලයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමට ද ක්‍රියා කෙරිනි. ඒ අනුව ලාහුගල හිටපු ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මහතා විසින් 2013.05.14 වන දින රජයේ දෙපාර්තමේන්තු වලට ඉඩම් ලබා දීමේ ලේඛනය භාවිත කර එවකට ජනාධිපති කාර්යාලයේ බලයලත් නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර 66.1116 ක් නැතහොත් අක්කර 164 ක භූමියක් නීති විරෝධී ව පැවරීම සිදු කෙරින. මීට අමතර ව වෙනත් කිසිදු භූමියක් මෙලෙස පවරාගෙන නොමැත.

නමුත් ජනාධිපති කාර්යාලයට පැවරූ භූමිය ඇතුළු ව ජනතාව ගේ සියලු ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නාවික හා ගුවන් හමුදාව භාරයේ තබා ගෙන ඒ වටා විදුලි වැටවල් ද ඉදි කර වෙන් කර ගෙන තිබේ. මේ නිසා ගොවි ජනතාවට හා ධීවර ජනතාවට පමණක් නොව අලි – ඇතුන්ට ද වාසස්ථාන අහිමි වී ඇත. මේ සියල්ල සිදු කර ඇත්තේ ලංකාවේ ඉඩම් නීති හා පාරිසරික නීති සියල්ල උල්ලංඝනය කරමිනි.

අණපනත් උල්ලංඝනය කිරීම

මේ වන විට රජයට අයත් වනාන්තර ඉඩම් රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන එළිපෙහෙළි කිරීමට ලක් කරන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමිනි. මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, අනවසරින් රජයේ ඉඩම් වෙන් කර ගැනීම, ඉදි කිරීම් කටයුතු කිරීම, ඉඩම්වලට පිවිසීම සඳහා මාර්ග තැනීම, විදුලි වැටවල් ඉදි කිරීම, හෝටල් ඉදි කිරීම හා ඉඩම් මායිම් කිරීම යන ක්‍රියා තහනම් වේ. එම වගන්තියට අනුව මෙම නීති විරෝධී ක්‍රියාවක නිරත වීම සඳහා ආධාර හා අනුබල ලබා දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු හෝ එම ක්‍රියා වල නිරතවන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට වසර 2ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 5000 කට නොඅඩු හා රුපියල් 50,000 කට නොවැඩි දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව අදාළ වනාන්තරයට සිදු කරන ලද හානිය වෙනුවෙන් වන්දියක් ලෙස අධිකරණය නියම කරන දඩයකට පවා යටත් කළ හැකි ය. නමුත් මේ නීති රීති සියල්ල පානම ඉඩම් කොල්ලය හමුවේ අභියෝගයට ලක් වී ඇත.

වෙරළ කලාපය තුළ පිහිටි වනාන්තර එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කර ගෙන ඇත්තේ 2011 අංක 49 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතට අනුව වෙරළ කලාපය තුළ යම් සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ප්‍රථමයෙන් පනතේ 14 වන වගන්තියට අනුව ඉල්ලීම් කළ යුතු ය. ඒ අනුව පනතේ 16 වන වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ ව්‍යාපෘතිය සඳහා 17 වන වගන්තියට අනුව කොන්දේසි සහිත අවසරය ලබා දීම සිදු කරනු ලැබේ. එම කොන්දේසි වලට යටත් ව සංවර්ධන ව්‍යාපෘතිය වෙරළ කළාපය තුළ ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් පානම ප්‍රදේශයේ වෙරළ කලාපය තුළ සිදු කළ හෝටල් ඉදි කිරීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු මෙන් ම අද වන විට සිදු කර ඇති ඉඩම් වෙන් කිරීමේ කටයුතු සියල්ල මෙම වගන්ති උල්ලංඝනය කරමින් සිදු කර තිබේ.

වෙරළ කලාපයට හෝ එහි සම්පත්වලට අලාභානි සිදු කරමින් සංවර්ධන කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පනතේ 24අ වගන්තියට අනුව කටයුතු කළ හැකි ය. මේ වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම සංවර්ධන කටයුතු අත්හිටු විය හැකි ය. මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පැහැර හරිමින් දිගින් දිගට ම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එය පැහැර හරින එක් දිනකට රුපියල් 10000 බැගින් වූ දඩයකට හා උසාවියකට අපහස කිරීමට එරෙහිව ද කටයුතු කළ හැකි ය. නමුත් මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු නිලධාරියකු මැදිහත් වී නොමැත.

පානම ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම මෙන් ම අද වන විට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් එක් ව එම බලහත්කාරයෙන් වෙන් කර ගැනීම ද දණ්ඩ නීති සංග්‍රහයේ 372 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් සිදු කර තිබේ. එම වගන්තියට අනුව යම් දේපලක් යම් තැනැත්තෙකුට පාඩු සිදු කරමින් හෝ බියකර ලබා ගැනීම බලෙන් ලබා ගැනීමකි. එවන් ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3 ක් දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මූලික අයිතිවාසිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ 11 වන වගන්තිය අනුව කිසිදු තැනැත්තෙකු වද හිංසා වලට ලක් නොකළ යුතු බව සඳහන් වේ. 12 වන වගන්තියට අනුව නීතිය පසිදලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන් ම නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බවත් 14 වන වගන්තියට අනුව නිත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ නිදහස හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු බවත් සඳහන් කර ඇත. පානම ප්‍රදේශයේ ජනතාව ගේ මේ මූලික අයිතිවාසිකම් සියල්ල ම ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් විසින් අහිමි කර ඇත. ඔවුන් නිරත වූ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඔවුන්ට අහිමි කර ඇත. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයට යාමේ හෝ එහි ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. එපමණක් නොව නිදහසේ ජීවත් වූ ජනතාව වද හිංසනයට ලක් කර තම නිජබිම් වලින් බලහත්කාරයෙන් පලවා හැර නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත. ඊට එරෙහිව නීතියේ රැකවරණය සර්ව සාධාරණ ව මේ ජනාවට හිමි වී නොමැත.

මේ සියලු අයිතිවාසිකම් අහිමි වූ පානම ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පානම පත්තුව සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් ගොඩනගාගෙන ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අංක ්‍යඍක්‍රැ්ඵරැ105රැ10රැඊරැධඔ යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට වසර කිහිපයකට පෙර ය. ඒ පිළිබඳ ව පරීක්ෂා කළ මානව හිමිකම් කොමිෂම මේ ජනතාවගේ ඉල්ලීම් සියල්ල සාධාරණ බවත් මේ නිසා ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත් වීමේ අයිතිය තහවුරු කර දියයුතු බවත් නිර්දේශ කෙරින.
නමුත් ආරක්ෂක අංශ හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල නිලධාරීන් මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර නොගත්තේ මේ ඉඩම් අත්පත් කර ගැනීම කුමන කාර්යයක් සඳහා සිදු කරනු ලැබූවේ ද යන්න ඔවුන් නිවැරදි ව දන්නා නිසා ය.

පාරිසරික වටිනාකම් අහිමි කිරීම

නාවික හමුදාව හා ගුවන් හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති රාගම්වල හා ශාස්ත්‍රවල එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප්‍රදේශ තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර හා කඩොලාන වනාන්තර ඒ අවට පිහිටි ආරක්ෂිත වනාන්තර ජාලය හා ඒකාබද්ධ ව තිබේ. ඒවා එකිනෙකට ක්‍රමවත්ව සම්බන්ධ වී ඇත. මේ ප්‍රදේශ ආසන්නයේ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩුම්බිගල – පානම අභය භූමිය පිහිටා ඇත. මෙම දෙපාර්තමේන්තුව යටතේ ම පාලනය වන කුමන ජාතික වනෝiානය ඒ ආසන්නයේ ම පිහිටා තිබේ. කුමන ජාතික වනෝiානය, යාල ජාතික වනෝiානය හා සම්බන්ධ වී තිබේ. මීට අමතර ව වන සංර්ක්ෂණ දෙපාර්මේන්තුව යටතේ පාලනය වන කුඹුක්කන වන රක්ෂිතය හා රජයේ වනාන්තර බිම් මේ ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබේ. එම වනාන්තර ප්‍රදේශ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලාහුගල – කිතුලාන ජාතික වනෝiානය හා සම්බන්ධ ව පවතී. මේ ආකාරයෙන් පානම ප්‍රදේශයේ වෙරළ කලාපයේ සිට රට තුළට අඛණ්ඩ ව විහිදුනු ආරක්ෂිත වනාන්තර පද්ධතියක් පිහිටා තිබේ. මේ නිසා මේ ප්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ව සියලු ජෛව ප්‍රජාවට ඛණ්ඩනය නොවූ වාසස්ථාන පද්ධතියක් හිමි ව තිබේ. ඒ හේතුවෙන් අතීතයේ දී මේ ප්‍රදේශවල ජනාවාස ආශ්‍රිත ප්‍රදේශ වනසතුන් ගේ උවදුරුවලින් ආරක්ෂා වී පැවතුණි.

බලහත්කාරයෙන් අත්පත් කර ගත් භුමි ප්‍රදේශ ආශ්‍රිත ව පිහිටන කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝiානය ඒකාබද්ධ ව තෙත්බිම් පද්ධතියක් ලෙස ලංකාවේ ජාත්‍යන්තර ව වැදගත්වන රැම්සා තෙත්බිම් හය අතුරින් එකක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ ප්‍රදේශය ජාත්‍යන්තරව අවධානයට ලක් වීමට ප්‍රධාන හේතුව සංක්‍රමණික පක්ෂීන් ඇතුළු තෙත් බිම් ආශ්‍රිත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන තෙත් බිම් පද්ධතියක් ලෙස මෙම ප්‍රදේශය වෙරළ කලාපය තුළ ව්‍යාප්ත ව පැවතීම ය.

ලෝකයේ ජීවත් වන සාගරවාසී කැස්බෑ විශේෂ අට අතුරින් ලංකාවේ මුහුදු තීරයට බිජුලෑම සඳහා පැමිණෙන කැස්බෑ විශේෂ පහෙන් විශේෂ තුනක් පානම ආශ්‍රිත ප්‍රදේශයට බිජුලෑම සඳහා පැමිණේ. එනම් ගල් කැස්බෑව, බටු කැස්බෑවා හා දාර කැස්බෑවා ය. මේ විශේෂ තුන ම 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති විශේෂ වේ. මේ සතුන් වෙරළ තීරයේ, වෙරළබඩ ශාක ප්‍රජාව හා කඩොලාන ආශ්‍රිත ප්‍රදේශවල බිජුලෑම සිදු කරයි. මේ ඉඩම් කොල්ලය තුළින් මෙම සතුන්ට ජීවත් වීමට ඇති අයිතිය ද අහිමි කර ඇත.

ක්‍රියාත්මක නොවූ කැබිනට් තීරණය

පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් දිගින් දිගට ම තම අයිතිවාසිකම වෙනුවෙන් කරන ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනාධිපතිවරයා ගේ හා අගමැතිවරයා ගේ මැදිහත්වීම මත 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කෙරුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරි ඉඩම් සියල්ල ජනතාවට ලබා දීමට පියවර ගත යුතු බව ය. නමුත් මෙය සැබෑ තීරණයක් ද? එසේ නැතිනම් ජනතාව මුලා කිරීමක් ද? යන්න පැහැදිලි වන්නේ වර්තමාන ක්‍රියාකාරීත්වයත් සමඟ ය.

ගුවන් හමුදාව රාගම්වෙල හා ශ්‍රාස්ත්‍රවෙල ප්‍රදේශයේ ඉඩම් අක්කර 365 ක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින අතර ඉන් අක්කර 25 ක් ගුවන් හමුදාවට ලබා දුන් පසුව ඉතිරි ඉඩම් ප්‍රමාණය අක්කර 340 කි. මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 50 ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ කැලෑ බිම් වේ. එම කැලෑ ප්‍රදේශය රාගම්වෙල වැවේ ජලපෝෂක ප්‍රදේශ වන අතර වැව හා මුහුද අතර පිහිටි වනාන්තර ප්‍රදේශයකින් හා වැලි කඳු වලින් සමන්විත වේ. මෙම භූමිය හැර ඉතිරි බිම් ප්‍රදේශය එහි ජීවත් වූ පවුල් 105 කට ලබා දෙන ලෙස පදිංචි ව සිටි ජනතාව අද වන විට ඉල්ලා සිටී.

කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව වසර අටකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කීරීමට තව ම නොහැකි වී ඇත්තේ මෙම ඉඩම් ජනතාවට ලබා දීමට සැබෑ උවමනාවක් නොමැති නිසා ය. කැබිනට් තීරණයට අනුව කටයුතු කර ජනතාවට අයිති ඉඩම් ඔවුන් වෙත ලබා දීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා මේ වන තුරුත් ක්‍රියා කර නොමැත්තේ ද ඒ නිසා ය. කැබිනට් තීරණයට අනුව ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතු වුවත් ජාතික භෞතික සැලැස්මට අනුව පානම ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බැවින් මේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර නොගනිමින් සිටී. නිලධාරීන් හා දේශපාලඥයන් ඒ පිළිබඳ ව ඇති දැනුවත් වීම මත ජනතාවට ඉඩම් ලබා දීමට ක්‍රියාමාර්ග නොගෙන වරින්වර ජනතාව මුලා කරමින් එම ඉඩම් ඔවුන් විසින් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටී.

මේ තත්ත්වය තවදුරටත් තහවුරු වූයේ 2015 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සමයේ දී පානම ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා දේශපාලන මැදිහත්වීම ලබා දීමට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය දයා ගමගේ විසින් යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනතාව ගේ ඉඩම් හා ජීවත් වීමේ අයිතිය උකසට තබා මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමෙනි. එපමණක් නොව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතණුවන් ද මෙම ඉඩම් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටින්නේ මෙම ඉඩම්වල අනාගත වටිනාකම දන්නා නිසා ය.

මේ සියල්ල මත අප අවධාරණය කරන්නේ භූමියේ අයිතිය ඇත්තේ එම භූමිය මත ජීවත් වූ මිනිසුන්ට හා ජෛව ප්‍රජාවට බව ය. එම අයිතිය ඔවුන්ට අහිමි කිරීමට හැකියාවක් කිසිවෙකුට නොමැත. මේ නිසා පානම ජනතාව ගේ පමණක් නොව උතුරු – නැගෙනහිර සියලු ජනතාව ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා අප ගේ මැදිහත්වීම ලබා දිය යුතු ව ඇත්තේ මේ නිසා ය.


leave a reply