Breaking News

2/3 ආණ්ඩුවෙන් කටු පොල් වලට නරක කලක් වුදවෙයි? ( ද )

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

කටුපොල් වගාව සම්බන්ධයෙන් සජීව චාමිකරගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගන්නා ලද්දකි. ඡන්දයෙන් පසු ජනතාවට තමන්ගේ වැඩ කොටස නිමයයි පවසා පැත්තකට වී සිටිය නොහැකි.ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි

ලංකාවේ කටුපොල් වගාවේ ඉතිහාසය

මෙරට පළමු වරට කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන Jerry Wales විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්ටයාර 0.5 ක භූමියක කටුපොල් ගස් 68 ක් සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදී. අද වන විට ලංකාවේ විශාලත ම කටුපොල් වගා බිම්වල හිමිකාරීත්වය ඇත්තේ ද වටවල වැවිලි සමාගමට ය. එහි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 3157 කි. මීට අමතර ව නමුණුකුල වැවිලි සමාගමට හෙක්ටයාර 2041 ක්, ඇල්පිටිය වැවිලි සමාගමට හෙක්ටයාර 1571 ක්, අගලවත්ත වැවිලි සමාගමට හෙක්ටයාර 1311 ක්, කෑගල්ල වැවිලි සමාගමට හෙක්ටයාර 1125 ක් හා බගවන්තලාව වැවිලි සමාගමට හෙක්ටයාර 700 ක් හිමි ව ඇත. අද වන විට ලංකාවේ කටුපොල් වගා බිම්වල ව්‍යාප්තිය හෙක්ටයාර 10,000 ක් පමණ වේ. රජයේ අරමුණ එම අගය හෙක්ටයාර 20,000 දක්වා වර්ධනය කිරීමට ය. නමුත් කටුපොල් වගාවෙන් ජනදිවියට, ජලයට හා ජෛව ප‍්‍රජාවට සිදු කරන බලපෑම් පිළිබඳව මෙම වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා යොමු වීමට ප‍්‍රථම කිසිදු අවධානයක් රජය විසින් සිදු කර නොමැත.

මාතර, ගාල්ල, කළුතර දිස්ත‍්‍රික්කවල ප‍්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති කටුපොල් වගාව වර්තමානය වනවිට රත්නපුර, කෑගල්ල හා කොළඹ දිස්ත‍්‍රික්කවල ස්ථාපිත කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. ලලාන් රබර් සමාගම විසින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවක රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කරමින් තිබේ.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 125 කට වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එක වර ඉතා විශාල භූමි ප‍්‍රදේශ වල රබර් හා අතහැර දැමූ තේ වගා බිම් එළිපෙහෙළි කර කටුපොල් වගා කරනු ලබන්නේ මෙම නීති උල්ලංඝනය කරමිනි.

එපමණක් නොව එම ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශිත යම් භූමි ප‍්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනයට අනුව තෙත් කලාපයේ කදුකර ප‍්‍රදේශ සියල්ල ම පාංශු සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප‍්‍රකාශයට පත් කළ පාංශු සංරක්ෂණ ප‍්‍රදේශ වල රබර් වගා බිම් හා වෙනත් වගා බිම් ඉවත් කර පස සම්පූර්ණයෙන් ම නිරාවරණය කර අලූතින් කටුපොල් වගා කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලැබුණහොත් පමණක් එම වගා බිම් ව්‍යාප්ත කළ හැකි ය.

නමුත් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් සමාගම්වලට රිසිසේ ඉතා ම හානි කර වාණිජ වගාවක් ලෙස ලෝකයේ හඳුනාගෙන ඇති කටුපොල් වගාව මේ වන විට තෙත් කලාපයේ බොහෝ ප‍්‍රදේශ වල ව්‍යාප්ත කිරීම වහා ම නතර කිරීමට රජය කටයුතු කළ යුතු ය. එපමණක් නොව ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම සඳහා ප‍්‍රතිපත්ති හා නීති සම්පාදනය කළ යුතු අතර ඌන උපයෝජිත රබර් වගා බිම් හා තේ වගා බිම් ආහාර භෝග වගා කිරීම සඳහා සුළු පරිමාණ ගොවීන්ට ලබා දිය යුතු අතර හඳුනාගත් සංවේදී ප‍්‍රදේශ පාංශු සංරක්ෂණ හා ජල සංරක්ෂණ ප‍්‍රදේශ ලෙස සංරක්ෂණය කිරීම හා වනාන්තර ජාල ගත කිරීම සඳහා නැවත වන වගාවන් සඳහා භාවිතා කළ යුතු ය. ඒ තුළින් මෙරට ජනතාවගේ ජල සුරක්ෂිතතාව, සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික අයිතීන් හා පොදු භාවිත සම්පත් වල අයිතිය තහවුරු කළ යුතු ය. ඒ සඳහා ප‍්‍රතිපත්ති හා නීති සම්පාදනයට රජයට බලපෑම් කිරීම අපගේ වගකීමකි.

 

leave a reply