මේ ගෙවෙන මෙහොතේ ශ්‍රී ලංකාවේ මාරාන්තික කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ජනයා මිය යමින් පවතින අතර සෞඛ්‍ය සහ සුභසාධන ආරක්ෂණය අහිමිවීම හේතුවෙන් ශාරීරක සහ මානසික පිඩාව වෙත ඔවුන් නිරන්තරයෙන් ගොදුරුවෙමින් පවතී . එවැනි දුෂ්කර පසුබිමක දී, මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර විසින් ඉතාම අශ්ශීල ප්‍රකාශනයක් සිදුකරනු බලා සිටියෙමි. එම ප්‍රකාශනය වෙත ශ්‍රමය හැර වෙනත් ඉපැයීමක් නොමැති ස්ත්‍රියක් විසින් කරන ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය ලියමි. එයින් මා අපේක්ෂාකරනුයේ විශ්‍රාමික සරත් විරසේකරව සවිබල ගැන්වීමටය.
ශ්‍රී ලංකාවේ දිග් ගැස්සුණු සිවිල් යුද්ධයෙන් මෙන්ම මෙම වසංගතයේ න් ද විශාල ලෙස පිඩාවට පත්වුයේ/ පත්වෙමින් සිටිනුයේ , ශ්‍රමය හැර වෙනත් කිසිදු ඉපයුම් මාර්ගයක් නොමැති ජනයා වේ . රට ගැන සිතා ජන්දය දෙන ලෙස ප්‍රවර්ධනය කළ රොෂාන් ප්‍රනාන්දු වැනි කණ්ඩායම් සංගීත ශ්‍රමිකයන් ට මෙන්ම ස්වයං රැකියා හෝ වෙනත් ශ්‍රම විකිණීමෙන් පමණක්ම යැපෙන පුද්ගයන් මාධ්‍ය ඉදිරියට විත් ආයචානා කරනු ලැබුවේ තම ශ්‍රමය හැර වෙනත් ඉපයුම් මාර්ග නොමැති ව මෙම වසංගත කාලයේ දී ජීවත්වීම දුෂ්කර වීමය. මේ වසංගත යුගයේ දී මෙන්ම එදා යුද්ධයේ දී ද වඩාත්ම දුෂ්කරතාවයට පත් වුයේ ශ්‍රමය හැර වෙනත් ඉපයුම් මාර්ග නොමැති ජනයාම වේ.
ඔබගේ වැටහීමේ ප්‍රමාණය මත , සරලව එකින් එකට මම මෙය පැහැදිලි කිරීමට රුචි වෙමි. යුද්ධයේ අවසන් අදියරේ දී මරාදැමූ / මියගිය බහුතරය කඳුකර හෝ සිංහල ජනයා බහුලව සිටි ප්‍රදේශ වලින් , වාර්ගික අශ්සිල මර්ධනයන් මගින් බලහත්කාරයෙන් පන්නා දමන ලද පිරිසකි. ඔවුන් වන්නියට, විශේෂෙන්ම, කිලිනොච්චියට සහ මුලතිව් වෙත ගෙනවුත් පදිංචි කිරීම මගින් ඔවුන්ට තමන්ගේ උපන්බිම් , ආදරණියන් මෙන්ම සාමාන්‍ය ජන ජිවිතයක් ගතකිරීමට තිබු අවස්තාවන් ද අහිමිකරන ලදී . පසු අවධියේ දී වාර්ගික රාජ්‍යයේ මර්ධනය ට විරුද්ධව නැගී සිටින උතුරේ තරුණ තරුණියන් බිහිවන්නේ මෙම ජනතාව අතුරිනි.
ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා ශ්‍රමිකයකු ලෙස ඔබට පවතින අවම දේශපාලන සාක්ෂරතාව හේතුවෙන් මෙම කතාව මම තවත් විස්තර කරදෙමි . උතුරේ ජන පිබිදීම ආරම්භ වන්නේ වාර්ගික ආණ්ඩුකරන ප්‍රතිපත්ති වෙත දක්වන දේශපාලන ප්‍රතිචාරයක් ලෙසය. 1948 අංක 18 දරණ ලංකා පුරවැසි පනත සම්මත කරමින් 11% ක් පමණ වතුකම්කරු දෙමළ ප්‍රජාව ගේ පුරවැසිභාවය අහෝසිකරන ලදී. එසේම 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත මගින් සිංහල නොවන භාෂා කතාකරන ජනයාගේ දේශපාලන සහ සමාජ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලදී. 1971 දී සම්පාදනය කරන ලද අධ්‍යාපන ප්‍රමිතිකරණ පනත මගින් දෙමළ තරුණ / තරුණියන් හට විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙත සිමා කම් ඇතිවිය . ගල් ඔය සංවර්ධන නිම්න යෝජනාක්‍රමය මගින් වාර්ගික ජන අනුපාත වෙනස් කරමින් කටයුතු කිරීම ද අමතක නොකළ යුතුය (මේ කරුණු පිලිබඳ සවිස්තරාත්මකව කියවා , දැනුම වර්ධනය කරගැනීමට පාර්ලිමේන්තු පුස්තකාලය භාවිතා කරන්න ).
එසේම දෙමළ ජාතික සත්‍යග්‍රහ , නිහඬ විරෝධතා , හර්තාල් වලට , පැවති ආණ්ඩු හි අනුග්‍රහයන් මත ප්‍රචණ්ඩත්වයන් මුදා හැරීම යනාදිය මගින් සිදු වුයේ උතුරේ තරුණ /තරුණියන් අවි අතට ගෙන, තමන්ගේ නිජභූමියේ අයිතිය සුරක්ෂිත කරගැනීමට සංවිධානය වීමය. එම ක්‍රියාවලියේ දී , සංවිධාන අතර දැඩි ප්‍රචණ්ඩත්වයන් වූ අතර එහිදී විමුක්ති කොටි සංවිධානය බලය තහවුරු කරගනිමින් , දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස ඉදිරියට පැමිණුනි.
විමුක්ති කොටි සංවිධානය ප්‍රචන්දකාරිව හැසිරුණු අතර එහි ම දිගුවක් ලෙස , සාම ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීම , දේශීය මෙන්ම අන්ත්රජාතික ප්‍රජාවට ද දැඩි පීඩනයක් විය. දේශීයව සහ අන්තරජාතිකව ගොඩනැගෙන ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය මගින් , එම සංවිධානය 2009 දී හමුදාමය බලයෙන් පරාජයට පත්කිරීමට හැකිවිය. එහිදී ඉන්දියාව , ඇමරිකා එක්සත් ජනපදය , මහා බ්‍රිතාන්‍ය , චීනය, ශ්‍රී ලංකාවේ
ජනතා විමුක්ති පෙරමුණ , සහ එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය ඇතුළු කණඩායම , පැවති මහින්ද රාජපක්ෂ රාජ්‍ය වෙත විශාල සහයෝගයක් ලබා දේ .
ඔබ මෙහි වන දේශපාලන උත්ප්‍රාසය දුටුවේද ? දෙමළ ජනයාගේ ඔලු පැලීම වෙනුවෙන් ධනේශ්වර රාජ්‍යයන් සමඟ දේශීයත්වයේ එකම නියෝජනය වන මහින්ද රාජපක්ෂ සහ වාමංශික බලවේගද එක එකම වේදිකාවට එදා ගොඩවුනි . පසු අවධියක ජනතා විමුක්ති පෙරමුණෙහි නායක, අනුර කුමාර දිසානායක , දෙමළ මිනිසුන්ගේ ඝාතනය වෙනුවෙන් යම් කම්පනයක් තමන්ට තිබෙන බවට ප්‍රකාශ කිරිමට තරම් ශිලාචාර වුවද අදටත් අනෙකුත් කණ්ඩායම් එම ඝාතන පිලිබඳ කිසිදු සදහනක් කිරීමට තරම් ශිලාචාරවී නොමැත . අවම වශයෙන් , ලිබරල්වාදී නියෝජනයක් වූ රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ එකසත් ජාතික පක්ෂ මෙම ඝාතන ඉදිරියේ නිශ්ශබ්ද ය.
එසේම බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද ආදරණීයන් වෙනුවෙන් යුක්තිය මකා දමා ඇත. 2009 මුහමලේ හමුදා පිරික්සුම් ස්ථානයේ දී රඳවා තබාගත් පසු අදටත් අතුරුදහන් වූ අවුරුදු 19යේ සංඝපුල්ලේයි රදන් ව මොකද වුනේ කියා සොයා නොබැලිය හැකිද ? එසේම ඔබ සිතන්නේ , ස්ත්‍රියක් ලෙස මා ඉසිප්‍රියා අමතක කර දමාවි කියාද ? අවුරුදු 27 දී දුෂණය කර මරා දැමු ඇයට යුක්තියන් ඉටුවිය යුතුය (https://www.tamilguardian.com/content/remembering-isaipriya). එසේම ඔබ මට කියන්නේ , හමුදාභාරයේ රඳවා සිටින විට දුෂණ කළ වසන්තා වෙත , හිංසනයෙන් තොරව ජිවත් වීමේ අයිතිය වෙනුවෙන් හඬ නොනගන ලෙසද ?(https://www.bbc.co.uk/news/world-asia-24849699). තමන් උපන් භුමිය බලහත්කාරයෙන් රැදී සිටින හමුදා ඛණ්ඩයන් ගෙන් ඉවත්වන ලෙස බල නොකර සිටීමට මා කටයුතු කළ යුතුද ?
ඕනෑම රාජ්‍යයක හමුදාව යනු මානුෂිය නිදහසට තර්ජනයකි. එය මියන්මාරයේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ කියා වෙනසක් නොවේ. ශ්‍රී ලංකාවේ හමුදාව යනු ව්‍යතිරේකයක් නොවේ. නමුත් මේ සිදුකරන ලද මනුෂ්‍යත්වයට නිගා දෙන සියලුම අපරාධ වෙනුවෙන් , ශ්‍රී ලාංකික ස්ත්‍රියක් ලෙස මම යුක්තිය වෙනුවෙන් හඬක් නගමි. ඒවෙනුවෙන් ඔබව සවිබල ගන්වමි. ශ්‍රමික පංතියේ තම වාර්ගික අනෙකා වෙනුවෙන් පෙනී සිටිම ආමන්ත්‍රණය කරන විකල්ප දේශපාලනයක් නොමැති වීම ද ඔබව දේශපාලනිකව අබල කිරීමට හේතු වී තිබේ.
ශ්‍රමික පංතියේ සියලුම දෙනාට මේ මොහොතේ මුහුණ දීමට සිදුව තිබෙන ගැටලුව නම් , කොවිඩ් 19 වසංගතයෙන් සුරක්ෂිත වීම වෙනුවෙන් අවම මිලක් ගෙවීමන්නේ කෙසේද යන්න ය .
කොවිඩ් 19 වසංගතය ඔබට මාරාන්තික නොවෙනු ඇත . ඒ , ශ්‍රමික පංතියේ අප මෙන් ඔබ , තෙරපුම් සහිත පොදු ප්‍රවාහනය භාවිත කරමින් වෙළඳ කලාපයේ සේවය නොකරන හෙයිනි. කිසිදු සාමජ ආරක්ෂණයක් නොමැතිව මැද පෙරදිග සේවාව වෙත නොයන හෙයිනි . දැවෙන අව්වේ ගොයම් කපා දවසේ කුලිය සෙවීම ට හෝ සීතලේ මහමුහුදේ ගැමියකු ලෙස ශ්‍රමය මත ජිවත් නොවන හෙයිනි. මහරගම පදික වේදිකාවේ කකුල් හිරි වැටෙන තුරු , උගුර ලේ රහවනතුරු කැ ගසමින් වෙළඳාම් කිරීමේ වේදනාව ඔබ දන්නේ ද ? . සුදහාගින්නෙන් පුපුරුගසන විට , පොෂින් බෑගයක දැමු ප්ලේන්ටිය සහ ටි බනිසය හැර විකල්පයක් නොමැති පංතිය ට ඔබ අයත් නොවේ. මා වගේම මගේ පංතියේ දෙමළ (විමුක්ති කොටි සංවිධානයේ සිටි හෝ නොසිටි ), මුස්ලිම් ස්ත්‍රීන් ට පුරුෂයන් ට ද මේ මොහොතේ දී මේ ප්‍රශ්න පවතින බව දන්නා හෙයින් තවත් ඔවුන්ට පහර දෙමින්, ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරීමෙන් ඔබව වලක්වාගැනිම ජාතික වගකීමක් වේ .