කොරෝනා වසංගතය ආරම්භයේදීම චීනයෙන්න පසු වඩා ශීඝ්‍යෙන්ර COVED-19 පැතිර ගිය රට බවට පත්වුණේ ඉතාලිය. මේ කාලවකවානුව තුළ ඉතාලියේ සිට ලංකාවට ගිය ඉතාලියේ ජීවත් වු ලාංකික ජනතාවට විවිධ දුක් ගැහැට වලට තම මව් රටේදීම මුහුණ දෙන්නට සිදුවුණා. වසංගත පතුරවන්නන් ලෙස කොන් වන්නට සිදු වුණා. ක්‍රමානුකූලව වසංගතය ලෝකයේ විවිධ රටවලට පැතිර යද්දී, රටවල් සංචරණ නීති තද කරද්දි ලංකා රජය තම රටේ පුරවැසියන්ටත් රටට ඇතුළුවීමට ලබා නොදී සිටිය. මේ හේතුව මත අන්ත අසරණ වෙච්ච මැදපෙරදිග ලාංකික ශ්‍රමිකයන් කොරෝනා වසංගතය නිසා මරණයට පත්වුණා . කෙසේවෙතත් ක්‍රමානුකූලව වසංගතය හමුවේ තවදුරටත් රට වසා තබා ගෙන ඉන්නට බැරි වුණු තැන රජය විවිධ නීති රීති පනවමින් රටවල් වෙත විශේෂ ගුවන් යානා යවමින් තම රටේ මිනිසුන් ගෙන්වා ගැනීමට කටයුතු කළ. මේ සියලූ තත්ත්වයන් යටතේ සැප්තැම්බර් 3 වැනිදා සිට විශේෂ ගුවන් සේවා යොදමින් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කර තිබුනා . කිසිදු විනිවිදභාවයක් නොමැති මේ ක්‍රියාවලිය බොහෝ ශ්‍රී ලාංකිකයින් ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.
අධික මුදලක් අය කර ගනිමින් ලංකාවට යෑමට පමණක් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට සිදු වී තිබෙනවා. සාමාන්‍ය තත්වයක් යටතේ මේ කාලයේ යුරෝ 490 .00 කට පමණ ලංකාවට යෑමට සහ ඒමට ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට හැකියාව තිබුණි . නමුත් කොරෝනා වසංගතය ට මුවා වී ලංකාවට යෑමට පමණක් වූ ටිකට් පත යුරෝ 900.00 වැනි අධික මුදලකට ලබා දෙන මේ වැඩපිළිවෙළ මිනිසුන්ගේ හිරි මාංස හූරා කන්නකි . ඉතාලියේ සිට ලංකාවට යන ගුවන් ගමනේ දී මෙම ගුවන් යානය විශේෂිත වූ සෞඛ්‍යාරක්ෂිත උපකරණ මගින්ට ලබා දී නොමැති අතර සේවා සැපයීමද සාමාන්‍ය තත්වයක් යටතේ යන ගුවන් ගමනක සේවා සැපයීමටද වඩා පහත් තත්ත්වයක තිබේ ඇත . මෙම ගුවන් මගීන්ගෙන් විශාල මුදලක් අය කෙරුවද සෞඛ්‍යාරක්ෂිත මීටරයේ පරතරය රකිමින් ෂීට් එකක් ඇර ෂීට් එකක පරතරය පවා නොමැතිව වෙනදා සුපුරුදු විදිහටම ගුවන් යානයේ සියලුම ෂීට් වල මගින් රඳවාගෙන ගොස් තිබේ.
සැප්තැම්බර් 13 දා ඉතාලියේ සිට ලංකාවට ගිය දැනට නිරෝධායන වෙමින් සිටින මොනික් ප්‍රසාද් ඔහුගෙ අත්දැකීම විවර අප වෙත ලියා එවා තිබුණි. පහත පළවන්නේ එම ලිපියයි.
පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රමානුකූලව රැකියාවට යන්නට බැරිව කාමර කුලියක් ගෙවා ගන්න නොහැකිව , රැකියා අහිමි වීමේ පීඩනය මැද්දේ කොරෝනා වසං ගතයෙන් ජීවිතය බේරාගත් ඉතාලියේ සිටි අපට මෙන්ම වෙනත් රටවල ශ්‍රමිකයන්ටද තම මවුබිමට පිවිසීමේ මාර්ග අවහිර කරමින් රජය ගෙන ගෙනගිය ක්‍රියා මාර්ග සමස්ත විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම සෙසු පිරිස පිඩාවට පත් කල බව අප දනිමු . එනමුත් අප ආදරණීය මව්බිමේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පීඩාවන් සියල්ලම ඉවසා දරාගෙන සිටියෙමු. ඉතාලියේ රෝම් තානාපති කාර්යාලය හෝ මිලානෝ කොන්සියුලර් කාර්යාලය එක්ව මවු රටට යෑමට අවශ්‍ය අයට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ඉතාලියේ සිට ලංකාව අතර ගුවන් ගමන් වාර ආරම්භ කිරීම අප සතුටට පත් කළ කරුණකි .
පසුගිය කාල වකවානුව තුළ ඉතාලියේ සිටි අප හට ලංකාවට යැමට කිසිදු මාර්ගයක් නොතිබුණු තත්වයක් තුල මෙය කතරට වැසි බිදක් වැනි විය .කෙසේ වෙතත් අවම පෙර දැනුවත් කිරීමක්ද නැතිව හිටිහැටියේ සැප්තැම්බර් 03 දින ගුවන් පහසුකම් සපයමින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් යානයක් මිලානෝ මල්පෙන්සා සිට ලංකාවට පියාසර කරන බවට විවිධ ආරංචි මාර්ග පැතිර යමින් තිබිනි . එහෙත් එම ගුවන් ගමනට පුද්ගලයන්ට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් නොවීය . ශ්‍රී ලංකා රෝම් තානාපති කාර්යාලය දිගින් දිගට අනුගමනය කලේ නිහඬ පිළිවෙතකි . මිලානෝ කොන්සියුලර් කාර්යාලයද රෝම් තානාපති කාර්යාලයට නොදෙවෙනි නිහඬතාවයක පැවතිණි. කෙසේ නමුත් ගුවන් යානය සැප්තැම්බර් 3 වන දින ගුවන්ගත වූයේ විවිධ විසඳාගත නොහැකි ප්‍රශ්න කිහිපයක් ඉතිරි කරමිනි. අමාරුවෙන් ගත් දුරකථන ඇමතුම් වලට ද පිළිතුරු සැපයූ අය ප්‍රකාශ කළේ ගුවන්ගමන් සඳහා තෝරා ගන්නේ ප්‍රමුඛතා ලයිස්තුවට අනුව බවයි. ඒ වන විටත් සැප්තැම්බර් 3 වනදා පිටත් වෙන ගුවන් යානය පිරී තිබුණි .අපගේ ඊලග බලාපොරොත්තුව වුයේ සැප්තැම්බර් 17 ගුවන් ගමනය .
දෙවෙනි ගුවන් ගමන සැප්තැම්බර් 17දිනට යෙදී තිබු අතර මටද ඒ සඳහා අවස්ථාව ලැබුනේ ගමන් ලැයිස්තුවට ඇතුලත් වීමට සියලු සුදුසුකම් සපුරා තිබූ පුද්ගලයෙක් වූ බැවිනි. මම විදේශ සේවා අමාත්‍යාංශයේ contact ශ්‍රී ලංකා යටතේ මෙන්ම රෝම් එම්බසියේ srilankan in italy ලේඛනයේ දෙවන ගුවන් ගමන් සිමාවේ ලියා පදිංචි වී සිටියෙමි .තවද ඒ වකවානුව වන විට මාගේ රැකියාව අහිමිව තිබූ අතර මව් බිම කරා පැමිණීමට හේතු වූ කාරණා පැහැදිලි කරමින් මා විදේශ සේවා අමාත්‍යාංශය වෙත ලිඛිතව කරුණු පැහැදිලි කරමින් විද්යුත් පණිවුඩයක්ද යවා තිබුණි. සැප්තම්බර් 15 වන දින, මට 17 වනදා ගමනට සහභාගි විය හැකි බව දන්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා එවා තිබිණි .එහිදී ඔවුන් පැවසුවේ ගුවන් ටිකට් පතට හා නිරෝධාන හෝටල් කාමර සඳහා වෙන වෙනම මුදල් ගෙවන ලෙසයි. ඒ අනුව මා හට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් මවු රටට පැමිණීමට වැය කිරීම සිදුවිය. එය අති විශාල මුදල් ප්‍රමාණයක් බව නොරහසකි . ශ්‍රී ලංකාවට යෑමට පමණක් ගුවන් ටිකට් පතට යුරෝ 926.01 ද , නිරෝධායන කාලය තුළ තව කෙනෙකුත් සමග කාමරය ශෙයා කර ගෙන සිටීමට දින දාහතරකට ඩොලර් 1650ක් ද ගෙවන්නට සිදුවී තිබුනි.
පසුගිය සැප්තැම්බර් 17 වනදා ඉතාලියේ මිලානෝ malpensa ගුවන් තොටුපල වෙත මා පැමිණියේ රටේ ගුවන් සමාගමේ ගුවන් යානයෙන් ගුවන් ගත වීමේ මහත් අභිමානයෙන් යුක්තවයි. ගුවන් යානයට ඇතුළුවූ අප නියමිත ආසන වෙත ගොස් අසුන් ගත්තේය. ආසනය මත වතුර බෝතලයක් සහ ප්ලාස්ටික් වීදුරුවක් විය. නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාදව එනම් ඉතාලි වේලාවෙන් රාත්‍රී 11.00 ට ගුවන් යානය ගුවන් ගත විය. ගුවන් යානය සියලූ විද්‍යුත් උපාංග ක්‍රියාවිරහිත කර තිබිණි .සැම ආසනයක්ම පිරී පැවතුණි. ගුවන් මගීන් අතර ඉතා වයෝවෘද්ධ හා කුඩා ළමුන් සිටි බව මා හට නිරීක්ෂණය විය. අප විශාල මුදලක් ගෙව්වද ලැබුණු පහසුකම්, ආහාරපාන සහ ආගන්තුක සත්කාර පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි කණගාටුදායකය තත්ත්වයක පැවතිණි.
සැප්තැම්බර් 19දින ප.ව. 1.00ට පමණ අප රැගත් ගුවන් යානය මත්තලට ගොඩ බැස්ස වූ අතර, PCR පර්යේෂනයෙන් අනතුරුව අප නිරෝධායන කටයුතු සඳහා අනුරාධපුර farm graden හෝටලය වෙත ගෙන ගියේය. මෙය තරු හතරේ හෝටල් පන්තියේ හෝටලයක් බව අපි දැන සිටියෙමු. පැය 10ක පමණ අතිශය වෙහෙසකර ගුවන් ගමනකින් පසුව නැවතත් නිරෝධායනය සඳහා පැය 12ක අධික වෙහෙසකර ගමනකට අපට සහභාගී වීමට සිදුවිය. මේ අතර කාලය තුළ කිසිදු බාහිර කෘතියක් ඉටු කර ගැනීමටවත් අපට පහසුකම් සලසා තිබුණේ නැත. හමුදා ආරක්ෂාව ඇතිව විශාල රථ පෙළපාලියකින් අනුරාධපුරය හෝටලය වෙත ගෙන එන විට පාන්දර 2 පසු වී තිබුණි. සැබැවින්ම මෙය නිරෝධායන අරමුණු කරගත් ගමනක් ද, නැතිනම් කිසියම් පිරිසගේ අවශ්‍යතා සපුරාලීමක් ද යන්න පිළිබඳව අප හට ගැටළුවක් විය. අපි කල්තියා හෝටල් කාමර වලට ගෙවීම් සිදු කර තිබූ අතර, එම ගෙවීම් සිදු කළ බවට රිසිට්පත්ද අප අත විය. එහෙත් හෝටල් සේවකයන් පැවසුවේ අප වෙන්කර තිබූ කාමර අප හට ලබාදීමට නොහැකි බවයි. ඒ සඳහා ඔවුන් හේතු දක්වමින් ඇවන්ගාඩ් සමාගම ඔවුනට නිසි තොරතුරු ලබා නොදුන් බව අප හට පැවසුවේය. මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා හමුදාවටද මැදිහත් වීමට සිදුවූ අතර එහි පහසුකම් ලබා දීමට අපොහොසත් වූ පිරිස නැවතත් මේවර විල දක්වා ගෙන ගියේය. අපි එම හෝටලයේ නවාතැන් ගත්තෙමු. කාමරේට ගිය අපට දක්නට ලැබුණේ ඒවා ඉතාමත් අපිරිසිදු තත්වයේ පවතින බවය. හෝටලය ඉදිරිපස ගසා තිබූ තරු අපිට පෙනිණි. මැසි මදුරුවන්ට අමතරව නයි පොළොංගු සමඟ ජීවන සටනක් බවට එය පරිවර්ථනය විය. තවද අපි ගෙවූ මුදලට සරිලන ආහාර පාන හා කිසිදු පහසුකමක් ලබා දීමට ඔවුන් අපොහොසත් විය. දිගින් දිගටම ඒ පිළිබඳව ඇවන්ට්ගාඩ් සමාගම හා හෝටල් කළමනාකරණය දැනුවත් කළ අතර එය බීරි අලින්ට වීණා වාදනය කරන්නක් විය.