මැතිවරණය අප්‍රේල් 25 පවත්වන්නේත් නැහැ – පැෆරල් සංවිධානය

අප්‍රේල් 25වනදින ඡන්දය පැවැත්විය නොහැකි බව ඉතා පැහැදිලි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

විධායකය විසින් දිගින් දිගටම මැතිවරණය වැළක්වීමට ක්‍රියාකරන්නේ නම් අධිකරණ නියෝගය පවා නොසළකන තත්ත්වයක් තුළ නම් මැතිවරණයක් පවත්වනා දිනයක් හිතාගන්න බැරි මට්ටමකට පත්වී ඇති බවද ඔහු පැවසීය.

රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ BBC වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුවට මුදල් බලය තිබෙන නමුත් පාර්ලිමේන්තුවෙන් වෙන්කළ මුදල් ලබාදීම මුදල් අමාත්‍යවරයා විසින් වළක්වා ඇති බවයි.

මේ අතර මැතිවරණ කොමිසම අද (16) රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසා තිබුණි.

එහිදී මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබේ.

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ සඳහන් කළේ, අද දිනයේ අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගංගානි කල්පනා ලියනගේ සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට අනුව පෙරේදා දිනයේ ද ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ බව මුද්‍රණාලාධිපතිනිය සඳහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බව රජයේ මුද්‍රණාලාය දැනුම් දී ඇත.

මුදල් ප්‍රතිපාදන ලැබී දින 06ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකි වන බවත් මාසයක් තුළ අනෙක් සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි බවත් දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් අද දිනයේ සිදුකරන බව ගංගානි කල්පනා ලියනගේ වැඩිදුරටත් පවසා ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...