Breaking News

ජනාධිපති නිවසේ තිබූ සොයා ගත් මුදල් සම්බන්ධ නඩුවේ විමර්ශන නිලධාරීන්ට දේශබන්ධු තර්ජනය කරලා

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

තමාට දුරකතන ඇමතුම් ලබා දෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් තර්ජනය කළ බවත්, තමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට තමාව පැටලවීමට උත්සහ ගැනීමක් හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතැයි බියෙන් තමන් පසුවන බවයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය සම්බන්ධයෙන් තමා සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණයට දැනුම් දුන්නා.

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි.

එසේම මෙය සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බවද නීතිඥවරු ප්‍රකාශ කළා.

මෙහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවයි.

මේ අතර මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙසට පොලිස්පති දැනුම් දුන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

ඊට විරෝධය පළ කළ නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත්ය.

එලෙස පොලිස්පතිවරයාට විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදු වන්නේ විශේෂ විමර්ශන ඒකකට නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදු කරන නිසා එලෙස වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඒවා කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දී තිබුණා.

එලෙස බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයාට ලබාදෙන ලෙසට තමාට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණයට පවසා සිටියා.

එලෙස බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොටුව පොලිසිය මෙම මුදල් සොයා දුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය මේ වන විට පවත්වනු ලබනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ පුද්ගලයන් 72කට එරෙහිව පවතින්නේද මෙම නඩුව වන අතර එහි 73 වැනි සැකකරු ලෙස අද කොටුව පොලිස් ස්ථානය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේය කැඳවුම්කරු වසන්ත මුදලිගේ නම් කළා.

කෙසේවෙතත් මෙම නඩුවට අදාලව වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

leave a reply