Breaking News

නව මුදල් මණ්ඩල යෝජනාව අනුව කබ්රාල්ට විශ්‍රාම වැටුප් දෙකක්

ලබන සතියේ දෙවන වරටත් මහ බැංකු අධිපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා

මෑතකදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමය යටතේ ඔහුගේ හිටපු වසර 8 ක සේවා කාලය සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුපක් ලැබීමට නියමිත අතර ඔහුගේ දෙවන ධූර කාලය අවසන් වන විට තවත් විශ්රාම වැටුපක් සඳහා සුදුසුකම් ලබන බවයි පුවත්පත පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙවර ඔහුගේ වැටුප මීට පෙර ඔහු ධූරය හොබවද්දී ලද වැටුපට වඩා ඉහළ බැවින් නව විශ්‍රාම වැටුප ඔහුගේ අනෙක් විශ්‍රාම වැටුපටද වඩා ඉහළ වනු ඇති බවත් පුවත්පත පෙන්වා දෙනවා.

මේ අතර, කබ්රාල්ට ඉඩ දෙමින් විශ්‍රාම යන මහබැංකුවේ වසර දෙකක් පමණක් සේවය කළ ඩබ්ලිව් ඩී ලක්‍ෂ්මන් හට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලැබීමටද නියමිත බවත් පැවසේ.

හිටපු සහ වත්මන් මහබැංකු අධිපතිවරුන් කිහිප දෙනෙකු සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුප් ගෙවීමට මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කළා . මුදල් මණ්ඩලය මහබැංකු අධිපතිවරයා විසින් මෙහෙයවනු ලැබේ. මහබැංකු මහලේකම් කාර්යාලීය දෙපාර්තමේන්තුව එම තීරණය ක්‍රියාත්මක කරමින් හිඟ ගෙවීම් සඳහා කටයුතු කරමින් සිටියි.

අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් අවුරුදු 10 ක වත් සේවා කාලයක් තිබිය යුතු වුවත් මුදල් මණ්ඩලයේ නව යෝජනා ක්‍රමය යටතේ සියළුම මහබැංකු අධිපතිවරුන් සිය සේවා කාලය නොසලකා විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලබයි. වසර 05ක කාලයක් සම්පුර්ණය කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුපක් හිමිවේ.

මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය කබ්රාල් මහතා තමාට විශ්රාම වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් පසුව මුදල් මණ්ඩලය විසින් මෙම කාරණය ගැන අවධානය යොමු කර තිබූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කබ්රාල් මහතා 2006 ජූලි 1 සිට 2015 ජනවාරි 8 දක්වා මහබැංකු අධිපති ලෙස සේවය කළ බවත් ඔහුගේ පත්වීම් ලිපි‍යේ ඔහුට විශ්‍රාම වැටුපක් හිමි බව සඳහන්ව ඇති බවත් ය.

කෙසේ වෙතත්, 1998 වසරේ සිට මහබැංකු අධිතිවරුන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකීවේ එය යෝජනා කළ යුතු හ බැංකු ආයතනික කළමනාකරණ කමිටුවේ ප්‍රධානීත්වයත්, එය අනුමත කළ යුතු මුදල් මණ්ඩලයේ සභාපතීත්වයත් යන තනතුරු දෙකම මහබැංකු අධිපතිවරයා විසින් දැරීම හේතුවෙන් එසේ සිදුකරන අනුමත කිරීමක් ආචාරධර්ම ඉක්මවා යාම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේත් කබ්රාල් මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර එවකට සිටි මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

මේ මොහොතේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව පාර්ශවයෙන් දිගින් දිගටම ජනතාවා පවසමින් සිටින්නේ ජනතාවට කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසයි. වෙනකක් තබා වැඩකරන ජනතාවගේ වැටුපෙන් බාගයක් පරිත්‍යාග කරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතියි. ජනතාවට එලෙස කැපකිරීම් කරන ලෙස කියන ආණ්ඩුවේම හිතවතුන්ට ජනතාවගේ බදු මුදල් වියදම් කරමින් වරප්‍රසාද පිට වරප්‍රසාද ලබාදෙමින් සිටියි.

leave a reply