පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන නිදහස් දිනය වන විට රටේ දීර්ඝ කාලීනව පවතින ජනවාර්ගික ගැටලුව විසඳන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදී ඇති ප්‍රතිඥාව, රට තුළ අනෙකුත් සාධනීය වර්ධනයන් ගොඩනගා ගැනීමට පවතින ශුභවාදී පදනමක් ලෙස දැකිය හැකිය. මෙය යථාර්ථයක් බවට පරිවර්තනය කරගත යුතු බලාපොරොත්තුවකි. ජනවාර්ගික ගැටුම දේශපාලනිකව විසඳීමට ගත් අතීත උත්සාහයන් තුළින් අපට සුබවාදී චිත්‍රයක් දැකගත නොහැකිය. මෙම ගැටුම නිරාකරණය කිරීමට උත්සාහ කළ නමුත් අසාර්ථක වූ ශ්‍රී ලංකා නායකයන්ගේ ලැයිස්තුව කීර්තිමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙන් ආරම්භවී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වා දිවෙයි. අගමැතිවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා මීට පෙර කළ නායකත්ව භූමිකාවන්හිදීද ඔහු මෙම කාරණය සම්බන්ධයෙන් අසාර්ථක විය. සම්මුතියක් දක්වා ගමන් කරන අතරමග ඇවිළුණු දේශපාලන හා මහජන විරෝධය, එම නායකයන්ට ජයගත නොහැකි තරම් ශක්තිමත් විය.
කෙසේ වෙතත්, අතීතයේ මෙන් නොව, මේ අවස්ථාවේදී ජනවාර්ගික ගැටුම විසඳිය හැකි බව ඔප්පු කිරීමට හේතු හතරක් තිබේ. පළමු සහ වැදගත්ම හේතුව වන්නේ ජනාධිපති වික්‍රමසිංහ මහතා සතුව පවතින, සියලු පාර්ශව සාකච්ඡා මේසයට ගෙන ආ හැකි නායකත්වයයි. අගමැතිවරයා ලෙස පස්වතාවක් බලයේ සිට විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ ඔහු, විධායක ජනාධිපති ක්‍රමයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ සිය මාමා විසින් සකස් කරන ලද පිරිමියෙක් ගැහැනියක් බවට පත් කිරීමට පමණක් නොහැකි තරමේ සම්පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයේ බලය සම්පුර්ණයෙන් දරනු ලබයි. ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීම සඳහා පසුගිය වසරේ අගභාගයේදී සම්මත කරන ලද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් ක්‍රියාත්මක කර නැත. එම සංශෝධනය යටතේ පිහිටුවන ආයතනවලට කවුරුන් පත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් පක්ෂ වශයෙන් පවා එකඟ විය නොහැකි, ඊළඟ මට්ටමේ දේශපාලනඥයන් අතර පෙනෙන, එකමුතුවක් නොමැතිකම විසින් මේ මොහොතේ පැහැදිලි නායකත්වයක අවශ්‍යතාව පෙන්නුම් කරමින් සිටී.
දෙවන කරුණ නම්, ඵලදායී මහජන මතය ප්‍රදර්ශනය කරවන්නකු ලෙස පාර්ලිමේන්තුව සතුව පැවතිය යුතු නීත්‍යානුකූලභාවය ඛාදනය වීමයි. හිටපු ජනාධිපතිවරයා සමග එක්ව, පැවැති ආණ්ඩුව බලයෙන් පහ කරන ලද විරෝධතා ව්‍යාපාරය විසින් අතීතයේ සිදුකෙරුණු දෑ පිළිබඳව වගවීම, ක්‍රමය වෙනස් කිරීම සහ මැතිවරණ ඉල්ලා ඇත. එම නිසාම, නුදුරු අනාගතයේදී මහ මැතිවරණයකට මුහුණ දීමට අකමැති වන තරමටම, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දිගුකාලීන සැලසුම් කඩාකප්පල් වී ඇත. ඔවුන්ට පළාත් පාලන මැතිවරණයක්ද අවශ්‍ය නැති බව දැනට පෙනෙන්නට තිබේ. මෙම සන්දර්භය තුළ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, ඉක්මන් මහ මැතිවරණයකදී සාමාන්‍ය ජනතාවගෙන් එල්ලවිය හැකි උදහසින් බේරීමට, තමන් දැනට යැපෙන ජනාධිපතිවරයාට විරුද්ධ වීමට අකමැති වීමට ඉඩ තිබේ. මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයක් කැඳවීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයාට ලැබෙනු ඇති බව මෙහිදී පෙන්වාදිය යුතුය.
වෙනස් වූ ආකල්ප
තුන්වන කරුණ වන්නේ වාර්ගික ගැටුම විසඳීමට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ බොහොමයක් එකඟව සිටීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පටු වාර්ගික ජාතිකවාදය වෙනුවෙන් පෙනී නොසිටීමේ වන්දිය විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ගෙවා තිබේ. ඔවුන් පසුගිය වාරවලදී ආමන්ත්‍රණය කර ඇත්තේ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් මිස ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව නොවේ. රජය විසින් ගෙන එනු ලබන වාර්ගික ගැටුම විසඳීම සඳහා වන මුලපිරීම්වලට, අතීතයේ විරුද්ධ පක්ෂයේ දේශපාලන කණ්ඩායම් අඛණ්ඩව විරුද්ධ වූ විනාශකාරී සම්ප්‍රදාය බිඳ දැමීමට, ඔවුන්ට හැකියාවක් සහ ඒ පිලිබඳ උනන්දුවක් ඇති බව මෙයින් පෙන්නුම් කෙරේ. පටු වාර්ගික ජාතිකවාදයක නියැලීමට ඔවුන්ට අවශ්‍ය නොවන බැවින්, තවදුරටත් විරුද්ධ පක්ෂ ද එවැනි ඉඩක් ලබනොදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ වෙනුවට ජනතාව මුහුණ දෙන ආර්ථික බිඳවැටීම් සහ දුෂ්කරතා මේ මොහොතේ ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමට ඇති ප්‍රශ්න ලෙස හඳුනාගත හැකිය.
හතරවන හේතුව රටේ දේශපාලන මතයේ වෙනස්වන ස්වභාවය හා සම්බන්ධවේ. පසුගිය වසරේ සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් අනතුරුව රටට මූලික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට සාමාන්‍ය ජනතාව තුළ පවා හැඟීමක් පවතී. විරෝධතා ව්‍යාපාරය පැවති සමයේ ජනප්‍රිය වූ “පද්ධති වෙනස් කිරීම” යන සටන් පාඨය මගින් මෙම හැඟීම ප්‍රදර්ශනය කර ඇත. විරෝධතා ව්‍යාපාරයේ සටන් පාඨ අතර වගවීම ඉල්ලා සිටීම, රාජ්‍යය සතු සම්පත් සොරකම් කළ අය සොයාගෙන වරදකරුවන් කර දඬුවම් කළ යුතු වීම සහ ඔවුන්ගේ වත්කම් රාජසන්තක කළ යුතුය යන ඉල්ලීම් විය. තවත් වැදගත් කරුණක් නම්, වාර්ගික හා ආගමික ජාතිකවාදයට යට වී, රට අද පවතින තත්ත්වයට ගෙන ආ 74 වසරක අකටයුතුකම් සහ දුර්වල පාලනය පහලටම ඇදදැමීමයි. එමෙන්ම සියලු ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සමාන පුරවැසිභාවය පිළිගැනීම මෙන්ම, රටේ ජනතාව පහළම ජිවන රේඛාවලට ඇදදැමූ පිරිස හෙළා දැකීම එම සටන් පාඨ අතර විය.
ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සෙවීමේ වැදගත්කම වන්නේ රටේ ජනතාවට ගැටුමකින් තොරව එකට ජීවත්වීමට හැකියාව ලැබීම පමණක් නොවේ. දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති මෙම ගැටලුවේ ප්‍රතිඵලයක් ලෙස, උද්ගතවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රචණ්ඩත්වය සමනය කිරීමද ඊට ඇතුලත් වේ. අස්ථාවරත්වය සහ ප්‍රචණ්ඩත්වය රටේ ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන බාධාවක් වී ඇත. 1977 ආණ්ඩු වෙනස සහ නිදහස් වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිපත්තිය දක්වා රට වෙනස් කිරීමත් සමඟ මහාවැලි ගඟ හැරවීමේ ව්‍යාපෘතිය සහ බ්‍රිතාන්‍ය ජනතාව විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම දායාද කළ වික්ටෝරියා වේල්ල ඇතුළු දැවැන්ත අන්තර්ජාතික ආධාර මෙරටට ඇතුළුවිය. එහෙත් 1983 ජුලි මාසයේ ඇති වූ වාර්ගික කෝලාහල සහ සංහාරය විසින් අන්තර්ජාතික ආයෝජන සමඟ ආර්ථික වර්ධනයක අපේක්ෂාවන් විනාශ කරනු ලැබීය.
අරගලයේ ඉල්ලුම
ජාතික ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාව තවමත් අපේක්ෂාවෙන් පසුවෙයි. කෙසේ වෙතත්, චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වන සාධාරණ ක්‍රමවේදයකට මෙතෙක් එකඟ නොවීම හේතුවෙන් මෙම සහාය ප්‍රමාද වෙමින් පවතී. බංකොලොත් රටක් ආර්ථික බලාගාරයක් බවට නැවත පත් කිරීම සඳහා මෙය සාධාරණ ඉල්ලීමක් බැවින්, චීනය සහයෝගයෙන් කටයුතු නොකිරීමට වෙනත් භූ දේශපාලනික සහ උපායමාර්ගික හේතුද තිබිය හැකිය. මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදුන හොත්, මෙවැනිම ණය උගුල්වලට හසු වී, මෙලෙස සමාන ඉල්ලීම් කළ හැකි, ශ්‍රී ලංකාවට වඩා දුප්පත්, තවත් රටවල් ගණනාවක් සිටිනු ඇතැයි යන්න පිළිබඳව චීනය සැලකිලිමත් වන බව සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ.
මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට වෙනත් මූලාශ්‍රවලින් අන්තර්ජාතික සහාය අවශ්‍ය වේ. ලොව දුප්පත් රටවලට ආදර්ශයක් ලෙස සලකනු ලැබූ, සමාජ සුබසාධන යෝජනා ක්‍රම හරහා දශක ගණනාවක් තිස්සේ ඉදිරියට ගමන් කළ ශ්‍රී ලංකාවේ, දිගුකාලීන ජනවාර්ගික ගැටුම සමථයකට පත් කිරීම පිළිබඳ ශුභාරංචිය, ශ්‍රී ලංකාව කෙරෙහි ධනාත්මක අන්තර්ජාතික ප්‍රතිරූපයකට තුඩුදෙනු නොඅනුමානය. සාමය සහ සංහිඳියාව සඳහා විවිධ අවස්ථාවලදී තම සේවාවන් ලබා දීමට උත්සාහ කළ ඉන්දියාව, ජපානය, නෝර්වේ, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වැනි රටවල්, එහිදී නැවතත් මංමුලා සහගත ආර්ථික අර්බුදයක පැටලී සිටින ශ්‍රී ලංකාවට සහාය දීමේ කාර්යයට නැඟී සිටීමට පෙළඹිය හැකිය. එම රටවල දෙමළ ඩයස්පෝරාවට, ශ්‍රී ලංකාව වෙනුවෙන් මැදිහත් වීමට, විශේෂයෙන්ම රටේ උතුරු හා නැගෙනහිර යන වඩාත් නොසලකා හරින ලද ප්‍රදේශ සංවර්ධනය කිරීමට විශාල මැදිහත්වීමක් සිදුකළ හැකිය.
කෙසේ වෙතත්, වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට රජය දරන උත්සාහයේ අතුරුදන් වූ මානය වන්නේ, අතීතයේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් වගවීමයි. ආර්ථිකය යළි ගොඩනැගීමට රජය දරන උත්සාහය තුළ ද එම අඩුව දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ නවතම යෝජනාවේ කොටසක් ලෙස ‘ආර්ථික අපරාධ’ ඇතුළත් කර තිබුණද, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම පිළිබඳ ප්‍රශ්නයද රට තුළ පසෙකට දමා ඇත. යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල, ඒවා අතීතයට අයත් යැයි කිව හැක්කේ, වර්තමානයේ එවැනි නව චෝදනා නොමැති වීම හේතුවෙනි. එහෙත් ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ගත් කල, අතීතයේ සිදුවූ අපරාධයන්, මහා පරිමාණයෙන්, පිළිගත නොහැකි ලෙස, වර්තමානයේදී නැවත සිදුවෙමින් පවතින බව දැකගත හැකිය. ජාතික සංහිඳියාව සහ සංවර්ධනය යථාර්ථයක් වීමට නම්, ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය මෙතැන් සිට දූෂිත ක්‍රියාවන්ට තිත තබා ජනතා අවශ්‍යතා වෙනුවෙන් අවංක විය යුතුය.