Day: May 24, 2022

  • ආහාර කාණ්ඩයේ උද්ධමනය 45% දක්වා ඉහළට

    ආහාර කාණ්ඩයේ උද්ධමනය 45% දක්වා ඉහළට

    ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 45.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේදී 23.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 29.5% ක් ලෙස පැවති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 14.5% ක් ලෙස පැවතිණි. ඒ අනුව මාසයක කාලය තුළදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 16.6% කින් සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.4% කින් ඉහළ ගොස් තිබේ.

    2022 අප්‍රේල් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.22ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 6.03කින් සහ සියයට 4.19කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, නිවාස කුලී සහ එල්.පී. ගෑස්), සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ ගියේය.

    එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 10.6හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 13.0 දක්වා ඉහළ ගියේය.

    ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 17.3හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 27.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 8.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 10.2 දක්වා ඉහළ ගියේය.

  • 21 වන සංශෝධනයෙන් විධායක බලතල අහෝසි වෙයිද?

    21 වන සංශෝධනයෙන් විධායක බලතල අහෝසි වෙයිද?

    අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව මැයි 23 දා කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණි.

    මෙම කෙටුම්පත මැයි 27 සිකුරාදා සාකච්ඡාව සඳහා වහාම සියලු පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට තීරණය වූ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    අවසන් කෙටුම්පත සකස්කර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

    ඉන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැ යි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

    21න් යෝජනා කරන්නේ මොනවා ද?
    විධායක ජනාධිපති බලතල සීමා කිරීම
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම
    ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීම
    රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

    කෙසේවෙතත්, මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රමය මෙන්ම ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ මතුව ඇති අර්බුදකාරි තත්වයට ඉක්මන් විසඳුම් ගෙන එනු වෙනුවට කල් මැරීමේ උපක්‍රමයක් බවට විවේචන මතුව තිබේ. එපමණක් නොව, අපේක්ෂිත පරිදි 19 වැනි සංශෝධනයට ඔබ්බෙන් විධායක ජනාධිපති විසින් 20 වැනි සංශෝධනය හරහා සංකේන්ද්‍රණය කරගත් බලය නැවත පාර්ලිමේන්තුවට ලබාගැනීමේ විධිවිධාන නව කෙටුම්පතට ලබාදී නොමැති බවට චෝදනා එල්ල වී ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධ මෙතෙක් හෙළිව ඇති කරුණු අනුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසීමිත බලයක් හිමිකරගත් කරුණු වෙනස් නොකර නව ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කිරීමේ පලක් නැති බවට විපක්ෂ කණ්ඩායම් කරුණු දක්වා ඇත.

  • මාස 06ක් තුළ 06 වරක් ඉන්ධන මිල ඉහළට

    මාස 06ක් තුළ 06 වරක් ඉන්ධන මිල ඉහළට

    අද (මැයි 24) පෙ.ව. 03:00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.කැබිනට් අනුමැතිය හිමිවූ ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පවසයි.

    මෙම ඉහළ දැමීමට අනුපාතිකව අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සඳහා ද අනුමැතිය හිමිවනු ඇත. ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    අදසිට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 420 දක්වා, රුපියල් 82කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 දක්වා රුපියල් 77කින් ද මිළ ඉහළ දමා තිබේ.

    ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 දක්වා රුපියල් 111කින්, සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 445 දක්වා රුපියල් 116කින් ඉහළ දමා තිබේ.

    සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අද (24) අළුයම 3 සිට තම සමාගම ද එම අගයන්ගෙන්ම ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා IOC සමාගම පැවසීය.

    මෙයට පෙර අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාස 06 ක් තුළ අවස්ථා 6 කදී ඉන්ධන මිල ඉහළ දමා ඇත.

    පසුගිය මාස හය තුළ ඩීසල් මිල සියයට 230 කින් සහ පෙට්‍රල් මිල සියයට 137 කින් ඉහළ ගොස් තිබේ.

    අප්‍රේල් මාසයේ රටේ සමස්ත උද්ධමනය සියයට 33.8 ක් බවත් ආහාර උද්ධමනය සියයට 45.1 ක් බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳුදා නිකුත්කළ දත්ත පෙන්නුම් කරයි.

    බස් ගාස්තු ඉහළට

    මේ අතර ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද (24) දහවල් 12ට පෙර මිල ගණන් පිළිබඳ තමන්ට තීරණයක් ලබා දිය යුතු බව යි.

    ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ යෑමත් සමඟ දිනකට බස් රථයකට රුපියල් 11,000 ක පාඩුවක් වන බවත් ඉන්ධන සහනාධාරයක් නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 35 කින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් අද (24) පෙරවරුවේ මාධ්‍යට පැවසීය.

    අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා වැඩිවිය යුතුත් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.

    මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රුයදුරන්ගේ සංගමය පැවසුවේ අවම ගාස්තුව රුපියල් 10කින් වැඩිකර රුපියල් 100ක් ලෙස අයකරන බවත් දෙවන කිලෝමිටරයේ සිට කිලෝමිටරයකට අයකරන ගාස්තුව රුපියල් 80 ලෙස ඉහළ දමන බවයි.