මෙරට වවුලන් පිළිබඳ අධ්‍යයන වල නිරත තරුණ ජීව විද්‍යාඥයෙකු වන තාරක කුසුමින්ද ප්‍රමුඛ දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජීවත්වන නව වවුල් විශේෂයක් සොයා ගැනීමට සමත් වි ඇත. විද්‍යාත්මක බසින් Miniopterus phillipsi ලෙස හඳුන්වනු ලබන මෙම වවුලා පිලිප්ස්ගේ දික් පිය වවුලා ලෙස සිංහලෙන් හඳුන්වනු ලබයි. මෙම සොයාගැනීම දශක අටකට පසු මෙරටින් හා ඉන්දියාවෙන් නව Miniopterus වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව වේ. එමෙන්ම ආසියාවෙන් දශක හයකට පසුව මෙම ගනයට අයත් නව වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාවද වේ. ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් මෙම නව වවුල් විශේෂයට අදාල සත්ත්ව නිදර්ශක මීට පෙර හමුවී තිබුණත් එවා හඳුනාගෙන තිබී ඇත්තේ වෙනත් වවුල් විශේෂයක් ලෙසය.
රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක තාරක කුසුමින්ද මහතා මූලිකත්වය ගෙන සිදුකරන ලද මෙම පර්යේෂණය සඳහා මෙම වවුල් විශේෂයේ සුබෙදු විද්‍යාත්මක පසුබිම, රූප විද්‍යාත්මක මෙන්ම ජාන විද්‍යාත්මක දත්ත ද යොදාගෙන තිබේ. එහිදී ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ මින් පෙර මෙම වවුල් Miniopterus fuliginosus නම් විශේෂය ලෙස වරදවා හඳුනාගෙන ඇති බවයි. නමුත් එම විශේෂය දකුණු ආසියාවේ සෞම්‍ය දේශගුණයක් සහිත පරිසර වල හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල් වල පමණක් ව්‍යාප්තව සිටින බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ වවුල් විශේෂයක සුබෙදු විද්‍යාත්මක පසුබිම තහවුරු කිරීම සදහා ජාන තාක්ෂණයේ සහය ලබාගත් දෙවන අවස්ථාව ද මෙය වේ. නමුත් එය ඉතා කණගාටුවට කරුණක් බවත් එම තාක්ෂනික අඩුව නිසා දශක ගණනාවක් පුරා අපේ රට තුල ජීවත් වන වවුලන්ගේ සැබෑ විශේෂ විවිධත්වය නිසි ලෙස අනාවරණය නොවීමට එය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් පර්යේෂකයින්ගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී සතුන් පිළිබඳව පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකර එම ක්‍ෂේත්‍රයට අසමසම සේවාවක් සිදුකල ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වන W.W.A. Phillips මහතාට ගෞරවයක් ලෙස මෙම වවුල් විශේෂය එම මහතාගේ නමින් නම් කර ඇත. ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් එකතුකරන ලද සත්ත්ව නිදර්ශක හා ලෝකයේ විවිධ කෞතුකාගාර වල තැන්පත් කර ඇති සත්ත්ව නිදර්ශක විශාල ප්‍රමාණයක් මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත. මෙම නව විශේෂයට අදාල දර්ශීය නිදර්ශක ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පිහිටා ඇති බයෝ ටී ගාර්ඩ්න් තේ වතුයාය අසලින් සොයා ගෙන ඇති අතර අරණායක සඳරාජ වනය, තලවකැලේ, වැල්ලවාය වවුල් ගල්ගේ, වවුල්පනේ හුනුගල් ගුහාව යන ස්ථාන වලින්ද අමතර නිදර්ශක සොයාගෙන ඇත.
මෙම වවුල් විශේෂය අප රට තුල තෙත් හා අතරමැදි පරිසර කලාප තුල සාමාන්‍ය ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර වියලි කලාපයේ ස්ථාන කිහිපයකින්ද වාර්තා වී ඇත. නමුත් මෙම වවුල් විශේෂය තම ලැගුම් පොළවල් ලෙස ගල් ගුහා හා ඊට බොහෝ සමාන ස්ථාන පමණක් තෝරා ගැනීම ඔවුන්ගේ සංරක්ෂණ කටයුතු වලදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණකි. අප රට තුල අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වලට මුවාවී සිදුකරන පරිසර පද්ධති විනාශය මොවුන්ට ඇති ප්‍රධාන තර්ජනයක් වන අතර මොවුන්ට වාසස්ථාන සපයන විශාල ගල් පර්වත කලුගල් අවශ්‍යතාව සදහා විනාශ කිරීම මෙම වවුල් විශේෂයේ ඉදිරි පැවැත්ම සඳහා ඍජුව බලපානු ඇත.
අප රට තුලින් අවසන් වරට නව වවුල් විශේෂයක් ලොවට හඳුන්වා දී ඇත්තේ W.W.A. Phillips මහතා විසින් 1932 වසරේ දීය. ඉන් පසුව 1997 වර්ෂයේ දී Hipposideros fulvus, 2002 වර්ෂයේ දී Cynopterus brachyotis හා 2018 වර්ෂයේ දී Phoniscus cf. jagorii යන වවුල් විශේෂ ශ්‍රී ලංකාව තුලින් වාර්තා කරන ලදී. නමුත් එම අවස්ථා තුනෙහිදීම සිදුවී ඇත්තේ ආසියානු කලාපයේ වෙනත් ප්‍රදේශවල ජීවත් වූ වවුල් විශේෂ තුනක් අප රට තුලද ජීවත් වන බව විද්‍යාත්මකව තහවුරු කිරීම පමණි. ඒ අනුව එම වාර්තා අදාළ සතුන්ගේ නව ව්‍යාප්ති වාර්තා ලෙස සැලකේ. එම නිසා මෙම නව සොයා ගැනීම වසර 90 කට පසු අප රටෙන් නව වවුල් විශේෂයක් ලොවට හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකිය. මෙම පර්යේෂණ ප්‍රතිඵල ලොව පිළිගත් විද්‍යාත්මක සඟරාවක් වන Acta Chiropterologica සඟරාවේ නවතම කලාපයේ පසුගියදා පල වී ඇත.
මෙම පර්යේෂණය සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක හා දැනට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු තාරක කුසුමින්ද මහතාට අමතරව රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය අමානි මාන්නක්කාර, කොලඔ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය විපුල යාපා, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය කනිශ්ක උකුවෙල, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ රාජික ගමගේ, ජෙට්වින්ග් යාල ආයතනයේ චාමර අමරසිංහ, සඳරාජ වන අරණ සංචාරක මධ්‍යස්ථානයේ මතීශ කරුණාරත්න, ඇමරිකා එක්සත් ජනපදයේ ස්වභාවික විද්‍යාව පිලිබද ක්ෂේත්‍ර කෞතුකාගාරයේ මහාචාර්ය බෘස් පැටසන් මෙන්ම හන්ගේරියාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව, රුසියාව හා එක්සත් රාජධානිය යන රටවල පර්යේෂකයන් රැසක් දායක වී ඇත.
මෙම පර්යේෂණයේ ක්‍ෂේත්‍ර කටයුතු සදහා ඉමහත් සහයක් ලබාදුන් ස්ටැසන් නැචුරල් ෆුඩ්ස් ආයතනයට අයත් ඉදල්ගස්හින්න බයෝ ටී ගාර්ඩ්න් තේ වතුයායේ වතුඅධිකාරී ආර්. ඥානසේගරන්, සහකාර වතුඅධිකාරී ජූඩ් ජෝන්, ඩැනියල් විලියම්, චමින්ද හපුගොඩ, බී. මනිවානන් යන මහත්වරුන්ටත්, ලාසරස් හා තෙයාගු අතුලු අනෙකුත් කාර්‍යමන්ඩලයටත්, ක්ශේත්‍ර කටයුතු සඳහා හා නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටත් මෙහිදී පර්යේෂකයින් තම ස්තූතිය පිරිනමයි. තවද මෙම පර්යේෂණය සිදුකිරීම සඳහා අවශ්‍ය අවසර ලබාදුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා, නිශානි ගුණතිලක මහත්මිය හා පර්යේෂණ හා පුහුණු අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂක මහතුන් ද මේ සඳහා සහය දැක්වූ සියලුම ක්‍ෂේත්‍ර නිලධාරීන් ද, ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය, ලංකානි සෝමරත්න සහකාර අධ්‍යක්ෂක තුමිය හා චමල්කා කොතලාවල මහත්මිය ඇතුළු සත්ත්ව විද්‍යා අංශයේ මේ සඳහා සහාය දැක්වූ සියලුම කෞතුකාගාර නිලධාරීන්ද පර්යේෂණ කණ්ඩායම විසින් කෘතවේදීව සිහිපත් කරයි. මෙම පර්යේෂණය සඳහා මූල්‍යමය සහයෝගය ලබාදී ඇත්තේ ජාතික පර්යේෂණ සභාව යි.